වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
මිරිවැඩි සඟලක් නැතිව ඔලිම්පික් සිහින දකින මතුගම කළුවෙළඹ
මේ තරගයට දුවන්න මට ක්‍රීඩා සපත්තු දෙකක් තිබුණේ නැහැ. පයින් තමයි කිලෝ මීටර් 21 දිව්වේ. දුවලා ඉවර වෙනකොට මට එය දරාගන්න බැරි වුණා. තාර පාරේ රස්නෙට කකුල්වල දිය පට්ටා දාලා. ඒවා පුපුරලා රතු පට්ට දාලා ලේ ගලනවා.
මිරිවැඩි සඟලක් නැති ඇඟේ පතුල් මහ පොළොව මත ගැටෙන්නේ මහත් වේදනාවෙනි. ඒ වේදනාව සිත කීරි ගසිමින් හදවතම රිඳුම් දෙයි. මේ ගමන කෙතරම් අසීරු වුණත් නවතා දැමිය නොහැකි තරගයකි. යටි පතුල් පුපුරා ගලන තුවාලවල වේදනාවට වඩා සිතට දැනෙනා ධෛර්ය ජයග්‍රහණයේ ජය කණුව පෙනෙන නොපෙනෙන මානයේදී ඇයට බොඳ වී පෙනෙන්නේ සිහිනයක් ලෙසිනි.
ඩබ්.ටී පේෂලිකා මධුවන්ති පෙරේරා
මෙවර සමස්ථ ලංකා අන්තර් පාඨශාලා තරගවලියේදී මැරතන් ධාවන තරගයෙන් ජයග්‍රහණය ලබන්නේ ඇයයි. කිලෝ මීටර් 21ක දුරක් අවසන් කරමින් ඉතා දුෂ්කර වූ තරගයක ජයග්‍රහණය සනිටුහන් කරන්නට ඇය තරගබිමට පිවිසෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම අති දුෂ්කර ප්‍රදේශයක් වන වැල්කන්දල ප්‍රදේශයෙනි. ක/පාන්තිය මහ විදුහලේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මධුවන්තිගේ මේ ජයග්‍රහණය පසුපස ඇත්තේ ඉතාම සංවේදී කතාවකි. තම දෙපයට මිරිවැඩි සඟලක් නොමැතිව මධුවන්ති මේ ජයග්‍රහණය ලබා ගැනීම ඇත්නාවලින් සුසන්තිකා ජයසිංහ ආ ගමන ආ සමානය. වැල්කන්දල මළමිරිස් කන්දේ සිට දිනපතාම කිලෝමීටර් 4ක් පයින් පාසලට පැමිණීමත් ආපසු නිවෙසට යෑමත් ඇය හුරුවන්නේ ළදරු පාසල් අධ්‍යාපනය ලබන සමයේ පටන්මය. විනාඩි 45ක පමණ කාලයක් පයින් දිනපතා පාසලට පැමිණි ගමන ආශිර්වාදයක් කර ගන්නා පේෂලිකාට ක්‍රීඩාව ගැන අත්පොත් තබන්නට හෝ දෙපයට වාරු දී ව්‍යායාම කරන්නට අවශ්‍ය නොවීය. තම දුෂ්කර වූ පාසල් ගමනට ආශිර්වාදයක් කර ගත් ඇය සමස්ථ දරු පරපුරට හොඳ ආදර්ශයකි. ඇයගේ ජයග්‍රහණයේ සතුට සොයා අප වැල්කන්දල ඇයගේ නිවෙසටම ගියේ ඒ ජයග්‍රහණයට අභිමානයක් එක් කරන සටහනක් තැබීමේ අපේක්ෂාවෙනි. ඉතා දුෂ්කර ප්‍රදේශයක් වූ මලමිරිස් කන්ද ග්‍රාමයේ පදිංචි පුංචි නිවහන ජීවත් වන ඇයගේ ජයග්‍රහණය ගැන අපට සතුටු කඳුලු වගුරවමින් අපට සඳහන් කළේ මෙලෙසිනි.
“මේ තරගයට දුවන්න මට ක්‍රීඩා සපත්තු දෙකක් තිබුණේ නැහැ. පයින් තමයි කිලෝ මීටර් 21 ම දිව්වේ. දුවලා ඉවර වෙනකොට මට එය දරාගන්න බැරි වුණා. තාර පාරේ රස්නෙට කකුල්වල දිය පට්ටා දාලා. ඒවා පුපුරලා රතු පට්ට දාලා ලේ ගලනවා. මට වේදනාව දරා ගන්න බැරි තරම්. මම අත් දෙක වහගෙන හයියෙන් ඇඬුවා. ඇත්තටම මට ඒ ඇඬුනේ වේදනාවටම නොවෙයි. සතුට වැඩි කමටයි ඇඬුණේ. මට මේ ජයග්‍රහණය ලැබෙන්න ඇත්තේ අපට තියන දුෂ්කරතා නිසාම වෙන්න ඇති. අපේ ගම තියෙන්නේ ඉස්කෝලේ ඉඳන් කිලෝමීටර් 3 -4ක් දුරක. වැල්කන්ද හන්දියේ ඉදලා කිලෝමීටර් 2ක් විතර යන්න ඕනේ මළමිරිස් කන්දේ මම වගේම අපේ ගමේ හැම ළමයෙක්ම ඉස්කෝලෙට යන්නේ පයින්. අපි අපේ ගමට එන්න තියන පාර සම්පූර්ණයෙන් කැඩිලා. බයිසිකලයක්වත් යන්න බැහැ.
ඒ නිසා අපි හැමදාම පයින් තමයි යන්නේ එන්නේ.“
මධුවන්තිට ක්‍රීඩාවට සිත යන්නේ කුඩා කාලයේදීමය පුංචි කාලේ පටන්ම ඇය තම පවුලේ අභාෂයෙන් ක්‍රීඩාවට ආසා කළේ තම සහෝදරයන් සහ මව්පියන්ගේ ද ක්‍රීඩාවට තිබූ දක්ෂතාවය නිසාමය. ඇය ක්‍රීඩාවට යොමු වූ පසුබිම් කතාව ගැන ද අපට සඳහන් කළේ මහත් සතුටිනි.
“මගේ පවුලේ 6දෙනෙක් ඉන්නවා. අයියලා දෙන්නයි, නංගියි, මමයි. අපේ තාත්තා බේකරියක රැකියාවක් කළා. නමුත් තාත්තා වැටිලා කකුලේ ආබාධයක් ඇති වුණා. ඒ නිසා දැන් එයාට රැකියාව කරන්න අපහසුයි. අම්මටත් රැකියාවක් නැහැ. අයියලා දෙන්නගෙන් එක අයියා කෙනෙක් විදුලි කාර්මිකයෙක්.
අනෙක් අයියාට රැකියාවක් නැහැ. පවුලේ සෑම කෙනෙක්ම ක්‍රීඩාවට දක්ෂයි. ඒ නිසා පුංචි කාලේ පටන්ම ක්‍රීඩා තරගවලට ඉදිරිපත් වීමේ ආසාව මටත් ඇති වුණා. මම මුලින්ම ක්‍රීඩාවට යොමු වුණේ ඒ ආභාෂයෙන්. 9 වසරේදී තමයි මුලින්ම ක්‍රීඩාවට යොමු වුණේ. 2018 තමයි මමත් පළවැනි ජයග්‍රහණ ලබන්නේ. “Colombo Marathon' තරගයට රටවල් 5 - 6ක් සහභාගි වුණා. ඒ තරගයෙන් මම පළමු ස්ථානය ලැබුවා.
මීට අමතර පාසලේ ක්‍රීඩා කරන රාශියකට සහභාගී වෙලා ජයග්‍රහණ ලබා තියනවා. පළාත් තරග, දිස්ත්‍රික් තරගවලින් ජයග්‍රහණ රාශියක්ම තියනවා. 1500,5000,10000 දුර දිවීමේ තරග තමයි මම වැඩිපුරම ජයග්‍රහණය කරලා තියෙන්නේ.
මම මෙවර මැරතන් තරගයට ඉදිරිපත් වුණේ පළාත් තරගයේ දෙවැනි ස්ථානය ලබා ගනිමින්. මේ තරගයට යන්න සපත්තු දෙකක් තිබුණේ නැහැ. ඒ ගැන මම හිතුවෙම නැහැ. ඇත්තටම මගේ ක්‍රීඩා උපදේශක තුෂාන් ලියනගේ සර් මුලින්ම මාව ක්‍රීඩාවට යොමු කළේ. ඒ වගේම විදුහල්පති වික්‍රමනායක සර් දෙන්න මට විශාල ශක්තියක් වුණා. ක්‍රීඩා උපදේශිකා චතුරිකා මිස්. එයාත් සෑහෙන්න උදව් කරනවා.“
බොහෝ ආර්ථික අපහසුතා හා පසුතල පහසුකම් අවම වූ පාසලක උසස් පෙළ විභාගයට පෙනි සිටින මධුවන්ති මේ ලැබූ ජයග්‍රහණය ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයකි. ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමට
සිහින දකින ඇයට ඇත්තේ ඔලිම්පික් පදක්කම කරා ළඟා වීමේ අපේක්ෂාවයි. ඒ සඳහා ළඟාවීමට ඇයට ඇති බාධක අපමනය. තම ක්‍රීඩා පුහුණුවට අවශ්‍ය දුර දුවන සපත්තු යුගළක් පවා නොමැතිව ඇය සුසුම් හෙළන්නේ තම සිත්හි තෙරපෙන අසීරුතා කියන්නට නොහැකිවය. මළමිරිස් කන්ද මුදුනේ සිට මුළු රටටම ඇය හඬ ගා කියන්නේ මැරතන් ධාවන තරගය තම ජයග්‍රාහී මාවත ලෙස තෝරා ගනිමිනි. එය සැබෑ කරගන්නට ඇයට සුබපතන්නට ඔබට ඇති අවස්ථා බොහෝය. ඔබ ඇය වෙනුවෙන් තබන පුංචි දිරිගැන්වීම හෙට දිනයේ ඔලිම්පික් පදක්කමක් අප රටට රැගෙන එන්නට වෙර දරන දිරිය දියණියකට විශාල ශක්තියකි.
සටහන
බී.ටී තඹවිට
මතුගම සමූහ