තාම Linked in එකක් නැද්ද ?

ජුනි 17, 2024

 

දැන් කාලේ හැමෝම සෝෂල් මීඩියාවල ඉන්නවනේ. ඒත් හැමෝම ඉන්න සෝෂල් මීඩියා එක තමයි ෆේස්බුක්. ඉන් පස්සේ ඉන්ස්ටග්‍රෑම්, ට්විටර් වගේ සෝෂල් මීඩියාවලටත් එක එක කට්ටිය සෙට් වෙලා ඉන්නවා. හැබැයි ගොඩක් සෝෂල් මීඩියා සීන් එකේ ඉන්න හාදයෝ Linkedin ගැන ඒ තරම් දන්නෙ නෑ.

දන්න සමහරුන්ටත් හරියටම වැඩේට ගැළපෙන Linkedin ප්‍රොෆයිල් එකක් හදාගන්නේ කොහොමද කියන එක ගැන ලොකු වැටහීමක් නෑ. වැඩේ කියලා කිව්වේ වෘත්තිය ජීවිතේ ඉදිරියට යන්න උදවුවක් වෙන එක. ආන්න ඒකෙන් තමයි තමයි Linkedin වෙන ඕනෑම සෝෂල් මීඩියා ජාලයකින් වෙනස් වෙන්නේ. හරි විදිහට, ප්‍රතිඵලදායක විදිහට Linkedin ප්‍රොෆයිල් එකක් හදාගන්න නම් මේ උපදෙස් අනුගමනය කරන්න තමයි තියෙන්නේ.

ප්‍රොෆෙෂනල් ෆොටෝ එකක්!

සාමාන්‍යයෙන් ෆේස්බුක් එකට වුණත්, ඉන්ස්ටග්‍රෑම් එකට වුණත් ප්‍රොෆයිල් ෆොටෝ එකක් දානකොට අපි නොහිතාම පාවිච්චි කරන්නේ කැෂුවල් ෆොටෝ එකක්නේ? එක්කෝ සෙල්ෆියක්. නැත්තම් මොකක් හරි ආතල් පෝස්ට් එකක ඉන්න එකක්. සමහරු මේ සෝෂල් මීඩියාවල ප්‍රොෆයිල් පික්චර් එකට දාන්නේ අවුරුදු ගාණකට කළින් ගත්තු එකක්. හැබැයි Linkedin එක්ක මේ එක සෙල්ලමක්වත් හරියන්නෙ නෑ. මතක තියාගන්න. කෙනෙක් ඔබේ Linkedin ප්‍රොෆයිල් එක බලන්නේ වෘත්තිය උනන්දුවකින්. ආන්න ඒ නිසා Linkedin එකේ ප්‍රොෆයිල් පික්චර් එක විදිහට හැමවෙලාවකම මෑතකදී ගත්තු, හොඳ කොලිටියේ වෘත්තිය පෙනුමක් තියෙන ෆොටෝ එකක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ ටයි කෝට් දාගෙන ඉන්න එකක්ම වෙන්න ඕනෙ නෑ. බුම්මගෙන ඉන්න ෆොටෝ එකක් වෙන්න ඕනැත් නෑ. සරල ඇඳුමකින් ඉන්න එකක් වුණත්, හොඳ හිනාවකින් යුක්තව, ෆොටෝ එකකට පෙනී ඉන්න ඉරියව්වක් තියෙන ෆොටෝ එකක් පාවිච්චි කරන්න.

ප්‍රොෆෙෂනල් හෙඩිමක්!

සාමාන්‍යයෙන් ෆේස්බුක් එකේ ඔය කෙටි වාක්‍යයකින් තමන් ගැන ලියන්න දෙනවනේ. ඕකට ගොඩක් අය නොයෙක් නොයෙක් වදන් එකතු කරනවා. එක්කෙනෙක් ‘තවත් සරල එක මනුස්සයෙක්’ වගේ එකක් දානකොට තවත් කෙනෙක් දානවා ‘I’m a dreamer’ කියලා. තවත් කෙනෙක් ඉන්ස්ටග්‍රෑම් එකේ අර බයෝ එක ලියන්න තියෙන තීරුවේ දාන්න පුළුවන් ‘I’m a crazy girl’ කියලා. තවත් කෙනෙක් එතකොට දාන්න පුළුවන් ‘The prince of south asia’ කියලා. සමහරු ඉතින් ‘Sweet girl,’ වගේ කෑලිත් දාන්න පුළුවන්.

හැබැයි Linkedin හෙඩින් එකට ඔය එකක්වත් දාන්න බැහැ කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒකට ඕනෙ කරන්නේ තමන්ව කෙටියෙන්, නියම විදිහට, වෘත්තිය විදියට හඳුන්වන්න පුළුවන් වාක්‍යයක්. මේකට පහසුම ක්‍රමය තමයි තමන්ගේ වෘත්තියමය තනතුර මොකක්ද කියන එක මේ Linkedin හෙඩිමට පාවිච්චි කරන එක. තනතුරු සහ තත්ත්වයන්, අධ්‍යාපන සුදුසුකම් වගේ කිහිපයක් දේවල් වුණත් මේ හෙඩින් එක ඇතුළේ සඳහන් කරන්න පුළුවන්. අවශ්‍ය නම් පොඩ්ඩක් ක්‍රියේටිව් වුණත් කමක් නැහැ. උදාහරණයක් විදියට A software engineer by day, a blogger by night” වගේ එකක් පාවිච්චි කළත් කමක් නැහැ. හැබැයි කොන්දේසිය තමයි තමන් කරන දේ ගැන කී වර්ඩ්ස් මේ හෙඩින් එක ඇතුළේ තියෙන්න ඕනෙ කියන එක. කෙනෙක්ට දැක්ක ගමන් ඔබේ වෘත්තිය මොකක්ද කියන එක තේරුම් යන්න ඕනෙ කියන එක. එතකොට Linkedin සර්ච් කරලා යම් වෘත්තියක් කරන අයව හොයන අයට වුණත් වැඩේ පහසුයි.

ප්‍රොෆෙෂනල් ප්‍රොෆයිල් සමරි එකක්!

ගොඩක් වෙලාවට මේ Linkedin ප්‍රොෆයිල් සමරි නැතිනම් ඉන්ට්‍රොඩක්ෂන් කියන කෑල්ල ගොඩක් දෙනෙක් පුරවන්නේ නෑ. හේතුව එක්කෝ කම්මැළිකම. එහෙමත් නැතිනම් තේරුමක් නැතිකම. තව ගොඩක් දෙනෙක් මේ කෑල්ල පුරවන්නේ මොනවා හරි තමන්ගේ ගතිගුණ, තමන්ගේ බලාපොරොත්තු, තමන් කරන ජොබ් එක ගැන පොඩි විස්තරයක් වගේ දේකින්. මේකෙන් පළවෙනි දෙක කාටවත් වැඩක් නෑ. තුන්වැනි එක ලොකු අවුලක්මත් නෑ. හැබැයි Linkedin එකේ ප්‍රොෆෙෂනල් ප්‍රොෆයිල් සමරි එකක් ලියන කොට ඒකෙන් ආමන්ත්‍රණය කරන්න ඕනෙ තමන්ගේ Linkedin ප්‍රොෆයිල් එක බලලා තමන්ට වැඩක් භාරදෙන්න හරි, ජොබ් එකකට හයර් කරන්න හරි හිතන කෙනෙක්ට. ආන්න ඒ ස්වරය තමයි වැදගත්.

මේ සමරි එක ලියන්න පුළුවන් තමන්ගේ වෘත්තිය සහ විෂය ක්ෂේත්‍රය, ඒ විෂය ක්ෂේත්‍රයේ තමන්ට තියෙන දැනුම සහ ඒ දැනුමෙන් තමන්ට කරන්න පුළුවන් මොනවද කියන දේ ඇතුළත් කරලා. සරලයි. බලන කෙනෙක්ට ඔබේ හැකියාව මොකක්ද කියන එක තේරුම් ගන්නත් පහසුයි.ගොඩක් වෙලාවට මම අරක කළා, මම මේක කළා කියනවට වඩා සුදුසුයි තමන් කොහොමද වෘත්තිය ගැටලුවකට විසඳුමක් වෙන්නේ කියලා කියන එක. උදාහරණයක් විදියට ගත්තොත්, ‘ආයතනයක විකුණුම් ඉහළ දැමීම සඳහා ඉලක්කගත ප්‍රචාරණ ව්‍යාපෘතියක් නිර්මාණය කිරීම මගේ විශේෂඥතාවයි’ වගේ එකක් කෙනෙක්ගේ උනන්දුව ඇති කරවන සුලුයි. ඒ එක්කම තමන්ට කරන්න පුළුවන් මොනවද කියන එකත් එතැනින් කියැවෙනවා.

ප්‍රොෆෙෂනල් වර්ක් හිස්ට්‍රි එකක්!

ඔබ වැඩ කරලා තියෙන්නේ කොයි වගේ තැන්වල ද, ඔබ ඒ තැන්වල මොනවාද කරපු වැඩ කියන එක තේරුම් ගන්න එක, ඔබව හයර් කරන්න හිතන බොස් කෙනෙක්ට හරි මානව සම්පත් නිලධාරියෙක්ට හරි අත්‍යවශ්‍යයි. ආන්න ඒ නිසා තමන් මෙතෙක් ‍රැකියා කරලා තියෙන තැන් ගැන කෙටියෙන් ඒත් විස්තරාත්මකව සඳහන් කිරීම බොහොම හොඳයි. මෙතැනදී වැඩ කරපු ආයතනය යටතේ ඔබ දරපු තනතුර, ඔබේ සේවාකාලය වගේ හැමදේම ඇතුළත් කරන්න අවකාශයන් Linkedin එකෙන් දීලා තියෙනවා. මේ ඉඩ ප්‍රයෝජනයට ගන්න එක වැදගත්. එතකොට යම් ආයතනයක් Linkedin ජාලයේ තියෙනවා නම් ඔබ නම ටයිප් කරපු ගමන් ඒ ආයතනයේ නම, ලෝගෝ එකත් එක්කම පෙන්නනවා. අන්න ඒ පෙන්නන රිසල්ට් එක ක්ලික් කරලා ඒක ඇතුළත් කරන එක බොහොම වැදගත්. ඒක වඩාත් විශ්වාසනීයයි. ඒ එක්කම ඒ ආයතනයේ, ඒ තනතුර යටතේ ඔබ කළේ මොනවද, ඔබේ වගකීම් වුණේ මොනවද කියන එකත් එක වාක්‍යයකින් හරි දෙකකින් හරි කියන එකත් වැදගත්.

ප්‍රොෆෙෂනල් රෙකමන්ඩේෂන්ස්!

මෙන්න ගොඩක් දෙනෙක් පැකිළෙන තැනක්. Linkedin ජාලයේ ප්‍රොෆයිල් එකක් නිර්මාණය කරනකොට තියෙනවා තමන් එක්ක වැඩ කරපු අයගේ, තමන්ගේ ප්‍රධානීන්ගේ නිර්දේශයන් නැතිනම් රෙකමන්ඩේෂන්ස් සඳහන් කරන්න ඉඩක්. දැන් අපේ කලින් බොස් නිකම්ම හිතිලා ඇවිත් අපිට Linkedin රෙකමන්ඩේෂන් එකක් දේවි ද? නැහැනේ. රෙකමන්ඩේෂන් එකක් දෙන්න කියලා අපි ඒ අයගෙන් ඉල්ලා සිටින්න ඕනෙ. හැබැයි ප්‍රශ්නේ තමයි ගොඩක් දෙනෙක් එහෙම ඉල්ලීමක් කරන්න කැමති නෑ. හැබැයි මේ රෙකමන්ඩේෂන් එකක් ඉල්ලන එක ගැන හිතන්න ඕනෙ සර්විස් ලෙටර් එකක් ඉල්ලනවා වගේ අදහසකින් තමයි. හැබැයි Linkedin රෙකමන්ඩේෂන් සෙක්ෂන් එකේ ලියන්න ඕනෙ මොනවද කියන එක ගැන ඒ අයට බලපෑම් එල්ල කරන්න යන්න නරකයි. වඩා හොඳයි තමන් ගැන හොඳ කියන්න තියෙනවා කියලා දන්න අයගෙන් මේ රෙකමන්ඩේෂන් එක ඉල්ලන එක.

Linkedin රෙකමන්ඩේෂන් ගැන කතා කරනකොට තවත් කාරණයක් තියෙනවා. තමන් එක්ක වැඩ කරන කෙනෙක්ගෙන් ගන්න රෙකමන්ඩේෂන් එකකට වඩා තමන්ට උඩින් හිටපු බොස් කෙනෙක්, මැනේජර් කෙනෙක්, ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් වගේ කෙනෙක්ගෙන් ගන්න රෙකමන්ඩේෂන් එකක වැඩි විභවයක් තියෙනවා. එහෙම අපිට රෙකමන්ඩේෂන් දෙන අයටත් ඉතා හොඳ Linkedin ප්‍රොෆයිල් තියෙනවා නම් තත්ත්වය ඉතාම හොඳයි!

මීට අමතරව Linkedin ප්‍රොෆයිල් එකේ තියෙනවා තමන්ගේ දක්ෂතාවන් හෝ හැකියාවන් ඇතුළු කරන්න කෑල්ලක්. ඒකට අපි අපේ දක්ෂතාවන්, හැකියාවන් ලැයිස්තුගත කළාට පස්සේ, අපිත් එක්ක වැඩ කරලා තියෙන අයට ඇවිත් ඒක ඇත්තය කියලා කියන්න පුළුවන්. මෙන්න මෙහෙම අපේ දක්ෂතාවන් හෝ හැකියාවන්ට නිර්දේශයක් ලබාදෙන්න කියලත් එකට වැඩ කරපු අයගෙන් ඉල්ලීමක් කළාට කමක් නෑ.

ප්‍රොෆෙෂනල් විදිහේ කන්ටැක්ට් ඩීටේල්ස්!

 

කන්ටැක්ට් ඩීටේල්ස් නැතිනම් තමන්ව සම්බන්ධ කරගන්න පුළුවන් තොරතුරු මොනවාද කියන එක ප්‍රොෆයිල් එකකට වැදගත්. ඕනෙ නම් කෙනෙක්ට ඔබේ Linkedin ප්‍රොෆයිල් එක බලලා ඒ හරහාම ප්‍රයිවට් මැසේජ් එකක් එවන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා තමන්ගේ දුරකථන අංකයක්, ඊමේල් ඇඩ්‍රස් එකක් නොදා ඉන්න එක හරියන වැඩක් නෙවෙයි. දැන් සමහරු කැමති නැහැනේ තමන්ගේ දුරකථන අංකයක් පිටතට දෙන්න. විශේෂයෙන්ම ගෑනු ළමයි. අන්න ඒකට කරන්න පුළුවන් වැඩක් තියෙනවා. තියාගන්න වෘත්තිය කටයුතුවලට විතරක් පාවිච්චි කරන්න පුළුවන් වෙනම දුරකථන අංකයක්. අන්න ඒක Linkedin වෙනුවෙන් ලබාදෙන්න පුලුවන්.

ඊළඟට ගොඩක් දෙනෙක් ඊමේල් ඇඩ්‍රස් එකක් හදන්නේ බොහොම තරුණ කාලේ. ඒ කාලෙදි සමහරු නම පාවිච්චි කරලා ඊමේල් ඇඩ්‍රස් එකක් හදනකොට තවත් කෙනෙක් [email protected], [email protected] වගේ ඊමේල් ඇඩ්‍රස් එහෙමත් හදලා තියෙනවා. හැබැයි මේවා කිසිම වෘත්තිමය ගතියක් නැති ඊමේල් ඇඩ්‍රස්නේ. අන්න ඒ නිසා තමන්ගේ නමින් හදපු සරල ඊමේල් ගිණුමක් පාවිච්චි කරන්න කාලේ හරි. තමන් වැඩකරන ආයතනයේ වෙබ් අඩවියෙන් දීපු ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා නම් සුපර්. දැන් ඔය විදියේ ප්‍රොෆෙෂනල් ඊමේල් ලිපිනයක් Linkedin ප්‍රොෆයිල් එකට දාන්න තමයි තියෙන්නේ.

ප්‍රොෆෙෂනල් විදිහට හැමදේම පුරවන්න

Linkedin එකේ ප්‍රොෆයිල් එකක් නිර්මාණය කරනකොට වෘත්තිය දේවලට අමතරව තමන්ගේ අධ්‍යාපන සුදුසුකම්වල ඉඳලා තමන් වෘත්තියෙන් පිටත ක්‍රියාකාරී වෙන තැන් ගැන පවා විස්තර සපයන්න තියෙනවා. ඇත්තටම මේ විස්තර හැම එකක්ම Linkedin ප්‍රොෆයිල් එකේ තියෙන එක වැදගත්. උදාහරණයක් විදියට තමන් සිංහ සමාජයේ බැරිනම් මුතුහර ළමා සමාජයේ හරි ක්‍රියාකාරිකයෙක් නම් ඒ ගැන සඳහන් කළාට කමක් නෑ. හැබැයි මේ විස්තර හැම වෙලාවේම යාවත්කාලීන වුණු විස්තර වෙන්න ඕනෙ. ඒ කියන්නේ ඉස්කෝලේ කාලේ කරපුවා Linkedin ප්‍රොෆයිල් එකට දාලා වැඩක් නෑ.

ඊට අමතරව හැම දෙයක්ම රචනා ටයිප් එකෙන් Linkedin ප්‍රොෆයිල් එකට එකතු නොකරන්න වග බලාගන්න ඕනෙ. පුළුවන් තරම් කෙටියෙන්, පැහැදිලිව විස්තර දක්වන එක තමයි හොඳම ක්‍රමය. එතකොට බුලට් පොයින්ට් විදියට තොරතුරු පෙන්නන්න පුළුවන් නම් ඒකත් හොඳයි.

තව දෙයක්. හොඳ Linkedin ප්‍රොෆයිල් එකක් හදන්න කියලා හිතාගෙන ප්‍රොෆයිල් එකේ පච අත අරින්න නරකයි. ඇත්තටම තමන්ට තියෙන සුදුසුකම්, වෘත්තීය අත්දැකීම් තමයි Linkedin ප්‍රොෆයිල් එකට ඇතුළු වෙන්න ඕනෙ.