ගුමු ගුමුව

නොවැම්බර් 21, 2022

බිඳුණු රළ

රළින් රළ නැඟී එන
සිතුම් වියළිව දෙතොල් අග
බිඳෙන්නට වෙරළක් සොයා
ළතැව ළතැවෙන වෙලාවක
අතින් අත ගලා යන
හැඟුම් විකසිත සැඳෑවක
ගිලෙන්නට මොහොතක් තියා
ඉර හෙළන මද සිනාවක

ඔබ කියයි මට එබී නෙතඟට
"එන්න අපි නිදහසේ ඇවිදිමු
අපට කතා කරන්න ගොඩක් දේවල් තියනවා..."

වැලි බිඳක් නැති බිමක පා ගැටෙන ගඩොල් කැට
සයුර නවතා බැඳුණු නැවතුමකි යකඩ වැට
හිස්ව ඇති මගේ අත නැවතුණත් මොහොතකට
ඈත සාගරෙන් ඔබ ඉගිළිලා ඔබේ හිත

පාට පාටට පිපෙන මල් පිරුණු නිම්නයක
තේම්ස් ගඟ උඩින් යන ආරුක්කු පාලමක
පැයෙන් පැය නාද වෙන මිහිරි නද සීනුවක
ඉරි අඳියි හෙමි හෙමින් කොඳ කැකුළු ප්‍රේමයක

නිල්පාට අහස යට කොළ පාට ගොයම් පැළ
මල් දරා බණ්ඩි වෙන රන්පාට හීනවල
ගිරවුන්ගෙ කිචි බිචිය ගැට ගහන ගීතවල
සුවඳ අරගෙන ඇවිත් හිත සිඹියි සුළං රළ

පසිඳු පියුමාල්
 

**************

ප්‍රාර්ථනා මල් බිම වැටුණා



හැමදාකම ඔබ යන එන
තැඹිලි පාට කෝච්චියේ
අදත් ඔබ ඇතැයි මම හිතුවා
රෝස පාට මල් බිම වැටුණා

මාල ගිරව් රෑන රෑන
පියාඹමින් ගැයුව ගීත
කොහේදෝ සිටන් මට ඇසුණා
සඳක් නොමැති පාළු රෑක
දුටුව හීන පාට පාට
යාන්තමින් මතකෙට නැඟුණා
සීතල පිනි මල් බිම වැටුණා

හඬ නඟමින් ඈත ඈත
මා පසුකර ඈත ඈත
පාට පාට දුම්රිය ඇඳුණා
මම සිටියදි මන්දගාමී
ඔබ ඉගිළුනෙ ඇයිද ලිහිණි
දන්නවාද හදවත රිදුණා
ප්‍රාර්ථනා මල් බිම වැටුණා

ජගත් ප්‍රසන්න කුරුගම

***************

පරසතු කුසුමක්
 


ලොවට නොපෙනුන
රහස් නිම්නයක
නුඹේ සෙනහස
සැඟව යන්නැති

එහෙව් ප්‍රේමයක
කඳුළකින් සුපිපුණු
පරසතු කුසුමක්
ඒ නිම්නයේ
විකසිතව සැමදා
පවතිනවා ඇති

ප්‍රියාශා රන්වල
 

**************

විදෙස් කවි

තුරුලු කරගමි හැර දා ගිය සෙනෙහස


සපැමිණි සඳ ඔබ
පෙරළා ඔබේ නිවහන වෙත
සුපුරුදු කැඩපත අභියසට
තුති කළ යුතුය, නොවලහා

එමතු නොව,
ආචාර කළ යුතුය පිළිගෙන
සපැමිණෙන අන් සැවොම
කිව යුතුමය,
අසුන්ගත මැනව
බුදිනු මැන රිසි දෙයක්
ඇත සපිරිව වයින් සහ පාන්
එලෙසම හදවතේ සෙනෙහස ද

අතා’රින ලද දිවිය ගොඩනැඟී
ගලා යනු ඇත සතුට මතුවට
පිරික්සනු මැන පොත් රාක්කය
අද‍රැ’ති හසුන්, සේයා රූ සේම
නොසලකා හැරි අමිහිරි සිහිවටන

යොමා නෙතු කැඩපත මත
දකිනු මැන සුන්දර ඔබ දිවිය
සැනසෙන්න මිහි‍රැති වසන්තය මා ද

Sir Derek Alton Walcott
පරිවර්තනය
සමන් හේරත්

 

****************

වැරහැලි
 

දුඹුටු සුවඳ මවු ළැමැදේ
හුස්ම කළඳ හිර වුණාම
අවාරයයි කොහි යන්නද
විසල් දොරටු හැර තිබුණට

කන මුර කළ දෙහි කටුවට
මල් පරවෙන චීත්තයට
දැලි අංජන තැවරුණාට
හවුහරණක් නැති මැඳුරක

තරු මල්වර අහස යටම
රටා ලිහෙන පන් පැදුරෙම
කුස මේරූ හිරිමල් විය
පැමිණිල්ලක හඬක් නැතිව
රංකැටි පුතා කොතැන ගියේ
කිරි එරවා යන්න ගියේ
කිරි මුට්ටිය කොහේ ගියේ
කඳුළු ගඟේ පාව ගියේ

වැරහැලි වූ තනි සිහිනේ
තාන් අණ්ඩ එළලමිනේ
දුරක් ඉඳන් සෙව්ව උවන
සැඟවුණාම මල් වඩමේ

සනුහරයම මෙහෙසියගේ
පරල වෙත්දි එක පොදියේ
පාමුල ලැග වෙසතුරු කව
මුමුණන්ටත් ඉඩක් නැතේ
 

අකැප අඩවියකි පිටවෙයන්
මළ බෙරයක් ගුගුරන්නේ
සොහොන් වෙසක් ගත් මැඳුරෙන්
කොහි යන්නද නැත දන්නේ

සම්මානි වීරකෝන්

*****************

අනියත
 


තුරුණු සුරතක
සියුම් පහසින
බෝ පැතුම් දරමින
පූජාසනය මත හිඳින

බුදුන් දැකුමින
සුගන්ධය ගෙන
පැතුම් හද ගුළිව
පිපුණු හිරු අවරින

නෙතු හැර බලමින
පූජාසනයේ පුෂ්පයෝ
පැතුම් විල උතුරමින
බෝසතුන් ආශාවන් අතැර

ජේ.එච්.සමන් අතුල කුමාර

**********************

මං මිදෙමින් ඉන්නවා

(ලියන්න සිද්ධ වුණ කතාවක්)

මේක සිද්ධ වෙන්න තිබ්බෙ මෙහෙම නෙවෙයි. කතාව කොතනින් කොහොම පටන් ගත්තත් කතා කරන්න සිද්ධවෙන්නෙ එකම දේ ගැන. එකම දේ කියන්නෙ එකම දේ.

මොකක්ද ඒ එකම දේ කියලා කවුරු හරිම ඇහුවොත් සිද්ධ වෙන දේ කියලා තමයි මට උත්තර දෙන්න වෙන්නෙ.

ඔයා කවුද? ඊළඟට ඔයා අහන ප්‍රශ්නේ තමයි ඕක. ඒ කියන්නේ හැමෝටම දැනගන්න ඕන වෙන්නෙ මම කවුද කියන එක. ඉස්සර නම් මං ඕකට උත්තර දෙන්න හුඟක් මහන්සි වෙනවා. මං මං ගැන දරන උපරිම අවංක නිර්වචනය දෙනවා. මං මෙහෙම කෙනෙක් කියලා. ඒත් මට කාලයක් යද්දි ඒක නීරසයි වගේ දැනෙනව. ඊට පස්සෙ මං කරන්නෙ මං කවුද කියලා අනෙක් පාර්ශ්වයට දැනෙන්න අරිනවා. ඒ ඒ අයගේ ප්‍රමාණයේ හැටියට ඒ ඒ අය දැනගනියි. මං හිතන්නෙ මං කවුද කියන එක විස්තර කරනවට වඩා මං කියන්න යන කතාව වැදගත්.

මම කවුද කියලා අහන කෙනාට ඊළඟට එන ප්‍රශ්නෙ. ඔයා මොනවද කරන්නෙ? මං ඇත්තටම මං මොනවද කරමින් ඉන්නෙ. ඕකට දෙන්න තිබ්බ උත්තරේ කරන්න සිද්ධ වෙලා තියෙන දේ මං ඒ මොහොතෙ කරමින් ඉන්නවා කියලා. මොකද අපි කාටවත් අපිට ඕන දේ ඒ විදිහටම කරන්න බෑ. හේතුව අපිට හැම දේකදිම තව කෙනෙක් එක්ක සම්බන්ධවෙන්න වෙනවා. තනියම පැවත්මක් නෑ? කවුරුහරි මගෙන් ඇහුවොත් මට දෙන්න තියෙන උත්තරෙ මොකක් වෙයිද?

“ඔයාට පුළුවන්නේ කාට හරි හිතේ හැටියට ආදරේ කරන්න.”

උපදෙස්.. හොඳට හරි නරකට හරි දෙන ඒවා. කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි අහන්න ඉන්න වෙන ජාතියේ ඒවා.

“කාට හරි. හිතේ හැටියට?”

මට තිබ්බෙ ආයම ප්‍රශ්නයක් අහන්න. එහෙම මගේ විදිහට කියලා ජාතියක් මේ ලෝකෙ නෑ. කාට හරි ආදරේ කරද්දිත් අපිට සිද්ධ වෙනවා ඒ කෙනාගෙ දේවල් එක්ක සමපාත වෙන්න. ඒක පාර්ශ්වීය ආදර කතා මෙතනදි නිශ්ප්‍රමාණයි. ඒවගෙත් හිතේ හැටියට ආදරේ කරන්න බෑ. ඔව් සීමාසහිත.

ඕන්න එතකොට අනික් පාර්ශ්වයට මාව එපා වෙන්න ගන්නවා. හේතුව ඇත්ත. කතා කරන්න සිද්ධවෙලා තියෙන ඇත්ත. ඔහොම එකම සිද්ධිය ආය ආයම සිද්ධ වෙනවා. ජල චක්‍රය වගේ. නැවතීමක් නෑ. ඔහොම කැරකි කැරකි ඉද්දි මට ඕන වෙනවා මිදෙන්න.

“මිදෙන්න?”

ආයමත් ප්‍රශ්නයක්. මට සිද්ධ වෙලා තියෙනවා මිදෙන්න. මං මිදෙමින් ඉන්නවා වෙහෙසකර එකාකාරී දිවියෙන් ඈත්වෙලා. මිදෙමින් ඉන්නවා.

“මිදුණට පස්සෙ ඔයාට ඕන දේ ලැබිලද?”

ගොං ප්‍රශ්නයක්... මට ටිකක් කේන්ති යනවා.

“මං කියන්නෙ මට මිදෙන්න නම්, මිදෙන්න සිද්ධ වෙලා තියෙනවා.”

මං දීපු උත්තරෙන් කට ඇරං බලං ඉන්න කෙනාට මං පැහැදිලි කරනවා. දේවල්වලින් මිදෙන්න. මට හිම වගේ මිදෙන්න ඕන.

“මිදුණට පස්සෙ ඔයා කවුද?”

ආයම අර ප්‍රශ්නෙ. පිළිතුරු බැඳීමෙන්ම වෙහෙස වෙලා ඉන්න. ඒකාකාරී නීරස ප්‍රශ්නේ. හැබැයි මට උත්තරයක් තියෙනවා.

ඔයා හිතං ඉන්න කෙනාවත් ඔයාට දකින්න ඕන කෙනාවත් නෙවෙයි.

 

නිශාන්ත ෆර්නැන්ඩූ