මීටරයෙන් උපන් යකඩ යුවතී

තිළිණි දිසානායක
මාර්තු 11, 2024

ජගත් කාන්තා දිනයේ ලෝකේ හැමතැනම ප්‍රධන මාතෘකාව විදිහට කතා කරන්නේ කාන්තාවෝ ගැන. අපිත් එහෙමයි. ලෝකයම හොඹවන කාන්තාව වෙනුවෙන් දවසක් වෙන් වුණාට අපි නම් කියන්නේ ගතවන සෑම තත්ත්පරයකම හිමිකාරිනිය කාන්තාව කියලයි. මේ ලෝකේ අපිට හමුවෙනවා වෙනස් වෙනස් කාන්තාවෝ වෙනස් වෙනස් තැන්වල වෙනස් වෙනස් විදිහට. අපි ඇයව සොයාගෙන යන්නේ කටානට. මීටරයට ආදරය කරන ඇගේ නම තිළිණි දිසානායක. ඇය කරන්නේ වෙනස් වැඩක්. ඒ Automobile. කාන්තාවන් බොහොමයක් යොමු නොවන ක්ෂේත්‍රයක අයෝමය ශක්තියක්ව ජීවිතය තක්සේරු කරගත් ඇයගේ කතාව තමයි අපි දැන් කියන්න හදන්නේ. අපි ගව් ගාණක් දිග මීටරයේ කතාව මෙතැන් සිට කියවමු.


පොඩි කාලේ ඉඳන්ම වාහන එක්ක ඔට්ටු වෙන්නද ආස වුණේ?

මම පොඩි කාලේ බෝනික්කෝ, සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කළේ නැහැ කියලයි අම්මා තාත්තා මට කිව්වේ. පොඩි කාලේ ඉඳලම වාහනවල කෑලිවලට, ගරාජ් වැඩවලටලු මම ආස වුණේ.

තාත්තත් මේ ක්ෂේත්‍රයේම කෙනෙක් ද?

තාත්තාට එක ක්ෂේත්‍රයක් කියලා නැහැ. ඒ කියන්නේ එයා නොදන්න දෙයක් නැහැ. හැම දෙයක්ම දන්නවා. එයා වාහන සම්බන්ධ දේවලුත් කළා. වාහනවල කෑලි ගලවාගෙන හැම වෙලාවෙම එයා මොනවා හරි දෙයක් හදනවා. මම පොඩි කාලේ ඉඳන් සෙල්ලම් කළේ ඒ උපකරණ එක්ක.

පොඩි කාලේ ඉඳන් ඇති වුණු ආසාව එක්ක ද මේ ක්ෂේත්‍රය තෝරා ගන්න හිතුවේ...

මේක තමයි මගේ ආසාව. මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 7ක් වෙනවා. වාහනවල මීටර් අලුත්වැඩියා කිරීමයි මම කරන්නේ. මේ අවුරුදු 7 තුළ දී Auto mobile ගැන ඉගෙන ගත් දේ බොහොමයි. මේක දිනෙන් දින අලුත් වෙන ක්ෂේත්‍රයක්නේ.

Auto mobile පිළිබඳ හැදෑරීමක්කර තිබෙනවා ද?

මගේ සැමියාගේ වැඩිමල් සහෝදරයත් මේ ක්ෂේත්‍රයේ ඉන්නේ. පොඩි කාලේ ඉඳන් මේ ක්ෂේත්‍රයට ලොකු ආසාවක් තිබුණා. නමුත් මට මඟ පෙන්වන්න කෙනෙක් හිටියේ නැහැ. ඔහු තමයි මේ ගමන යන්න මට පාර පෙන්නුවේ. ගුරුවරයෙක් වගේ හැම දෙයක්ම ඔහු කියලා දුන්නා. ඔහු මගේ ගුරුවරයා කිව්වත් වැරැද්දක් නැහැ. ඉතින් එයාගේ වැඩවලට මාත් සම්බන්ධ වුණාට පස්සෙයි මේ ගැන හරිම අවබෝධයක් මට ලැබුණේ. ඔහු ප්‍රසන්න ජයකොඩි.

නිවෙසේදීම ද ඔබ Auto mobile service එක කරගෙන යන්නේ?

අපි ඉන්නේ මීගමුව කටාන ප්‍රදේශයේ. ගෙදර ඉඳන් තමයි මේ හැමදේම කරන්නේ. උදේ 8 ඉඳලා රාත්‍රී 8 වෙනකම් වාහනවල මීටර් අලුත්වැඩියා කරනවා. එහෙම මම වෙලාවක් දාගත්තට සමහර දවස්වල නිදි මරාගෙන එළිවෙනකම් වැඩ කරන අවස්ථා ඕනෙ තරම් තියෙනවා. සමහර අය ඇවිල්ලා හදලා දෙනකම් ඉන්නවා. එතකොට වෙලාව කීය වුණත් හදලා දීලා යවන්න ඕනෙනේ. වාහනයේ මීටරය මම ටූල්ස්වලින් ගලවගෙන මමම අලුත්වැඩියා කරලා හයි කරලත් දෙනවා. මම හැම කෙනෙක්ගෙම වැඩ හොඳට කරලා දෙන නිසා මට කවදාවත් චෝදනාවන් එල්ල වෙලා නැහැ.
බවුත් එක, ශෆර් එක සහ මීටර්වල ස්පීඩ් බලන උපකරණ වගේ ගොඩක් යන්ත්‍ර එක්ක කටයුතු කරනවා.

මේ හැමදේම තනියම කරගන්නේ කොහොම ද?

මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. දුවලා දෙන්න වයස අවුරුදු 5 සහ 10 වයස්වල. පුතාට තවම අවුරුද්දයි. එයාලගේ වැඩත් කරන්න ඕනේ. ඉතින් යුද්ධයක් වගේ තමයි. උදේ කෑම හදලා එයාලට කවලා පොවලා පාසලට ගිහින් දානවා. ඊට පස්සේ මම ජිම් එකට ගිහින් ගෙදර ඇවිත් මීටර් 2ක් විතර හදනවා. ඊට පස්සේ එයාලව එක්කන් එනවා ඔහොම දෙපැත්තම බැලන්ස් කරගෙන තමයි මේ මැච් එක ගහන්නේ. කිසිම කෙනෙක්ගේ උදවුවක් නැතුවයි මම මේ සියලු දේ කරගන්නේ.

මවක්, ගෘහණියක් සහ ව්‍යවසායිකාවක් විදිහට ඔබ කාලය කළමනාකරණයකර ගන්නේ කොහොම ද?

ගැහැනියක් උදෑසනම අවදි වෙන්න ඕනේ. ඒක තමයි දවස පටන් ගන්න ශක්තිය වෙන්නේ. එළිවෙනකම් ඇඳට වෙලා හිටියොත් අපිට ලැබෙන දෙයක් නැහැ. පාන්දර 5ට නැඟිටින මම නිදාගන්නෙ රෑ 11ත් පහු වෙලා කිසිම විවේකයක් ගන්නේ නැතුවයි වැඩ කරන්නේ. මම නිකම් ඉන්න ආස කෙනෙක් නෙවෙයි.

අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

මට ඇත්තටම හරි සතුටුයි. මොකද කිව්වොත් මම පුංචි කාලේ ඉඳලා දුක් විඳපු කෙනෙක්. පුංචි කාලේ ඉඳලා දුක් විඳපු තරමටම දැන් සැප විඳිනවා. පුංචි කාලේ මට උදවු කරපු අයට මං උදවු කරන තත්ත්වයට දැන් ඇවිල්ලා ඉන්නවා. මගේ මවුපියන්ට ඉන්න තැනක් නැතුව තිබ්බා. අද මම එයාලට ඉන්න තැන් හදලා තියෙනවා. මේ හැමදේම උපයාගත්තේ මගේ තනි මහන්සියෙන්.

මේ හැමදේටම සැමියා සෙවනැල්ලක් වෙන්න ඇති..

එයා සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. ෆ්‍රැන්සිස් ජයකොඩි. ඔහු තමයි ශ්‍රි ලංකාවේ සංගීත භාණ්ඩ අලුත්වැඩියා කිරීම සම්බන්ධව කටයුතු කරන්නේ. ඕමාන් ඔපෙස්ට්‍රා ආයතනයේ ටෙක්නීෂියන් විදිහට වැඩ කරන්නේ. මට වැඩ වැඩි වෙලාවට බබාලව බලාගන්නේ මගේ සැමියා. එයාට මොන වැඩේ තිබුණත් මං වෙනුවෙන් ඒ දේවල් කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා. එයාගේ පවුලේ අයත් මගේ අම්මා තාත්තත් ගොඩක් උදවු කළා. මම කරන මේ රැකියාව පවා මට ලැබුණේ සැමියගේ අයියා නිසා.

මේ වගකීම් දරන්න අපහසුයි කියලා අතහැරපු දවසක් තියෙනව ද?

මම වගකීම් පැහැර හරින්න කැමැති කෙනෙක් නෙවෙයි. මම වගකීම් දරන්න කැමැති කෙනෙක්. මම අභියෝග භාරගන්න හරි කැමැතියි. දකින අය අහනවා කොහොමද ඔයා බබාලා තුන් දෙනෙක් එක්ක මේ හැමදේම කරන්නේ. කඩිසරයි. විනාඩියක්වත් නිකම් ඉන්නවා අපි දැකලා නැහැ. එහෙම කියනවා කට්ටිය. එයාලා මා ගැන පුදුම වෙනවා. ඒවා පුදුම වෙන්න දේවල් නෙවෙයි. ගැහැනියක් වුණාම ශක්තිමත් වෙන්න ඕනේ. මේ ලෝකේ තියෙන ලොකුම වේදනාව කියන්නේ දරුවෙක් ප්‍රසූත කරන එක. එහෙම වේදනාවක් දරන්න පුළුවන් ගැහැනියකට දරන්න නොහැකි දෙයක් තියෙන්න පුළුවන් ද.

ව්‍යවසායිකාවක් විදිහට අපේ කාන්තාවන්ට දෙන්න තියෙන පණිවිඩය මොකක් ද?

සරලම දෙයක් කිව්වොත් මට පොඩි වෙලාවක් හම්බවුණොත් මෙච්චර වැඩ තියෙන මම පැළයක් හරි හිටවනවා. දියුණු වෙනවනම් ඒ පැළේ වුණත් ඇති. ගැහැනියකට ධෛර්යමත් හිතක් තියෙන්න ඕනේ. ගැහැනියක් වැටුණොත් මුලු පවුල් සංස්ථාවම බිඳ වැටෙනවා. සමහර අය ඉන්නවා සැමියා නැතිවෙලා.. රටටම ණය වෙලා..කරකියා ගන්න දෙයක් නැහැ. මම ඒ තත්ත්වයේ හිටියනම් මම තණකොළ මැෂිමක් අරගෙන ගෙයක් ගෙයක් ගානේ ගිහිල්ලා තණකොළ හරි කපනවා. දැනටත් මගේ ගෙවත්තේ තණකොළ කපා ගන්නේ මම. මම කවදාවත් වැඩ කල් දාන්නේ නැහැ. ඕනෙම දේකට වෙලාව හදාගන්න කාන්තාව දක්ෂ විය යුතුයි. ඉතින් මම පොඩි වෙලාවක්වත් අපතේ යවන්නෙ නැහැ. මට හැම තත්පරයක්ම වටිනවා.



 

ඡායාරූප - ශාන් රූපස්සර