ලෝක පැරා මලල ක්‍රීඩා තරගයේදී රනින් රිදියෙන් රට බැබළු අපේ පුංචි ජනනී

ශ්‍රී ලංකාව රන් 2යි: රිදී 3යි: ලෝකඩ 2යි
මැයි 6, 2024

 

ගෙවී ගිය සතිය පුරා ශ්‍රී ලංකා ක්‍රීඩා පිටියේ ලැබූ ජයග්‍රහණ බොහෝය. මේ ජයග්‍රහණ නිසාම පුංචි තිතක් ලෙස ලෝක සිතියමේ සනිටුහන් වූ ශ්‍රී ලංකා නම ගැන ලෝකයම කතා කරන්නට විය. මෙලෙසින් අප ගැන කතා කරන්නට වූයේ ජාත්‍යන්තර තරග තුනක් ආරම්භවීමත් සමඟය. ඒ සෑම තරගයකදීම අපට විශිෂ්ට ජයග්‍රහණ ලබාගැනීමට හැකි වූ අතර රන්, රිදී, ලෝකඩ පදක්කම් රාශියක් දිනාගැනීමට ද හැකිවිය.

 

මේ තරග අතුරින් මොරොක්කෝවේ මරකොව්හිදී පැවැති පැරා ග්‍රොන් ප්‍රී මලල තරගයේදී ජනනී ධනංජනා ලැබූ රන් පදක්කම හා සමිත දුලාන්ගේ රන් පදක්කම සුවිශේෂී ජයග්‍රහණ දෙකකි. මෙලෙසින් ජනනී තරග වැදුණේ T47 කාණ්ඩය යටතේ මීටර් 100 ධාවන ඉසව්ව තරගයයි. එහිදී ඇයගේ දක්ෂතාවය වූයේ තත්පර 13.75කි.

 

මේ තරගාවලියට එක් වූ අමිල ප්‍රසන්න ක්‍රීඩකයා ද හොඳම කාලයක් වාර්තා කරමින් T42 තරග කණ්ඩාමේ මීටර් 100 ධාවන තරගයේ රිදී පදක්කමට හිමිකම් කියුවේ තත්පර 12.84 දක්ෂතාවයක් සටහන් කරමිනි. එම ඉසව්වෙන්ම තරග කළ බුද්ධික ඉන්ද්‍රපාල ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ තත්පර 13.34ක කාලයක් සනිටුහන් කරමිනි.

 

මෙලෙසින් රන් පදක්කමක් හිමිකර ගත් ජනනී ධනංජනා ගැන වසර දෙකකට පෙර අප අනාගත බලාපොරොත්තු තබමින් තැබූ සටහන මේ තරගයේදී ඇය සපලකර තිබුණි. 18 වැනි වියේ පසුවන ජනනී කුලියාපිටිය සූරදූත බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හදාරන සිසුවියකි. ඇය වඩාත් දක්ෂතාවය පෙන්වන්නේ දුර පැනීමේ ඉසව්වටය. මීටර් 100 දිවීම ඇයගේ අමතර ඉසව්වකි.

 

ජනනීගේ දුර පැනීමේ ඉසව්වේ හොඳම වාර්තාව වන්නේ මීටර් 5.33කි. මේ දක්ෂතාවය ශ්‍රී ලංකාවේ පැරා තරගාවලියේ හොඳම වාර්තාවක් ලෙස සටහන්වන අතර මීටර් 100 ඉසව්වෙන් ඇය තැබූ මෙම වාර්තාව ඇයගේ පෞද්ගලික හොඳම වාර්තාව ලෙසත් සටහන් වෙයි.

මේ අතර T46 කාණ්ඩයේ පිරිමි මීටර් 1500 සඳහා සහභාගී වූ ප්‍රදීප් සෝමසිරි ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය 4.23ක් වාර්තා කරමින් රිදී පදක්කම දිනාගත්තේය.

 

මෙලෙසින් රන් පදක්කමකට හිමිකම් කියූ ජනනී මේ සටහන තබන මොහොත වනවිට දුර පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් ද හිමිකර ගත්තාය. එක් අතක් හිමි T47 කාණ්ඩයෙන් තරග කළ ජනනීගේ පෞද්ගලික තරග වාර්තාව අලුත් කරමින් රිදී පදක්කම හිමිකර ගත් මේ තරගයේදී ඇය තැබූ හොඳම දුර වූයේ මීටර් 5.23ක කාලයකි. මේ අතර වැලමිටෙන් පහළ අත් දෙකම අහිමි T46 කාණ්ඩයෙන් දුර පැනීමේ ඉසව්වට එක්වූ කුමුදු ප්‍රියංකා මීටර් 4.5ක දක්ෂතාවයක් පෙන්වමින් ලෝකඩ පදක්කම දිනාගත්තාය. මේ අනුව මේ තරගාවලියේ දී ශ්‍රී ලංකා නාමය ඉදිරියේ රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් දෙකක් සටහන් වී තිබේ.

 

දණහිසෙන් පහළ ආබාධිත F44 කාණ්ඩයෙන් තරග කළ සමිත දුලාන්ගේ හෙල්ල විසි කිරීම ඉසව්වෙනි. මීටර් 65.57කින් නිම කරමින් රන් පදක්කම දිනා ගැනීම ද මේ තරගාවලියේ කැපී පෙනෙන දක්ෂතාවයකි.