වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
මට මොනවා වුණත් අම්මයි චූටියි බේරගන්නවා කියල මම හිතුවා...
අනාරාධිත තෙතබරිත සුළං රැලි හන්තාන දෙසින් ඇදෙමින් තිබුණි. තුරු හිස් අගිසි හිස් කරමින් ප්‍රචණ්ඩ වූ රුදුරු සුළඟ වැහිකෝඩය තව තවත් දැඩි කළේය. කුඩා දිය බෙදුම් මහා ජල පහර බවට පත්ව රිසි සේ රිසි තැන් සොයමින් ඇදී ගියේය.අඳුරු අහස එළි කළ විදුලි එළියට බියවූ නැඟනීද තුරුලු කරගත් සුබෝධා කුඩා නිවෙසේ කෙළවර කාමරයේ පාඩම් කරමින් උන්නාය.
වහලය දෙවනත් කරමින් මොරගෙඩි ලෙස පතිත වූ වැහි ගෙඩි හෙණ ගෙඩි හඬද පරයා උස්ව නැඟුණේය.
කාමරයේ ඇඳෙහි දිගාවී සිටි අම්මා අසලට ගිය සුබෝධා නංගීද ඇඳෙහි මැද තැබුවාය.මහ වැස්ස නිමවන පාටක් පේන තෙක්මානයේ නැත.සුබෝධා වරින් වර කුඩා ජනෙල් කවුළුවෙන් අහස දෙස බැලුවාය.
"ඉවරවෙන පාටක් නෑ නේ ලොක්කී"
අම්මා සුබෝධාගෙන් ඇසුවේ ලොකු නංගීද තුරුලට ගනිමින් ය.දැන් කාමරයේ සිවු දෙනෙකි.
ඒ ඇඳෙහි ඇලවී සිටින්නේ අම්මාත්,ලොකු නංගීත්,චූටි නංගී සහ සුබෝධාය.මේ කතාන්දර ඇරඹෙන්නේ මේ අනපේක්ෂිත මොහොතේය.
වැස්ස තදවෙත්ම විටින් විට විශාල ජලබිඳු අනවසරයෙන් කාමරයට එබෙන්නට පටන්ගත්තේය.ඉන් පසුව සිහින් ජල පහරක් බිත්තිය දිගේ පහළට රූටන අයුරු සුබෝධා දුටුවාය.දෑස් දල්වා අවධානයෙන්ම ඒ දෙස බලාසිටි සුබෝධාට නිවෙසින් පිටත යමක් සිදු වන බව ඉවෙන් මෙන් දැනුණේය.එක් ක්ෂණයකින් ඇඳ තිබූ තැන බිත්තිය ඉරිතැළී ගියේය.එතැන් පටන් මේ කතාන්දරය කියන්නට දන්නේ අපේ කතාවේ නායිකාව මෙන්ම වීරවරියද වන සුබෝධාය.මේ ඒ වීර කතාවයි.පස් කන්දකට සහ ගඩොල් ගොඩකට යටවූ තමාගේ නංගිලා දෙදෙනා සහ ආදරණීය අම්මා තනිව බේරාගත් මේ දියණිය ඒ බිහිසුණු කතාන්දරය මෙනෙහි කරන්නේද ඉතා සංවේදීවමය.
"එදා හොඳටම වැස්ස දවසක්.අපි හතරදෙනා සාමාන්‍ය විදියට ගෙදරට වෙලා සතුටින් හිටියා.මගේ අප්පච්චි වැඩ කරන්නේ නගර සභාවෙ.එයා වැඩට ගිහින් තමයි හිටියේ.වෙලාව හවස හයට විතර ඇති.කළුවරත් වැටෙමින් තිබුණා. අපි නිදාගන්න ඇඳයි මගේ පොත් මේසෙයි තිබුණේ එකම කාමරේ.අ ම්මයි නංගිලා දෙන්නයි ඇඳට වෙලා සීතලේ තුරුල්වෙලා හිටියේ. මම පොත් මේසේ පාඩම් කරමින් ඉඳල කාමරෙන් එළියට ගියා. පොඩ්ඩක් වට පිට බලල මම කාමරේට එනකොට ඇඳ ළඟ බිත්තියේ වතුර පාරක් එනව මම දැක්කා. අනෙක් පැත්තට හැරිල හිටිය නිසා අම්මවත් ලොකු නංගිවත් ඒක දැක්කෙ නෑ. ලොකු නංගිගේ වයස අවුරුදු දහයයි. එයාට යමක් තේරුණාට පොඩි නංගීට මොනවත්ම තේරෙන්නෙ නෑ. එයාට අවුරුදු පහයි.
මම දැක්කා එකපාරටම බිත්තිය ඉරි තළනවා. කල්පනා කරන්න පොඩ්ඩක්වත් වෙලාව ඉතුරුවෙලා තිබුණෙ නෑ. මං ලොකු නංගිගේ අත් දෙකෙන් අල්ලල කාමරෙන් එළියට දැම්මා. ඒත් එක්කම බිත්තිය කඩාගෙන පස් කන්ද ගේ ඇතුළට ආවා.
අපේ වීරවරිය සංවේදී වෙයි. ඒ බියකරු මොහොත මතක් කරන විට ඇගේ දෑසට කඳුළක් එක්වෙයි.
"මං ලොකු නංගී කාමරෙන් එළියට දාල එද්දීම මගේ ඇස් ඉස්සරහම අම්මයි චූටි නංගියි පස් කන්දට පණපිටින්ම යටවුණා. මං කෑගැහුවා.ඒත් මේ මහවැස්ස අස්සේ කාටවත් ඇහුණෙ නෑ. මට මොනව වුණත් අම්මයි චූටියි බේරගන්නවා කියල මං හිතුවා. ඇත්තටම මට ලොකු ශක්තියක් හිතට ආවා. අම්මගේ කොණ්ඩෙ පොඩ්ඩක් පේන්න තිබුණා.කාමරේ බිත්තිය සම්පූර්ණයෙන්ම ගැලවෙමින් තිබුණේ. මං අම්මව හොයනකොට එකපාරටම ලොකු ගලක් ඇවිත් මගේ අත උඩට වැටුණා. අම්මව මට අතෑරුණා.මට මොනව වුණත් අම්මවයි චූටිවයි බේරගන්නව කියල මං ආයේ පස් ගොඩ පීරුවා .ආයෙමත් අම්මගේ ඔළුව මට අහුවුණා. මම ගල් එක එක අයින් කරල අම්මව පස් ගොඩෙන් එළියට ගත්තා.ඒ වෙනකොටත් නංගිව පේන්න හිටියෙ නෑ.
ඈ නැවතත් සංවේදී වෙයි.මේ මොහොත අත්දුටුවකුට හැර ඔබට මට මේ බිහිසුණු අත්දැකීම පිළිබඳ නිශ්චිත හැඟීමක් නොඑන්න හැකි නමුත් ඈ නැවත නැවතත් වචනයක් පාසා ඒ බිය හිත තුළ මෙනෙහි කරයි.
මං ගල් ගොඩ ඇතුළෙ නංගිව හෙව්වා.ඇද බිමටම සමතලා වෙලා තිබුණු නිසා එයා හිටිය තැනකවත් සලකුණු තිබුණෙ නෑ.අම්මත් හිටියෙ අමාරුවෙන්.මං නංගි හිටිය කියල හිතපු තැන ගල් ගොඩ පීරුවා.ගල් පස් අයින් කරනකොට නංගිගේ අතක් මට අහුවුණා.ඒක දිගේ ගිහිං මං නංගිවත් පස් ගොඩෙන් එළියට ගත්තා.නංගිගේ කකුල් තුවාල වෙලා තිබුණෙ හොඳටම.පැය භාගයක් ,විනාඩි විස්සක් වගේ ඇතුළත තමයි මේ හැමදේම වුණේ.ඇත්තටම මේක හීනයක් වගේ.තවමත් මං කල්පනා කරනවා මං කොහොමද මේක කළේ කියල.
සුබෝධා නැවතත් කැඩී බිඳී බිමටම සමතලා වූ ඔවුන්ගේ කාමරය දෙස බලයි. දැන් සිනාවෙන් ඉතිරීගිය කාමරය වෙනුවට ඇත්තේ එකම පස් ගොඩකි. සුබෝධාගේ මේසය ඇගේ සියලු පොත් සමඟම පස් කන්ද බිලිගෙන වසා තිබේ. දැන් මේ පවුලටම ඉන්න හිටින්නට තැනක් නැත. අම්මාගේ සහ නැඟණියන් දෙදෙනාගේ ජීවිතය බේරාගත් නොනිමි සතුට අතර සුබෝධා ඒ ගැන වාවාගනු බැරි තරම් දුකෙනි.
"අපිට දැන් ඉන්න තැනක් නෑ. මගේ පොත්පත් ඔක්කොම මේ බිත්තියට යට වුණා. කවුරුහරි අපට ඉන්න තැනක් ගැන බලාපොරොත්තුවක් දෙනවනම් ඒක විතරයි අපට ඕන.
ඈ හඬමින් කියයි. රෝහල්ගතව සිටි අම්මාත් නංගීත් ඇතුළුව මේ පවුල අදවනවිට ජීවත්වන්නේ මිත්තනියගේ නිවෙසේයි. වෙනදා ඇසුණු සතුටු සිනා වෙනුවට අද මේ නිවෙසේ ඇසෙන්නේ හැඟුම්බර හැඬුමයි. දිරිය දියණී සුබෝධා ජීවත්වන්නේ මහනුවර සුන්දර හන්තානට යාබද සුදුහුම්පොළ ගම්මානයේය. ඇයගේ පියා වන ජානක නගරසභාවේ සේවකයෙකි.මේ දිරිය දියණිය ගැන ඔහුටද වචනයක් කියන්නට ඇතුවා සේය.
"මං වැඩ ඉවරවෙලා ගෙදරට ආවේ හතයි කාලට විතර.ඒ වෙද්දී මේ සේරම වෙලා ඉවරයි.මගේ දූ...
ඔහුද සංවේදී වෙන්නේ දුවගේ හිසට අත තබාගනිමිනි.
එයා අපේ පවුලම බේරගත්ත වීරවරියක්.ඒ වෙලාවෙ කරගන්න කියල කිසිම දෙයක් නෑ.දූ ඒ තීරණය ගත්තේ නැත්නම් අද...
ඉන් ඔබ්බට කතා කළ යුතු නොවේ.දැන් ඒ සියලුදෙනා අප ඉදිරිපිට ජීවමානව සිටී. සුබෝධා සෙව්වන්දි නමැති අපේ කතාන්දරයේ වීරවරිය මේවනවිට ............................... විද්‍යාලයේ එකොළොස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දහසය වියැති දැරියකි. දෙවැනි නැඟනිය තාරුකා පස්වැනි වසරේ ඉගෙනුම ලබන අතර චූටි නංගී දෙව්මි පෙර පාසල් සිඟිත්තියකි.
මේ කතාව තුළ අපට හමුවන වීරවරිය නොවන්නට මේ වන විට ජීවිත දෙකක ඉරණම ඛේදාන්තයකින් නිමා වීමට ඉඩ තිබුණි. ඇගේ ස්ථානෝචිත නුවණත් නොනිමි දිරියත් අප සැමට පූර්වාදර්ශයක්ම සපයන අතර කාන්තාවක සතු ප්‍රබල ශක්තිය අපට කියාපායි.
මේ අවිහිංසක වීරවරියට ගෞරවය දැක්වීම පිණිස අපටද කළ හැකි යමක් ඉතිරිව තිබේ. ඔවුනට දැන් ජීවත්වීමට නිවෙසක් නැත. ඔවුන්ගේ ආර්ථික ශක්තිය නැවත නිවෙසක් ඉදිකරගැනීමට තරමට ශක්තිමත් නැත. මෙය කියවන ඔබ මේ දිරිය දියණිය වෙනුවෙන් ගඩොලක හෝ පරිත්‍යාගයක් කළ හැකිනම් ඔවුන්ගේ සුන්දර නවාතැන නැවත ගොඩනැඟෙනු ඇත.
සැබැවින්ම මෙවැනි දිරිය දියණියන් මේ මාතෘභූමියට සම්පතකි. ඇයගේත් ඇයගේ පවුලේත් අනාගතය සරු කරනට අපට හැකිනම් එය මිනිසුන් ලෙස අප සැවොම ඇයට ලබාදෙන ගෞරවනීය ආදරයකි.
"අපට ගෙයක් හදාගන්න උදවු කරන්න"
ඈ ඒ ඉල්ලීම කළේ අප සැමගෙනි.හිත් උණුවන ආදරණීය සංවේදී අප සැවොම ඒ ඉල්ලීම ඉටු කිරීමට හැකි අයුරින් දායකවීම අපේ යුතුකමකි.වගකීමකි.
ආදරණීය දුවේ....
ඔබ සැබෑ වීරවරියක්...
අවසානයේ කිවයුත්තේ එපමණකි.
ඡායාරූප - රුවන් මීගම්මන