පාට කුරුල්ලෝ සොයා තරුණී හබරකඩට ගිය ගමන

ජුනි 24, 2024

 

අහස කළු කරගෙන වැස්සක සේයාව පරිසරයම වෙළාගෙන. ඊයේ දවසේ කතාකර ගත්ත විදිහට උදේ 8ට අපි පාට කුරුල්ලෝ සොයාගෙන යන්නේ හබරකඩට. පාට පාට කුරුල්ලෝ ගැන කාට කාටත් අහන්න ආස කතා ගොන්නක් අරගන්න යන්න තමයි අපි හබරකඩට යන්න සැලසුම්කර ගත්තේ.

ලොකේෂන් එකේ ඉන්න කට්ටිය නම් හොඳටම පුරුදුයි. ජයප්‍රකාශ් ශිවගුරුනාදන් කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය සහ සිනමාව යන අංශ දෙකම ප්‍රේක්ෂක ආදරයෙන් දිග්විජය කරපු චරිතයක්. විවිධ කාලවලදී වෙනස්ම වෙනස් තේමාවන් රැසක් නිර්මාණාත්මක වින්දනීය තිළිණ අපේ ප්‍රේක්ෂයාට ලබාදුන් ජයප්‍රකාශ් ශිවගුරුනාදන් පසුගිය කාලයේ අතිශය ජනප්‍රියත්වයට පත්වන්නේ නාඩගම්කාරයෝ සහ කෝලම්කුට්ටම අධ්‍යක්ෂණය කරමින්. වර්තමාන පරම්පරාව ඔහුව එසේ හඳුනාගත්තත් ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය සහ චිත්‍රපටි ප්‍රමාණය විශාලයි. ඒ වගේම ජයප්‍රකාශ් ශිවගුරුනාදන් කියන්නේ හොඳ සහය අධ්‍යක්ෂකවරයෙක්. ඒ නිසාම ඔහුගේ නිර්මාණවල වෙනස්ම හැඩයක්, වෙනස්ම රසයක්, වෙනස්ම වර්ණයක් අන්තර්ගතයි. මේ වර්ණය මොකක්ද කියලා තීරණය කරන්න අපි දැන්ම හදිස්සි වෙන්න ඕනේ නැහැ. මොකද පාට කුරුල්ලෝ පටන් අරන් තවම ටික කාලයයි.

අද අපි හොයාගෙන යන්නේ මේ පාට කුරුල්ලන්ගේ ලස්සනම ලස්සන කතාව රූගත වෙන තැන. අද රූගතවීම් සිදුවන්නේ හබරකඩ. හබරකඩ කියන්නේ අතුරුගිරියටත්, ගොඩගමටත් මැද්දේ තියෙන ලස්සන ගමක්. මේ රූගත කිරීම එතැන වෙනවා කියලා අපිට ආරංචිය දුන්නේ චාමර සමරවික්‍රම. චාමර සමරවික්‍රම තමයි නාඩගම්කාරයෝ, කෝලම්කුට්ටම වගේම පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයෙත් නිෂ්පාදකවරයා. හරියටම කිව්වොත් මේකත් නාඩගම්කාරයෝ ටීම් එකේම වැඩක්.

පාට කුරුල්ලෝ හොයාගෙන අපි කොළඹ ඉඳන් වැස්සත් අතේ අරන් හබරකඩට ආවා.

කට්! ඒ සුපුරුදු හඬ ශිවා අයියගේ. හැමදාමත් පුරුදු විදිහට පුටුවට හරිබරි ගැහිලා මොනිටර් එක දිහා බලන් හිටපු ශිවා අයියා තමන්ගේ දැහැන බිඳගත්තේ අපේ සද්දෙන්. ශිවා කොහොම ද? අපේ තිලක් අයියා ශිවාත් එක්ක කතාවට වැටුණේ පුරුදු ළෙන්ගතුකමත් එක්කමයි. ඒ අතරේදී අපේ ඇස් ගියේ තැනින් තැන ගහලා තිබුණ ලොකු ලයිට්වලට සහ දර්ශන තලයට. රොෂාන් පිලපිටිය තේ එකක් බොමින් එහෙට මෙහෙට යද්දී ඔහු දර්ශන තලයට පුරුදු වෙනවා කියලයි මට හිතුණේ. එක පාරටම වගේ එතනින් ගිය අයේෂා දිසානායකට විහිළුවක් කරලා ඇතුළට ගියා. මේ කතාවේ. රොෂාන්ගේ බිරිය විදිහට රඟපාන්නේ අයේෂා. මෑතකදි ප්‍රේක්ෂයන් ආදරෙන් වැලඳගත් සල්ලි පොකුරු ටෙලි නාට්‍යයයේ කටකාර සැරපරුෂ චරිතය පින්කිගේ අම්මාගේ චරිතය කළ ඇයව කාටත් හොඳින් මතක ඇති.

අද රූගත වෙන මේ කොටස කවදා යයිද කියලා ඔයාලා නොඉවසිල්ලෙන් බලන් ඉන්න පුළුවන්. හැබැයි අපි අද කියන්නේ මෙන්න මේ දර්ශන තලයේ සිදු වූ ලස්සනම ලස්සන කතා ටිකක් ගැන.

මේ රූගත කිරීම සිදු වෙන්නේ පුංචිම පුංචි වලව්වක. හරි අපූරුවට ගානට තණකොළ කපා කප්පාදුකළ විශාල මිදුලක් සහිත මේ පුංචි වලව්වේ තිබුණේ පෞරාණික ගාම්භීර ප්‍රතාපවත් විලාසයක්. අප ඉදිරියට ආවේ දැකලා පුරුදු කෙනෙක්. ඔහු කවුරුන්ද කියා විමසන්නට යද්දිම.. මට ඔයාව දැකලා පුරුදුයිනේ. අපි මීට කලින් ලොකේෂන් එකක හම්බවෙලා තියෙනවද? අපිටයි ඔයාව දැකලා පුරුදු.. ඔහු හිසමත ඇති චේගුවෙරා කැප් එක ගලවා දැන් මතකද කියා අසද්දි... වටේ සිටි හැමෝම සිනාසෙන්නට විය. තට්ටේ වැහිලා නිසයි මාව අඳුර ගන්න බැරි වුණේ. මේ නාඩගම්කාරයෝ ටෙලියේ ජයන්තනේ. මේ දේවින්ද වික්‍රමසිංහ.

අනේ ඔයාලා අවද.. මට පොඩ්ඩක් එළියට යන්න වෙනවා. පැය දෙකකින් මං මෙතැන. ඕනේ වුණොත් කෝල් එකක් දෙන්න. එහෙම කියාගෙනම එතැනට පැමිණියේ සහය අධ්‍යක්ෂක තරංග නිරිඇල්ල.

ඇක්ෂන්!

''උඹේ මුණ දැක්කම හිතේ තියෙන්නේ මොනවද කියලා තේරුම් ගන්න පුළුවන්නම් අපිත් වීර මාතාවෝ තමයි. උඹව තේරුම් ගන්නවට වඩා ලේසියි මට අරාබියේ විභාගයක් ලියන එක.”

' යුතුකමක් හැටියටයි අපි අහන්නේ. කියපන් උඹට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. '

'මුකුත් නැහැ මට ඔක්කොමලාම බොරු කරනවා.'

'ඔක්කොම කිව්වේ....'

කට්... ඒක ආයේ ගමු.

වේෂ නිරූපණ ශිල්පියා පොඩි ටච් අප් එකක් දී නැවත ඔවුන්ව සීන් එකට සූදානම් කරයි. හරි දැන් ආයේ ඒ සීන් එක ගමු. ඇක්ෂන්! නැවත රොෂාන්, අයේෂා සහ දෙව්මිණි අතර ඒ දෙබස් ඛණ්ඩය රූගත වෙයි.

‘ඊයෙ එළිවෙනකම් ෂූටිංනේ...එකදිගට දවස් දෙකක් නිදාගන්න තියෙනවනම් හොඳටම ඇති බං තිරය පිටුපස ඉන්න කැමරා කටයුතුවලට සහය දක්වන මේ දෙදෙනාගේ කතා බහ ඇසෙන පැත්තට යද්දිම ‘අඩෝ සජියා ඇවිල්ලා..! සජියා ඇවිල්ලා...! යනුවෙන් කෑගැසිල්ලක් ඇහෙන්නේ මේ පුංචි වලව්ව ඉදිරිපසිනි. සජිත ඇන්තනී ලොකේෂන් එකට පැමිණෙන්නේ ඒ මොහොතේදියි. කුසල් එක්ක කරට අත දාගෙනම.... ‘කට්ටිය කොහොමද හොඳින් ඉන්නවද කියාගෙනමයි ඔහු වලව්වට පිවිසියේ.. සජිතගේ පැමිණීම හැමෝගේම හිත් සතුටට පත් කරන්න හේතු වුණා. මොකද මේ දර්ශන තලයේ ඉන්න දඩබ්බරයා තමයි සජිත. සජිත ශිවා අයියාත් එක්ක එකට වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ පොඩි කාලේ ඉඳන්මයි. ඉතින් ආපු ගමන්ම සජිත ගියේ ශිවා අයියව හොයාගෙන. ඒ තරමටම එයාලගේ බැඳීම හරි ලොකුයි.

‘ඉස්සරහා සද්දේ වැඩියි!’ ඒ ඇහෙන්නේ සහය අධ්‍යක්ෂකගේ විධානයයි. සියල්ලොම ඔහුගේ හඬට අවනත වී රහසින් කතා බහ කරයි.

‘මල්ලි තරුණී පත්තරේට කවරයක් කරගන්නත් ඕනේ. මල්ලිලා දෙන්නා ඇඳුමක් එහෙම දාගෙන ලෑස්ති වෙමු ද අර නංගිගේ සීන් එකත් ඉවර වෙනකම්. තුන් දෙනත් එක්කම කවරයක් ගමු.’ ඒ අපේ තිලක් අයියා. ‘ගමු ගමු අයියේ! ඇඳුමක් දාගෙන එන්නම්. ඒ බං උඹ මොකක්ද අඳින්නේ.. සජිත කුසල්ගෙන් අහද්දි කුසල් කිව්වේ. නාට්‍යයේ ඇඳුම්ම අඳිමු බං කියලයි.

‘කට් ! නියමෙටම ආවා.!’ ශිවා අයියා සතුට ප්‍රකාශ කළේ ඒ විදිහට.. 'දැන් මේ වතුර පුරවපු තේ කෝප්පේ අතේ තියන් ඉඳලම අතත් රිදෙනවා කොල්ලෝ.’ රොෂාන් එහෙම කියද්දි සහයකයෙක් කිව්වේ ‘හරි දැන් ඇත්තටම තේ එකක් බීලා කේක් කෑල්ලක් කමු’ කියලා. කට්ටියම වට වෙලා උණුම උණු ප්ෙල්න් ටී එකක් සමඟ රසම රස චොකලට් කෑල්ලක රහ බලන්න කවුරුත් අමතක කළේ නැහැ. ‘අයියේ දෙව්මිණි අපි ටිකක් ගන්නවා තරුණී කවරෙට. ඉක්මනට දෙන්නම්. හරි හරි හැබැයි ඊළඟ සීන් එකට කලින් ඕනේ. මොකද ටයිමින් හරි වැදගත්.’

දෙව්මිණි ඉක්මනට වැඩේ කරන් එන්න. කාමරයට ගොස් කොළ පාට ගවුමකින් ඈ පිටතට එද්දි... අප්පට සිරි තුන්දෙනාම කොළ පාටනේ. තුන්දෙනාම කොළ පාට වුණාම වැඩේ අවුල් යයි ද දන්නේ නැහැ නේද... ‘නැහැ අපි හදලා ගන්නම්..

තිලක් අයියා කවරෙට ෆොටෝ ටික ලෑස්ති කරද්දි අයේෂා දිසානායක අපි වෙත ආවේ සිනහමුසු මුහුණෙනි. ‘මට රඟපාද්දි සල්ලිපොකුරු ටෙලියෙයි මේ ටෙලියෙයි චරිතේ මාරු වෙනවා කියලමයි ශිවා අයියා කියන්නේ. මේ මගේ කටහඬේ හැටි. කොච්චර කළත් සද්දෙ අඩු වෙන්නේ නෑනේ.’

‘අයියේ මේ ඇන්ගල් එකට ගත්තොත් ෆොටෝ ටික හොඳට එයි නේද? මේ විදිහටත් ගමු. නංගෝ ඔයා එන්න මැද්දට.. මේ විදිහ හොඳයි. දර්ශන තලයේ වෙනම ෆොටෝ ෂූට් එකක්. කොච්චර ෆොටෝ ගැහුවත් කමක් නැහැ කොල්ලෝ.. ඊළඟ සීන් එකට වේලාව ළඟයි.. ඉක්මන් කරහල්ලා..’ කියමින් ශිවා අයියා සැරෙන් සැරේ එතැනින් එහෙට මෙහෙට යයි. කොහොම වුණත් මේ හැමෝම අතර තිබුණේ හරි අපූරු ළෙන්ගතුකමක්! හරි අපූරු සහෝදරත්වයක්!

 

මේ විදිහට දර්ශන තලයේ සොඳුරු මතකත් එක්ක ආදරණීය සමුගැනීම අපි සනිටුහන් කළා.

කට්!

 

 

ඡායාරූප

තිලක් පෙරේරා

ප්‍රමුදිත දිසානායක