වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ඇලුමිනියම් මාලිගාවේ යකඩ ගැහැනිය
රත්වූ තාරපාර සිහිල් කිරීමට ඒ විසල් වැහි කඳ සමත් වූයේ නැත. අලුත් මං තනා ගනිමින් නිදහසේ ගලා බස්නා සිහින් දියපහරවල් ඇය පසුකර ගමන් කරන්නේ නේක විසිතුරු කටු පොළව මත මවමින් ය. අපේ කතානායිකාවගේ ජීවිතයද ඒ මහපොළොව මෙන්ම ශක්තිවන්තය. ඇය පිළිබඳ ඇයට ඇත්තේ කිසි දිනෙක නොපිරිහෙන ආත්ම විශ්වාසයක්් ය.කොළඹ සිට ගොඩගම පසුකොට මීපේ දෙසට යන මහ මඟේ මේ විශාල මිනිසුන්හේ කුඩා කම්හල මුණගැසෙයි. මහපාර දිග දෙපස කුඩා මිනිසුන් සොයා යන අපේ ගමනේ පළමු පියවරේදී හමුවූ ඇය නමින් ජීවනී ක්‍රිෂාන්ති රණසිංහය.
මීපේ ප්‍රදේශයේ මහපාරේ යන ඔබටද මේ කුඩා කම්හල දැකගත හැකිවනු ඇත. තැන තැන එල්ලා අලංකාර කළ ඇලුමිනියම් භාණ්ඩ මෙන්ම පිළිවෙළට අසුරා ඇති විවිධ ඇලුමිනියම් භාණ්ඩවලින් මේ කුඩා කඩපොළ පිරී ඇත.
වැස්සට පසුව පායන හිරු කෙඳිති සිප දිලිසෙමින් හිනැහෙන ඇලුමිනියම් මාලිගාවේ යකඩ ගැහැනිය අතීතය මෙනෙහි කරන්නේ තම ස්වාමිපුරුෂයා වන සුනිල් ශාන්ත මහතා පිළිබඳ අභිමානයෙනි.
අපි මේ වැඩපොළ පටන් අරන් අවුරුදු දාසයක් විතර වෙනවා. මම බැඳල ආව දවසේ ඉඳල මේ කර්මාන්තය තමයි ඉගෙන ගත්තේ.මහත්තය ඉස්සර ඇලුමිනියම් ෆැක්ටරියක වැඩ කරල තියෙනවා. ඒකෙ පළපුරුද්දෙන් තමයි අපි මේ පුංචි කම්හල පටන් ගත්තේ. අපි දෙන්නගේම එකම බලාපොරොත්තුව තිබුණේ මේ ව්‍යාපාරය ගොඩනඟන එක.දිවා රෑ නැතුව වෙහෙසුණා. මගේ මහත්තය නිතරම අලුත් නිර්මාණ කළා. කොහොමහරි අපි අපේ ඉලක්කයට ගියා.
ඈ මහපාර දෙස නැවතත් බලන්නේ අභිමානය පුරවාගත් දෑසිනි. කුඩා වුවත් ඉතා පිළිවෙළ පිරිසුදු මේ කම්හලට එදිනෙදා පැමිණෙන ඉල්ලුම්කරුවන් පිරිස බොහෝ වේ. ප්‍රමිතියෙන් උසස් ඇලුමිනියම් ලෝහයෙන් ඔවුන්ගේම දෑතින් නිමැවූ භාණ්ඩ රැසක් මේ කුඩා කඩපොළේ දක්නට ලැබේ.
" අපි ඉස්සෙලම හැදුවෙ ජෝගු. ජෝගුවලට තමයි වැඩිම ඉල්ලුම තියෙන්නෙ. ඊට පස්සෙ කිරි ගොට්ටට. පුංචි පහේ රාස්පාන්වලටත් ලොකු ඉල්ලුමක් දැන් තියෙනවා.
මගෙන් හරස් පැනයකි.පිටරටින් ඇලුමිනියම් භාණ්ඩ ගෙන්වීම නතර කළ පසු ඔවුන්ට සිදුවූයේ කුමක්ද? පැනය නිමය.
"ඇත්තටම ඉස්සරට වඩා බිස්නස් වැඩි වුණා. ඒත් කොවිඩ් නිසා වෙච්චි පාඩුව නම් කියල නිම කරන්න බැහැ. මොකද අපේ ළඟ සේවකයෝ හතර පහක් වැඩ කළා. කොවිඩ් නිසා බිස්නස් වැටුණම ඒ අය ඉවත් වුණා. මොකද ඒ කාලේ කවුරුත්ම මේ භාණ්ඩ ගන්න හිටියෙ නෑ. පස්සේ කාලෙ යනකොට කොවිඩ් ඉවර වෙලා දැන් බිස්නස් එක හැදෙමින් පවතිනවා. ළඟදී සේවකයො ගන්න හිතාගෙනයි අපි දෙන්න ඉන්නෙ.
මේ මොහොත වන විට ද සුනිල් මහතා අමුද්‍රව්‍ය සෙවීමේ කටයුතු සඳහා පිටව ගොස්් ය. සම්පූර්ණයෙන්ම පුංචි කම්හල දැන් භාර ජීවනී මහත්මියටය..
“ඉස්සෙල්ලාම අපි ඇලුමිනියම් සීට් ගේනවා. ඒක එක එක අච්චුවේ දාල තමයි මේ බඩු හදන්නේ.මේව හදනකොට විශේෂ සැලකිල්ලක් දක්වන්නම ඕන. මොකද උයන පිහන කන බොන දේවල් නේ. විස්වාසෙන් හදන නිසා අපට හැමදාම ඕඩර් එහෙමත් තියෙනවා. මෙතන තමයි අපි බඩු හදන්නේ.
සුවිශාල තුරු සෙවණක් යට කුඩා අලංකාර කම්හලකි.මේ සියලු භාණ්ඩ නිමාකොට ඇත්තේ ඒ කම්හල තුළය.
“ලංකාව වටෙන්ම අපෙන් බඩු ගන්න එනවා. කටින් කට ආරංචි වෙලා තමයි ගොඩක් අය එන්නෙ. අපි මොනව වුණත් කොච්චර බිස්නස් තිබුණත් කොලිටිය බාල කරන්නෙ නැහැ.එහෙම කළාම ව්‍යාපාරය සාර්ථකයි. ස්ථාවරයි.
රට වටේම අය එච්.ආර්.ජී එකේ බඩු කිව්වම ප්‍රමිතිය ගැන දන්නවා.”
ඇගේ කෙටි කතාව තුළ ඕනෑම අයකුට ලබා ගැනීමට ගැඹුරු ආදර්ශයක් ගැබ්ව තිබේ. ඒ ආදර්ශය පරමාදර්ශය කරගත් ඈ සහ සැමියා එම ප්‍රතිපත්ති රැකීම නිසාම සාර්ථක ව්‍යවසායකයින් වී තිබේ.
අප මහපාරේ ගොස් සොයා ගරාගන්නා මැණික් තවත් අයකුගේ ජීවන ගමනට දිස්නයක් එක් කරලයි. අද හමුවූ ජීවනී මහත්මියද එසේමය.
“මේ මහපාරේ යන අය ගොඩක් දෙනා අපේ කඩේට ගොඩවෙලා බඩු අරන් යනවා. එක දවසක් ආව කෙනෙක් තවත් දවසක එන්නේ විශ්වාසයෙන්.බිස්නස් එකක් කරනකොට විස්වාසය වගේම ආත්ම විශ්වාසයත් තියෙන්නම ඕන..ඒක තමයි අපි දෙන්නම අදහන දේ. අපි දෙන්න්ගෙ එකතුව සහ කැපවීම මේ හැම භාණ්ඩයකම තියෙනවා.”
ඈ නැවත තම දෝතින් නිමැවූ භාණ්ඩ දෙස බලයි.ඇලුමිනියම් බඳුනෙහි කාන්තිය නැවතත් යකඩ ගැහැනියගේ දෑස මත වැටෙයි. මහ පාඩම් ඉගෙනගත හැකි මහපාරේ ජීවිත තව කොතෙක් නම් ඇතිදැයි නැවත මට සිතේ.