වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
මහ මුහුදේ පතුල පිසින බදුලු පුරේ දියකිඳුරි
සොබාදහමේ නේක විසිතුරු බව අපූර්වත්වය විඳින්නට අකමැති වන්නේ කවූරුද? ඔබ පරිසර ලෝලියෙක් නම් ගොඩබිම ඇති කුමන හෝ පරිසර පද්ධතියක චමත්කාරය දැක ඇතුවාට සැකයක් නැත. වැසි වනාන්තර, අර්ධ ශුෂ්ක කලාපීය වනාන්තර, සුවිශේෂී තෙත් බිම් වැනි පරිසර පද්ධති ස්වකීය වාසස්ථාන කරගෙන ජීවත්වන සතුන් ගැන අඩු වැඩි වශයෙන් ගොඩබිම් පරිසරයේදී අත්දැකීම් ලැබීම ඒ තරම්ම අමාරු කටයුත්තක් නොවේ. නමුත් සොබාදහමේ චමත්කාරය, අපූර්වත්වය සහ රහස් සඟවාගෙන තිබෙන පරිසරය ඇත්තේ ගොඩබිම පරිසර පද්ධතීන්ගේ පමණක්ද..?
ජීවීන්ගේ හටගැන්ම පිළිබඳ තවමත් පිළිගැනෙන්නේ මහා සාගරයෙන් සත්ත්වයාගේ හටගැන්ම සිදු වූ බවය. පළමුව ඒක ශෛලීය ජීවීන් හටගෙන පසුව එය ක්‍රමයෙන් පරිණාමය වී ගොඩ බිම දක්වා ද ජීවය ව්‍යාප්ත විය. එසේ බලන කල සොබාදහමේ රසවත් රහස් ගබඩාව වන්නේ මහ මුහුදය. අප වටා ඇති මහා සාගරයේ ජල කඳින් වැසුණු පතුල තුළ කෙතරම් අප නොදන්නා අපූර්වත්වයක් සැඟව තිබේද? මේ සැඟව ගිය අපූරූ තැන් සොයා මුහුදු පතුල පිරිසුදු කරන තරුණියක් ගැනයි අද කියන්න යන්නේ.
ඇය තරුෂි දිසානායක. ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවයක්. බදුල්ල, තල්දෙන පදිංචි ඇය කිමිදීමට උපන් හපන් තරුණියක්. ඇය මේ විදිහට කිමිදෙන්නේ සාගර පතුල ආරක්ෂාකර ගැනීමටයි. ඒ සාගරයේ කිමිදිලා ප්ලාස්ටික්, පොලිතීන් වැනි අපද්‍රව්‍ය ඉවත්කර සාගරය පිරිසුදු කරන්නියක් විදිහටයි. සාගරය පිරිසුදු කරන තරුෂි සමඟයි අද මේ කතාබහ.
තරුෂි කිමිදෙන්න පටන් ගත්තේ කොයි කාලේ ඉඳල ද?
මම ලොකුවට පීනන්න දැනගෙන හිටපු කෙනෙක් නෙවෙයි. හැබැයි පීනලා තියෙනවා. හරියටම පීනන එකයි, කිමිදෙන එකයි ඉගෙන ගත්තේ සාගර විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේදී.
මේ ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න හිතුවේ?
මම පාසල් ගියේ බදුල්ල විශාකා බාලිකා විද්‍යාලයට. ඒ කාලේ ඒ ගැන අදහසක්වත් තිබුණේ නැහැ. මම දවසක් දැක්කා පත්තරේක දාලා තිබුණා සාගර විශ්වවිද්‍යාලය ගැන. ඊට පස්සේ ඇති වුණ ආසාවත් එක්ක තමයි මේ විශ්වවිද්‍යාලයට ඉල්ලුම් කෙළ්. දැන් උපාධිය අවසන් කරලා ඉන්නේ. හැබැයි කොහොම වුණත් මම පොඩි කාලේ ඉඳල මුහුදට නම් ආසයි. සමහරවිට ඒ මම බදුල්ලේ කෙනෙක් නිසා වෙන්න ඇති. මොකද අපිට මුහුද බලන්න යන්න අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරකින්නේ.
මුහුද පතුල පිරිසුදු කරන්න සම්බන්ධ වුණේ..?
සාගර විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිද්දී අවස්ථා රැසක් ලැබෙනවා. එයින් ලැබුණ එක අවස්ථාවක් විදිහට Earthlanka youth network එකත් එක්ක බැෙඳනවා. ඒක තරුණ පරිසරවේදීන්ගේ සංවිධානයක්. එයාලත් එක්ක සම්බන්ධතාවය ගොඩනඟාගත්තට පස්සෙයි කිමිදුම් බලපත්‍රය ලබා ගත්තේ. ඒකට පාර කැපුණේ එයාලා නිසා. ඒ හරහායි මුහුදු පතුල පිරිසුදු කරන්න අවස්ථාව ලැබුණේ.
මේ පිරිසුදු කිරීම සිද්ධ වෙන්නේ කොයි විදිහට ද?
මේ කටයුත්තට ලොකු වියදමක් යනවා. අපිට තනි තනිවම අඳින්න වෙනම කිමිදුම් ඇඳුම් කට්ටල නැහැ. කුලියට තමයි අපි ඇඳුම් කට්ටල ගන්නේ. එතකොට ඔක්සිජන් ටැංකි, බෝට්ටුවලට ලොකු වියදමක් යනවා. ඒ නිසා අනුග්‍රාහකයින් සම්බන්ධ කරගෙනයි මේ දේ කරන්නේ. රට වටේම කිමිදුම් මධ්‍යස්ථාන තියෙනවා. එයාලත් එක්ක කතා කරලා මේ දවස්වල කිමිදෙන්න සුදුසු මුහුදු තීරය බලලයි මේ වැඩේ පටන් ගන්නේ. මොකද ඒ ස්ථානය කිමිදෙන්න සුදුසු වෙන්නත් ඕනේ, අපවිත්‍ර සාගර පත්ලක් වෙන්නත් ඕනෙනේ. එයාලා දන්නවා කිමිදෙන්න ඕනේ හොඳම තැන මොකක්ද කියලා. ලොකු ටීම් එකක් එක්ක තමයි මේ වැඩේ කරන්නේ.
කොපමණ වෙලාවක් මේ විදිහට කිමිදිලා ඉන්න පුළුවන් ද?
අපේ ඔක්සිජන් ටැංකියේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අනුව සහ පුහුණුව මතයි ඒ කාලය තීරණය වෙන්නේ. සාමාන්‍යයෙන් අපිට විනාඩි 43ක් වගේ ඉන්න පුළුවන්. හොඳ පුහුණුවක් තියෙන අය ඊට වඩා වැඩි වෙලාවක් ඉන්න අවස්ථා තියෙනවා. එහෙම කිමිදිලා පොලිතින්, ප්ලාස්ටික් වගේ අපද්‍රව්‍ය එකතුකර ගන්නවා. හැබැයි මාළු දැල් වගේ ඒවා ගොඩට ගේන්න ටිකක් අමාරුයි. මොකද ඒවා තියෙන්නේ මුහුදේ පතුලටම වෙන්න. එතකොට ඒවා බෑග්වල දාලා මුහුද උඩට ගේනවා. ඒ විදිහට මීටර් 20 -23ක් වගේ යටට කිමිදෙනවා.
මේ විදිහට කිමිදෙද්දී බයක් දැනෙන්නේ නැද්ද?
මම අභියෝග බාර ගන්න ආස කෙනෙක්. ඉතින් මම හරිම කැමැත්තෙන් තමයි පුහුණු වුණේ. ගොඩක් අය කිමිදෙන්න ආසයි. හැබැයි බයයි. පරිසරය සම්බන්ධ ක්ෂේත්රවල අය විතරක් නෙවෙයි මැනේජ්මන්ට්, IT වගේ කෂේත්‍රවල අයත් මේ දේට හරි ආසයි. සමහර අය මුහුදේ ලස්සන බලන්න කිමිදෙනවා. ආතතිය නිදහස් කරගන්න කිමිදෙනවා. ඇත්තටම ඒක හොඳ දෙයක්. කොහොමත් මුහුද දිහා බැලුවම අපේ ස්ට්‍රෙස් එක නැති වෙනවනේ. ත්‍රිකුණාමලය වෙරළ තීරය ගත්තොත් වෙනස්ම එකක්. කල්පිටිය ඊට වඩා වෙනස්. කොළඹ වෙරළ වෙනස්ම එකක්. ඒ නිසා කිමිදීම කියන දේ කවදාවත් නීරස වෙන්නේ නැහැ. මොකද මේ සාගරය තැනින් තැනට පරිසර පද්ධතිය අනුව ජලජ ජීවින් අනුව වෙනස් වෙනවා. සාගරය කියන්නේ හරි වටින පරිසර පද්ධතියක්.
මේ හරහා ලැබුණු අවස්ථා ගැන කතා කළොත්...
2023 වසරේ AIS forum එක සංවිධානය කළ ඉන්දුනීසියාවේ පැවති Archipelagic and island states forum එකකට සහභාගී වුණා. එහිදී තරුණ නියෝජකයෙක් විදිහට මට ශ්‍රී ලංකාව නියෝජනය කරන්න හැකි වුණා. ඒ සඳහා දූපත් රටවල් 26ක තරුණ නියෝජතයින් සහභාගී වුණා. එහිදී දූපත් රටවල පවතින තිරසර ව්‍යවසායකත්වය, ආර්ථිකය, සාගර රාජ්‍යයන් ගැන කතා බහ කළා. ඒ ලබාගත් දැනුම මගේ ජීවිතයට ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. ඒ අවස්ථාව ලැබුණෙත් Earthlanka youth network හරහාමයි. ඒ අවස්ථාවට මාව තේරුණෙත් මම සාගරය වෙනුවෙන් කරලා තියෙන වැඩ කොටස නිසයි.
කාටහරි මේ කිමිදුම් බලපත්‍රය ගන්න අවශ්‍ය නම්..
මේ විදිහට කිමිදුම් බලපත්‍රය ගන්න කැමැති කෙනෙක් ඉන්නවා නම් එයාලට පුළුවන් ලංකාව වටේ තියෙන ඕනෑම කිමිදුම් මධ්‍යස්ථානයකට ගිහින් පුහුණුවක් අරගෙන මේ බලපත්‍රය ලබා ගන්න. එතකොට සාගර පතුල පිරිසුදු කරන්න වගේ දේකට කැමැති කෙනෙක් ඉන්නව නම් ඒ අයටත් දැන් අවස්ථාව තියෙනවා. අපි ඉදිරියේදී වැඩසටහන් කිහිපයක්ම කරනවා ඒවටත් සම්බන්ධ වෙන්න පුළුවන්.
Earthlanka youth network එකෙන් විතරක් නෙවෙයි ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන මේ වගේ ක්ලීන් අප් වැඩසටහන් සංවිධානය කරනවා. හැමෝටම කිමිදිලා මෙහෙම දේවල් කරන්න කියලා මට කියන්න බැහැ. මොකද ඒ හැකියාව සමහර අයට නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ අයට පුළුවන් මේ වගේ ව්‍යාපෘතිවලට සම්බන්ධ වෙන්න. අනුග්‍රහය දක්වන්න. උදවු කරන්න.
පවුලේ විස්තරත් මතක් කරමු...
මගේ අම්මා ගුරුවරියක්. ඇය මාලා හේරත්. තාත්තා පොලිස් නිලධාරියෙක්. ඔහු ඩී.එම්. පියදාස. මල්ලි වයඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. අපි මධ්‍යම පාන්තික පවුලක්. ඉතින් අනිත් පවුල්වල වගේම අපේ මව්පියනුත් කැමැති ආදායමක් ලබා ගත හැකි ක්ෂේත්රයක නියැෙළනවාට. ඒ නිසා සාගර කිමිදීමේ කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්න ගමන් ඒ ගැනත් හිතන්න වෙනවා. ඒ වගේම අධ්‍යාපනය පැත්තෙනුත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.