මහවන මැද කොමලපාන දූවිලි ඇලි මනාලී

නොවැම්බර් 21, 2022

දිය ඇලි සිරි අතර අනගි පරිසර සිරිය විඳගැනීමටත් ඒවා අධ්‍යයනය කිරීමටත් සංචාරකයනට වරම් ලැබේ. විවිධ ගොළුබෙලි විශේෂ වන මල් විශේෂ මෙන්ම දුලබ ශාක විශේෂ ද මේ හරිත මංපෙත තුළ සුලබ වේ.

මද පොද වැසි නොවැටෙන්නට අපේ ගමන තවත් වේගවත් වීමට ඉඩ තිබුණි. ලිස්සන සුළු මැටි පෙත්මං දිගේ අප වන මඟට ප්‍රවේශ වෙමින් සිටි‍ෙයමු. අද අපේ ගමන ලංකාවම කතා කරන ලංකාගම පාරදිගේය. නෙළුව නගරයෙන් ලංකාගමට යන මාර්ගය අති සුන්දර වනමඟකි.

එම වන මඟෙහි ලංකාගම සිංහරාජ පිවිසුමෙන් අපේ ගිමන නිවන ගමනාන්තයට යා යුතුය.අද අප සොයා යන්නේ සිංහරාජ මහවනමැද සැඟවුණු දූවිලි ඇලි මනාලියයි.

ජීවිතය මෙයයැයි සිතෙන තරමට නිහඬ නිසසල සිංහරාජ වන වදුලේ නදදෙන මිහිරි විහඟ නද අසමින් අපි කුඩා කඳුකර අඩිපාරෙන් පැලැස්සකට පැමිණියෙමු.දැන් අපේ මඟ වැටෙන්නේ දූවිලි ඇලි මනාලියගේ සිරිය විඳිනු පිණිසය.

දැන් ඔබට පැනයක් නැගී ඇති බව දනිමි.ඊට පිළිතුරු සපයා මේ ගමන අරඹමු.

ශ්‍රී ලංකා මාතාව තම රූ සිරින් හැඩ කරවන ඇලි කොමලියන් අතර දූවිලි නමින් හඳුන්වන දිය ඇලි කිහිපයක් ශ්‍රී ලංකාවේ දියඇලි නාමාවලිවල අපට මුණගැසේ. ඉන් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා කල්තොට දූවිලි ඇල්ල උසින් මීටර් හතළිහක් පමණ වේ.කල්තොට දූවිලි ඇලි මනාලියට නොදෙවැනි නකල්ස් දූවිලි ඇල්ලද සුනිමල දියදහර එකතුවකින් සැදුම්ලත්තකි.මෙසේ විවිධ ප්‍රදේශවල විවිධ හැඩ මවමින් ගලා හැලෙන දූවිලි ඇලි අතර තවත් ප්‍රකට දූවිලි ඇල්ලක් අප සිටින තැන සිට මදදුරකින් ද ඇද වැටෙයි. ඒ නෙළුව කොස්මුල්ල දූවිලි ඇල්ලයි. මේ සියලු දූවිලි ඇලි කොමලියන් අතර සදාහරිත මඟක පිටිටන සිංහරාජ දූවිලි ඇල්ල අද අපේ ගමනාන්තය වේ.

මෙසේ රට වටා පිහිටන දූවිලි ඇලි වරෙක භාවිතයේ පහසුව තකා දූලි ඇලි ලෙස ද ව්‍යවහාරයේ යෙදෙයි.කෙසේ නමුදු මේ ඇලි මනාලියන් සියලුදෙනාට මේ නම යෙදී ඇත්තේ ගලින් ගලට පැන යන විට මවන සිත්තම් හේතුවෙනි.මේ සියලු දූවිලි ඇලි අසල පරිසර භාවනාවක යෙදෙන්නකුට ඇලි මනාලිය විසින් මවන දූවිලි දිය සේලයේ ගැලීමටත් ඒ තුළ තෙතබරියම් වීමටත් දුලබ වරම හිමි වෙයි.

මේ මොහොතේ මම ක්‍රමයෙන් දූවිලි ඇලි මනාලියගේ රුව අසල දැහැන් ගතව සිටිමි.ඒ මේ අතින් ඇසෙන නේකවිධ කුරුළු කූජනය දියඇලි මනාලියගේ රසාලිප්ත ගීතයෙන් වරින් වර මැකී යයි.වන වදුල අතරින් ගලා හැලෙන හිරු කෙඳිති දිය ඇලි මනාලියගේ වරලසට පතිතව මවන නේක රූ රටා පරිසරයම ආනන්දයෙන් වසාලයි.

අපි සිංහරාජයේ දූවිලි ඇලි මනාලියගේ මංගල ගමන දෙස බොහෝවේලා බලා සිටියෙමු. තට්ටු කිහිපයකට ගලා වැටෙන දූවිලි ඇලි ලලනාව ජීවය ලබන්නේ හැරියාව දොළ දියෙනි. නොකිළිටි සිංහරාජ වන උයනේ නොමැකෙන දිය උල්පත් එක්ව සුසැදි හැරියාව දොළ දැන් ඔබට හුරු පුරුදු එකකි.

මේ ගමනේදී අපි හැරියාව දොළෙන් කිහිපවරක් එගොඩ මෙගොඩ වී අපේ මඟ සකසා ගත්තෙමු. ඒ මඟ සිරි විසිතුරු නොඅඩුව විඳ ගත්තෙමු.

දැන් අප සිටින්නේ මුහුදු මට්ටමේ සිට මීටර තුන්සිය දහඅටක උස කඳුකර වන ගත ගිරි සිරසක් මතය. ඒ සිරස මත සුදුවතින් සැරසී සක්මන් කරන දූවිලි ඇලි යුවතියගේ උස මීටර විසි පහක් පමණය. දූවිලි ඇල්ල මෙ මොහොතේ මවන සිරිය තව තවත් වර්ණවත් වන්නේ ඉහත්තාවට වැසි ලැබීමෙනි. මහ වැස්සෙන් ජවසම්පන්න වූ හැරියාව දොළ දූවිලි අවුස්සමින් සිරි මවනේ ම අප වෙනුවෙනි.

 

මෙම ගමන සඳහා ඔබ සූදානමින් පැමිණීම ගමනේ වින්දනය දෙගුණ තෙගුණ කිරීමට හේතු වේ. මෙම ගමන ආරම්භ කිරීමට පෙර ඔබ වන ගමනට අවශ්‍ය දේ සූදානම් කරගැනීම ඉතා වැදගත් වේ. මෙම මඟ ඉතාමත් ලිස්සන සුළු තැන් වලින් සමන්විත බැවින් ලිස්සනසුළු සෙරෙප්පු වෙනුවට නො ලිස්සන සපත්තු භාවිත කිරීමට ඔබ අවධානය යොමු කළ යුතුමය.එමෙන්ම මේ වනමඟට පිවිසෙන විට ආහාර පිළිබඳ අප සැලකිල්ලට ගත යුතුමය.බීමට නොකිළිටි ජලය ඕනෑ තරම් අපට හමුවුවද මේ මඟෙහි ආහාර නොමැති බව ඔබ මතකයේ තබා ගත යුතුමය.ලංකාගම කුඩා වෙළඳසල් කිහිපයක් හමුවුවද ඔබේ ආහාර අවශ්‍යතාව නෙළුව නගරයෙන් සපුරා ගැනීම නුවණට හුරු කරුණකි.එසේම ඔබට ලංකාගමට ආවේණික ආහාර වේලක රස විඳීමට අවශ්‍ය නම් ඒ සඳහා පහසුකම් මඟපෙන්වන්නන් විසින් සංවිධානය කරනු ඇත. මේ ගමනට සූදානම්වන ඔබ දියපහරවලින් එගොඩ වීමට සුදුසු ඇඳුමකින් සැරසීම ඉතාමත් වැදගත් ය.කූඩැල්ලන්ගෙන් ප්‍රවේශම් වීමට අවශ්‍ය ක්‍රමවේදයන් අනුගමනය ඉතා වැදගත් අතර ඔබ ගෙන යන සියලු දේ සහ අපද්‍රව්‍ය නැවත ගෙන ඒමට බෑගයක් ගෙන යාමටද මතක තබාගත යුතුවේ. මේ ආනන්දනීය පරිසරය අපේ පමණක් නොව ලෝකයේම උරුමයක් වන. බැවින් එය රැකීම අපේ වගකීමක් බව ගමනට පෙරම වටහා ගැනීම ඉතා වැදගත්ය.

මේ සිරි අසිරිය විඳගැනීමට දැන් පහසුවෙන් මේ වනවදුලට ළඟාවීමට පහසුකම් සකසා තිබේ.මේ හරිත වනවදුල ඔබටත් මටත් විවෘතව පවතී.මේ සුන්දර වන උයන අප එනතුරු බලා සිටී.

එන්න මේ සිරි අසිරි ජීවිතයට එක් කරගනිමු.

 

ඡායාරූප සමන්ත වීරසිරි