දෝනාවේ මඟ හැර වූ රුවන්පුරේ මැණික් කෙල්ල

අගෝස්තු 12, 2024

මැණික් මතුවෙන්නේ මහපොළොවෙන් කිව්වට මැණික් මතු වෙන්නේ මහපොළොවෙන්ම නෙවෙයි. එහෙම මැණික් අපි හිතන්නෙවත් නැති තැන්වලින් මතු වෙන්න පුළුවන්. රත්නපුරය කිව්වම කාටත් මතක් වෙන්නේ මැණික්. මේ මැණිකත් මතුවෙලා තිබුණේ රත්නපුරෙන්මයි. ඇය මැණික් හොයන මැණිකක්. හැමෝම ඇය ගැන කිව්වෙ එහෙමයි. මේ මැණික් හොයන මැණික මේ විදිහට දිස්නෙ ගහන්න ඔප මට්ටම් කළේ වෙන කවුරුත් නෙවෙයි, ඇගේ පියාමයි. ඔහු රත්නපුරේ නම ගිය මැණික් ව්‍යාපාරිකයෙක්. ඔහුගේ අඩිපාරේ යන ඇය මැණික් හොයන්න වගේම මැණික් බිස්නස් කරන්නත් උපන් හපන් ගැහැනියක්. ඇය චමිලා මධුෂානි චන්ද්‍රසේකර. රත්නපුරේ පතල් බහින ඇයට කවුරුත් කියන්නේ චමී කියලා. ගැහැනියට තහනම් වුණු පතල් කර්මාන්තය ගැහැනියටත් කැපයි කියලා ඇය ඔප්පු කරපු ඇගේ කතාව නම් ඔබ අහන්න ඕනෙම කතාවක්. ඒ කතාව තරුණීට කියන්න ඇය සූදානම්.

 

 

පිරිමින් එක්ක හරි හරියට පතල් බහින චමී කතාව පටන් ගත්තේ මේ විදිහට..

 

ප්‍රතික්ෂේප වීම තමයි ජීවිතයේ තියෙන හොඳම මෝටිවේෂන් එක. මම පොඩි කාලේ ඉඳන් උසස් පෙළ ලියනකම් හොඳට සැප විඳපු කෙනෙක්. ගෙදර වැඩට අය, යාන වාහන, මට ඕන හැමදේම තිබුණා. ඒ හැමදේම දුන්නේ තාත්තා. ඊට පස්සේ අපේ පවුලටම හරි අමාරු කාලයක් ආවා. අපි කාලයක් කෑම කඩ කළා. කොවිඩ් නිසා ඒවා වැහුණා. පස්සේ ඇපි කෑම ඩිලිවරි කළා. සැමියා කෑම ඉව්වා. මම එළවළු කපලා පාර්සල් කළා. මහ රෑ හෙණ ගහන වැස්සේ පවා මම කෑම ඩිලිවරි කළා. මම රෑට අඬලා.. උදේට නැගිටිද්දී අද ගේම ගහන්නේ කොහොමද කියලා කල්පනා කළා. එහෙම හිතපු නිසයි අද මම මේ තැන ඉන්නේ.

 

කෑම ඩිලිවරි කර කර හිටපු චමී කොහොමද පතලට බැස්සේ?

 

පොඩි කාලේ ඉඳලම පතල් සම්බන්ධ පසුබිමක තමයි මම හිටියේ. මැණික් බිස්නස් තමයි තාත්තා කළේ. ඉතින් පොඩි කාලේ ඉඳලා තාත්තා එක්ක පතල්වලට යනවා. පොඩි කාලේ ඉඳලා පතල් වැඩවලට ආසාව තිබුණට මට ඒක කරගන්න බැරි වුණා. මොකද ගැහැනුන්ට පතලට යන්න හොඳ නැහැ කියලා කතාවක් තියෙනවනේ. ඒක හින්දා මං හිතුවේ නැහැ මේක කරන්න පුළුවන් වේවි කියල. ඉතින් කොහොම හරි පොඩි කාලේ ඉඳලා හිතේ තිබුණ ආශාව ඉටුවුුණා. මම මුලින්ම ගඟේ තමයි මැණික් ගැරුවේ. ඊට පස්සේ එතනදි කීපදෙනෙක් හඳුනා ගත්තා. මෙතන ගරලා වැඩක් නැහැ. එහා පැත්තේ වළක් බහිමු කියලා කට්ටිය කතා කරලා වළක් කැපුවා. මම 2019 අවුරුද්දේ තමයි පතල් වැඩ පටන් ගත්තේ. ඉතින් ගෙදර ඉඩමෙත් පතලක් කපන්න හිතුණා. එදා ඉඳලා අද වෙනකම් ඉතින් පතලත් එක්ක තමයි ජීවත් වෙන්නෙ.

 

පතල් වැඩ කටයුතු සිදු වෙන්නේ කොහොමද?

 

අපි දැන් මේ පතලේ අඩි 35ක් විතර බැහැලැ තියෙනවා. මේවා ගැඹුර පතල්. සාමාන්‍යයෙන් ඇලහැර වගේ පැතිවල තියෙනවා ගොඩ පතල් එච්චර ගැඹුර නැති ඒවා. ඒවා ඉතින් අඩි 10 - 15ක් වගේ ගැඹුර ඇති. ඉතින් අපේ අඩි 40 - 50 වගේ බහින්න ඕනේ. ඔහොම පහලටම යද්දි පාරු ගල කියලා එකක් අහුවෙනවා. වළ අඩියටම බැස්සාම එතනින් එහාට යන්න බැහැ. ඒක උඩ මාලාව කියලා එකක් තියෙනවා ඒක දිගේ ඉල්ලම හොයාගෙන යන්න ඕනේ. වළ බැස්සට වළේ බිත්ති හතරක් තියෙනවනේ. ඉතින් මේ හතර පැත්තෙන්ම දෝනා යනවා. දෝනා දිගේ යද්දි ඉල්ලම උඩට තියෙන්න පුළුවන්. යටට තියෙන්න පුළුවන්. මේ පතල ඇතුළ බහින්න දිගටම රිටක් බඳිනවා. ඒක අල්ලගෙන තමයි පහළට බහින්නේ. ඉල්ලම හම්බුණාම ඉතින් මැණික් තියෙනවා. අපි පහළට යන දිගටම ඉල්ලම හිටින්නේ නැහැ. ඉතින් ඉල්ලම හොයාගෙන යන්න ඕනේ.

 

පතල කියන්නෙ අවදානම තියෙන තැනක්.

 

පහළට යද්දි හුස්ම ගන්න බැහැ. ඉතින් හුළං මැෂින් එකකින් ඇතුළට හුළං දෙනවා. එතන හෝස් එකක ගහලා තියෙනවා. ඒ හෝස් එක හරහා අපි වැඩ කරන තැන, ඒ කියන්නේ පහළට යනකම්ම හුළං දෙනවා. මේ පතල්වල තියෙනවා හුමාලය කියලා දෙයක්. ඒක හරි සැරයි. දවස් හතර පහ වැඩ නොකර ඉඳලා එකපාරම වළට බැස්සම මේ හුමාලය වදිනවා. එතකොට කලන්තේ හැදෙනවා. ඉතින් ඒක හරි අවදානම්.

මුල් කාලේ මම හුමාලය මොකක්ද කියලා හරියට දන්නේ නැහැ. මම ඉතින් වැඩ කරද්දි කට්ටිය එක්කත් විහිලු කර කර කියනවා මොකක්ද අනේ මේ හුමාලේ කියලා. එක සැරයක් දවස් හතරක් පහක් විතර අපිට පතලට බහින්න බැරි වුණා. අඩි 275ක් විතර අපේ දෝනාව දිගයි. කට්ටියක් මුලින් බැහැලා ගියා. මම බැස්සේ පරක්කු වෙලා. එතන වතුර බ්ලොක් එකක් තිබිලා මම ඒ වතුර බ්ලොක් එක හද හද හිටියා. එක පාරම මට කලන්තේ හැදෙන්න වගේ හරි අමුතු අපහසුවක් ඇඟට දැණුනා. මම එතන තනියම හද හද හිටියනම් කවුරුත් දන්නේ නැහැ ඉතින් මම කලන්තේ දාලා වැටුණා නම්. මොකද අඩි 75ක් විතර එහායින් අනිත් කට්ටිය ඉන්නේ. මම ඉන්නේ අඩුම ගානේ වළ යට ඉද්දි උඩ පේන කොටසෙත් නෙවෙයිනේ. ඉතින් කවුරු හරි එනකම්ම ඉන්න වෙනවා. මගේ හිතේ හයිය තිබුණා. මට කොහොම හරි උඩට නැඟගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අමාරුවෙන් වුණත් හිතේ හයියෙන් එදා මම පතලෙන් ගොඩට ආවේ. තව දවසක් වළේ ඉද්දි කරන්ට් වයර් එකක් ගිනි ගත්තා. හුළං දෙන හෝස් එකත් එක්කම සන්නිවේදනය කරන්න පුළුවන් උපකරණයක් තියෙනවා. ඒක කරන්ට් එකෙන් වැඩ කරන්නේ. ඒකට තට්ටුවක් දැම්මම ඩොග් ඩොග් කියලා සද්දයක් එනවා. ඒකෙන් තමයි කවුරු හරි උඩද පහළද ඉන්නේ කියලා කියන්නේ. එදා මම පහළ ඉද්දි ඒකට තට්ටු දානවා කවුරුත් ප්‍රතිචාරයක් දැක්වූවේ නැහැ. ඊට පස්සේ උඩපතලේ කෙනෙක්ට ඇහිලා තමයි මේන් ස්විච් එක ඕෆ් කළේ.

 

ගෙදරින් ලැබෙන සහයෝගය ගැනත් කතා කරමු.

මහත්තයා වෙනම ව්‍යාපාරයක් කරගෙන යන්නේ. මට දුවලා දෙන්නෙක් ඉන්නේ. ඒ දෙන්නා ගැනත් කවුරු හරි බලන්න ඕනෙනේ. ඉතින් එයා පතල් වැඩවලට සම්බන්ධ වෙන්නේ නැහැ. ලොකු දුවට අවුරුදු 18ක් වෙනවා. පොඩි දුවට අවුරුදු 10යි. එයා මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙනවා.

 

මුලින්ම පතලකට බහිද්දි වයස කීයද?

 

අවුරුදු 8ක් වගේ ඇති මම මුලින්ම පතලකට බහිද්දි. ඒත් මම ගෙදරට හොරෙන් බැස්සේ. ඒ කාලේ අපේ තාත්තා පතල් කලේ අපේ ගේ එහා පැත්තේ ලොකු තාත්තගෙ ඉඩමේ. ඉතින් මම හැම වෙලාවෙම තාත්තා පස්සෙන් යනවා. කොල්ලෙක් වගේ තමයි හැදුනේ. තාත්තව හැමෝම දන්නේ 6080 මැණික් මුදලාලි කිව්වම. අපේ තිබ්බ වාහන ඔක්කොම 6080 අංකයට තිබුණේ. තාත්තා ඉතින් මැණික් ව්‍යාපාරයේ හරි ප්‍රසිද්ධ චරිතයක්. මම මැණික් ගල් හඳුනගන්න හැටි, මැණික්වල දෝෂ, මැණික් වර්ග ගැන ඉගෙන ගත්තේ පොඩි කාලේදීමයි.

 

පතල් කර්මාන්තය ගැහැනුන්ට අකැපයි කියලනේ කියන්නේ. එතකොට ඒක එහෙම වෙද්දි පතලක වැඩ කළේ කොහොමද?

 

කිලි හින්දා පතලක අහලකටවත් ගැහැණු අයව වද්ද ගන්නේ නැහැ. ඉතින් මට ඕන වුණා මේ කියන කතාවේ ඇත්තක් තියෙනවද කියලා බලන්න. ඉතින් මම එහෙම දවස්වලටත් පතලට බැහැලා වැඩ කරලා තියෙනවා. මට මැණික් හම්බෙලාත් තියෙනවා ඒ දවස්වලට. බලපුවාම ඒවා ඉතින් මිත්‍යා මත. එක පැත්තකින් බැලුවොත් ඒක ගැහැනිය සමහර වැඩවලදී කොටු කරලා තියෙනවා වගේ වැඩක්නේ. දැන් ගැහැනු ළමයිනුත් මේ වැඩේට උනන්දුයි. ඉතින් මට ආසාවක් තියෙනවා දවසක ගැහැනු ළමයි විතරක් දාලා පතලක් කරන්න.

 

පතලක වැඩ කරන එක මොන වගේ අත්දැකීමක්ද?

 

ඇත්තටම ඒකනම් ජීවිතයට මාරම අත්දැකීමක්. අවදානමක් තියෙනවා තමයි. ඒ වුණාට ඒ අත්දැකීම කොහෙන්වත් ගන්න බැහැ. විහිලු කර කර කට්ටිය හරිම සතුටෙන් වැඩ කරන්නේ. ඇත්තටම කිව්වොත් වළේ ඉන්න ටිකේ තමයි මම සතුටින්ම ඉන්නේ. ගොඩ ඉද්දි ප්‍රශ්නනේ. ජීවත් වෙද්දි එහෙම තමයි. ඒ දේවල් වළේදි නැහැ. මහන්සිය, බය, සතුට ඒ හැමදේමත් එක්ක වළ කියන්නේ හරිම වෙනස් තැනක්. මේක ඇත්තටම ලේසි රස්සාවක් නෙවෙයි. දෝනාවේ ඉද්දි කොණ්ද දෙකට තුනට නමා ගෙන සෑහෙන වෙලා ඉන්න ඕනේ. උදේ ඉඳන් හවස් වෙනකම්ම කොන්ද නමාගෙන ඉන්නේ. හැබැයි ඒ මහන්සිය දැනෙනවා අඩුයි ඉන්න පිරිසගේ තියෙන හිතවත්කම සහ සහයෝගයත් එක්ක.