මට සැබෑ කරගන්න තවත් එක සිහිනයක් තියෙනවා

නායිකා චමරි අතපත්තු ජයග්‍රහණයෙන් පසුව
අගෝස්තු 5, 2024

 

චමරි ගැන තවත් සටහන් අප මෙහි තැබිය යුතු නොවන තරමටම ඇය ගැන මුළු රටම දනියි. ඇය ආසියානු කුසලානයේ සැබෑම හිමිකාරියයි... ඒ ගැන කිසිවෙකුගේ විවාදයක් නොවෙයි. ගිම්හානය නිමා වී වසන්තය උදාවන විට මල් පිපි හිනැහෙන උයනක රොන් ගන්නට බඹරුන් සහ සමනලයන් පියඹා එති. එලෙසින්ම අපේ කෙල්ලන්ට සුබපැතුම් තෑගිභෝග උපහාර හිමි වෙයි.

 

එහෙත් මේ සියල්ලම හිමිකර ගන්නට චමරි ඇතුළු කණ්ඩායම හෙළුෑ දහඩිය කඳුළ සුළු පටු නෙවෙයි. මේ ජයග්‍රහණය හිමිකර ගන්නට අැය ජාතික කණ්ඩායම වෙනුවෙන් වසර 15ක් ක්‍රීඩා කිරීම තුළින් ලැබූ පන්නරය බොහෝය. ජයග්‍රහණයේදී මෙන්ම පරාජයේදී ද නොසැලී ඉදිරියට ගිය චමරි වසර ගණනක් වැපිරූ අස්වැන්න දැන් නෙළමින් සිටියි. ඇය ඒ ගැන සඳහන් කරන්නේ මහත් නිහතමානී ලෙසිනි.

 

‘අපි මේ ජයග්‍රහණය ලැබුවේ ජීවිතයේ හුඟාක් දේ කැපකිරීමෙන්. හැබැයි මේ සියලු දේ කළත් මේ ජයග්‍රහණය ලබන්නට අපට තනියෙන් බැහැ. මේ වෙනුවෙන් දායක වුණු විශාල පිරිසක් ඉන්නවා. එයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපට යෝධ ශක්තියක් වුණා. ඒ වගේම අපගේ කණ්ඩායමේ නවක පුහුණුකරු ලෙස කටයුතු කරන රොමේෂ් රත්නායක මහතා ඇතුළු පුහුණු කණ්ඩායම සිහිපත් කළ යුතුමයි. මම දැන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩාය‍ෙම් වසර 15ක් ක්‍රීඩා කරනවා. මේ වසර 15ක ක්‍රීඩා කාලය තුළ අවසාන මාස 18 නැතිනම් පසුගිය වසර 1 1/2ක කාලය අපි ලබාගත් ජයග්‍රහණවල ලොකුම වෙනස කළ පුද්ගලයා තමයි රොමේෂ් රත්නායක මහතා. ඔහු කණ්ඩායම ඇතුළේ කිසිම කෙනෙකුට කිසිම වෙලාවක ව්ඥඨචබඪමඥ දෙයක් කතා කරන්න දෙන්නේ නැහැ. ඔහුගේ එම සංකල්පය තමයි අපගේ ජයග්‍රහණයේ රහස කියලා මම හිතනවා. ක්‍රීඩිකාවන්ට නිදහසේ ක්‍රීඩා කරන්න... ක්‍රීඩිකාවන්ගේ සුපුරුදු දස්කම් දක්වන්න. ඉදිරියට යන්න ඔහු සම්පූර්ණ නිදහස දුන්නා. ඔහු කිසිම දෙයකට කිසිම බලපෑමක් කළේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ ක්‍රීඩිකාවෝ තමුන්ගේ සහජ දක්ෂතාවයෙන් ක්‍රීඩා කරනවා දකින්න. මම ගොඩක් භාග්‍යවන්තයි ඔහු වැනි පුහුණුකරුවෙකු යටතේ පුහුණුව ලබමින් නායකත්වය ලැබීමට. ඒ වගේම තේරිම් කමිටුව මාත් සමඟ හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් කණ්ඩායමක් හදලා දුන්නා.

 

ඒ වගේම මගේ ආදරණීය ක්‍රීඩිකාවෝ... අපි සියලු දෙනා එකා වගේ එකට හිටියා. පරදින වෙලාවෙත් අපි ශක්තිමත්ව එකට හිටියා. දිනන වෙලාවෙත් ජයග්‍රහණයේ සතුට විඳගත්තා. අපි එකට එකතුවෙලා කළ කැපවීම නිසා තමයි මේ ආසියානු කුසලානය සිහිනය අපට සැබෑකර ගන්න ලැබුණේ.

 

මම පුද්ගලිකව ක්‍රීඩා ජිවිතය තුළ ලබා ගත්තු ජයග්‍රහණ හුඟාක් තියෙනවා. නමුත් මම නායිකාව ලෙස සැබෑ කරගන්න තිබුණු සිහින දෙකක් තිබුණා. එක් සිහිනයක් තමයි ලෝක කුසලානය ජයග්‍රහණය. අනෙක් ජයග්‍රහණය අපට පස් වරක් නොහැකි වුණු ආසියානු කුසලානය ජය ගැනීම. මේ සිහින දෙකෙන් එක් සිහිනයක් අද මට සැබෑ කරගන්න පුළුවන් වුණා.“

 

මෙය අප කණ්ඩායම ලැබු එක් ජයග්‍රහණයක් පමණයි. එම ප්‍රසංශා පිළිගැනීම් මැද ඔවුන් එහි සතුට විඳ ගනිති. චමරි තම ක්‍රීඩා ජීවිතයේ වසර ගණනක් තුළ ලැබු අත්දැකීම් තුළින් නවක ක්‍රීඩිකාවන්ට ද ලබා දෙන්නේ මහඟු ආදර්ශයකි. ඒ ගැන ඇය සඳහන් කළේ මෙලෙසිනි.

 

මේක අපේ ආරම්භය විතරයි. මේකත් එක්ක ජීවත් වුණොත් අපට ඉදිරියට යන්න බැහැ. මේ වෙලාවේ අපට ලැබෙන පිළිගැනීම හා ප්‍රසංශා හොඳින් කළමනාකරණය කරගත යුතුයි. අපි හැම වෙලාවෙම නිහතමානීව මේ ගමන යන්න ඕනේ. අපේ පුහුණුකරු හැම වෙලාවෙම කියන්නේ ඒ ගැන. Be Humble evry day...  තව මාස 1 1/2කින් ලෝක කුසලානය බංග්ලාදේශයේදී පැවැත්වෙනවා. අපි සමඟ තරග කරන්න ඕස්ට්‍රේලියාව, නවසීලන්තය. ඉන්දියාව, පාකිස්තාන වැනි කණ්ඩායම් සිටිනවා. මේක ලෙහෙසි ඉලක්කයක් නොවෙයි. අපි හොඳින් ක්‍රීඩා කළොත් අපට මේ ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න අපහසු නැහැ. අපේ ක්‍රීඩිකාවන්ට දැන් ඒ ශක්තිය තියෙනවා කියලා ඔප්පු කරලා තියෙන්නේ.