රට දිනවූ උදේශිකාට ගමෙන් ලැබුණු ආදරය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකා උදේශිකා ප්‍රබෝධනි
අගෝස්තු 12, 2024

පසුගිය දා අපේ කෙල්ලෝ ආසියානු කුසලානය දිනා ගැනීම මුළු රටම සතුටු වූ දිනයකි... මේ ඓතිහාසික ජයග්‍රහණය පසුපස යෝධ ශක්තිය බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමඟ සියලුම ක්‍රීඩිකාවන් මේ සඳහා විශාල කැපවීමක් කළ බව මුළු රටම දනී. මේ ජයග්‍රහණය එතරම් පහසු නොවූ ජයකි. ඉන්දියානු කණ්ඩායම හමුවේ පස් වරක් අප පරාජය ලබා මේ ලැබු ජය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටියට යෝධ ශක්තියක් විය. ජයග්‍රහණයෙන් පසු අපේ කෙල්ලන් ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.

 

මේ ජයග්‍රහණයෙන් පසුදින එනම් පසුගිය 29 වැනිදා පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂි සාදයක් සැලසුම් කරන ලදී. එහිදී කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටි 15ක මුදලක් ද තෑගි ලෙස පිිරිනැමීම සුවිශේෂි සිදුවීමකි. රන්ගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ සිට පැමිණි ක්‍රිකට් කණ්ඩායම එදින එම උත්සවයට සහභාගී වී පසුදින තමුන්ගේ නිවෙස් බලා පිටත්ව ගියේ මහත් සතුටින්. කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බොහෝ දෙනෙකු කොළඹින් පිටත පදිංචිව සිටියත් කොළඹ අවට නවාතැන් ගෙන තිබුණේ තම පුහුණුවීම් කටයුතු සඳහා පහසුවටත් තරග සඳහා සහභාගී වීමටත් පහසුව වෙනුවෙනි. ඇතැමුන් බෝඩිම්වලත්, අතැමුන් නෑ හිතවතුන්ගේ නිවාසවලත් නවාතැන් ගෙන සිටී.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාව වන 39 හැවිරිදි උදේශිකා ප්‍රබෝධනි පසුදින සුපුරුදු ලෙසින් තම නිවෙස බලා යෑමට පිටත් විය. වමතින් වේග පන්දු යවන උදේශිකා ගැන මෙහිදී සුවිශේෂි සටහනක් තැබිය යුතුමය. ඇය 2009 පෙබරවාරි මස එක්දින ක්‍රිකට් වරම් ලබා ශ්‍රී ලංකාව වෙනුවෙන් වසර 15ක කාලයක් අඛණ්ඩව ක්‍රීඩා කළ දක්ෂ ක්‍රිඩිකාවකි. අැය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තම පාඩුවේ සිටිමින් අවශ්‍ය මොහොතේ තම කණ්ඩායම වෙනුවෙන් තම යුතුකම හරියටම ඉටු කරන ක්‍රිඩිකාවක් බව ක්‍රීඩා විචාරකයන් සඳහන් කරයි. අැය ඒ තරමට නිහතමානී ක්‍රීඩිකාවකි. උදේශීකා මෙවර ආසියානු කුසලානයේදී ද තම යුුතුකම එලෙසින්ම ඉටු කිරීමට සමත් විය. ඇය ආසියානු කුසලානයේ අවසාන මහා තරගයේදී ද තම සුපුරුදු දක්ෂකම් දක්වමින් ලකුණු 27කට තේජා නිදම්බරම් දවා ගැනීමට හැකිවීම අපේ ජයග්‍රහණයට විශාල ශක්තියක් බවට පත් විය. ඇය එක් දින තරග 68 දී කඩුළු 5ක් සහ 20 - 20 ජාත්‍යන්තර තරග 101 දී කඩුළු 79 දවා ගැනීමට සමත්ව සිිටියි.

 

උදේශිකා කොළඹ පදිංචිව සිටිය ද ඇයගේ ගම් ප්‍රදේශය වුයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඌරගස්මංහංදිය, දියපිටගල්ලෙන ගම්මානයයි. තරගයක් හෝ පුහුණුවීමේ කාර්යයක් හැර වෙනත් විශේෂිත කරුණක් නොමැති නම් උදේශිකා ගමේ යෑම සාමාන්‍ය සිරිතකි. ඇය ඒ තරමටම තම ගමට අාදරය කළාය.

ඇය පසුගිය 30 වැනිදා තම නිවෙස බලා පිටත්ව යෑමට පෙර තම සොහොයුරාට කතා කළා. ඇය තම සොහොයුරාට දුරකතන ඇමතුමක් ගෙන “මල්ලි..... ඔයා මාව එක්ක යන්න කොළඹ එනවාද... නැත්තම් මම හයිවේ බස් එකේ තනියම එන්නද?” ඇය තම සොහොයුරාගෙන් විමසුවේ වෙනදා පුරුද්දටමයි. හැබැයි ඒ වෙනවිටත් උදේශිකා ගමේ තරුණ පිරිස සහ පාසලේ ගුරුවරුන් හා ආදී ශිෂ්‍යයන් ඇය පිළිගන්න පුංචි උත්සවයක් සංවිධානය කරමින් තිබුණා. ඒ කිසිවක් නොදත් උදේශිකා තම මල්ලිට දුන් දුරකතන ඇමතුම් වලට මල්ලි ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ ‘හා... අක්කා එහෙනම් හයිවේ බස් එකෙක් එන්නකෝ... මම හයිවේ එන්ට්‍රන්ස් එක ළඟට ඇවිත් අක්කාව ගන්නම්..“

 

උදේශිකා තම නිවෙසට පැමිණෙන විට සොහොයුරා කොළඹට පැමිණ ඇයව එක්කරගෙන යෑම සාමාන්‍ය පුරුද්දකි. ඇය විදේශ සංචාරයකට පිටත්ව යන විට ද සොහොයුරා සමඟ ඔවුන්ගේම වාහනයේ පැමිණීම සාමාන්‍ය සිදුවීමකි. කෙසේ වෙනත් ඇය මෙලෙස බසයෙන් පැමිණීම සොහොයුරා ප්‍රතික්ෂේප නොකළේ ඇයව පුදුම කිරීමේ සැලැස්මකින් බව උදේශිකා සිහිනෙකින්වත් නොසිතූ දෙයකි.

 

මේ වන විටත් ආසියානු කුසලානය ජයග්‍රහණය කළ කාන්තා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාව පිළිගන්න මුළු දියපිටගල්ලෙන ගමේ සියලු දෙනාම සූදානම්ව සිටියේ මහත් උනන්දුවෙන්. පිළිගැනීමේ උත්සවය සඳහා කටවුම්, බැනර් හා කොඩි රැගෙන සියලු දෙනා සූදානම් වන විට ඇය පිළිගන්නා උත්සවයට ඇයගේ මව්පියන් හා සොහොයුරා සහ සොහොයුරිය ද සූදානම් වුයේ මල් කළඹක් ද අතින් ගෙනය.

 

උදේශිකා සුපුරුදු ලෙසින් කුරුඳුගහ හැතැම්ම පිවිසුමෙන් බස් රථයෙන් බැස ගත්තේ තම සොහොයුරා‍ෙග් රථය තිබෙන තැන කොතැන දැයි ඈත සිටම බලමිනි. ඒත්.... ඇයගේ සිත් ඇදහිය නොහැකි ලෙසින් පිවිසුම් මාර්ගය අබියස විශාල පිරිසක් රැස් කකා බලා සිටියේ ඇය පිළිගන්නටය.

 

මෙය අැයගේ සොහොයුරා සහ ගමේ පිරිස එක්ව සැලසුම් කර සිදු කළ කටයුත්තක් බව උදේශිකාට තේරුණේ එතැන් සිට පොර කකා ඇය ගමන් ගන්නා මාර්ගයේ දෙපස සිටි පිරිස දැකීමෙනි. සැබැවින්ම උදේශිකා ඉතාම නිහතමානී චරිතයකි. ඇය කොතරම් නිහතමානී චරිතයක් දැයි පැවසුවහොත් උදේශිකා වාහන පැදවීමට පවා එතරම් කැමැත්තක් නොදැක්වීම ඇයගේ නිහතමානීකමට හොඳම සාක්ෂියකි. සුද්දි අක්කා ලෙස කා අතරත් ජනප්‍රිය ප්‍රියමනාප චරිතයක් වූ උදේශිකා තම රථ පැදවීමට සොහොයුරාට භාර දී තිබෙන අතර ඇය සැම විටම නිදහසේ ගමන් බිමන් යන නිහඬ චරිතයකි. සැබැවින්ම උදේශිකාට ගමට පැමිණීමට කුලී රථයක් හෝ ගැනීමට අපහසු නොවන බව සියල්ලෝම දනිති. ඇය පුදුම කිරීමේ අරමුණින් ඇයගේ සොහොයුරා සහ ගම්වැසියන් විසින් සැලසුම් කර ඇයට බසයෙන් පැමිණීම මෙය සැලස්වීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුයේ වෙනස්ම කතාවකි. ඒ ගැන මෙම උත්සහවය සංවිධානය කළ ගම්වාසීන් හා උදේශිකාගේ පවුලේ සියලු දෙනා කනගාටුව පළ කරන අතර මෙය උදේශිකාටත් කාන්තා ක්‍රිකට් කණ්ඩායමටත් විශාල ලෙස අපහසුතාවයට පත් වූ සිදුවීමක් විය. සැබැවින්ම ඒ පිළිබඳ පසුව හෝ එම මාධ්‍ය විසින් තමුන් කළ වරද නිවැරැදි නොකිරීම ද විශාල වැරැද්දකි.

 

විශේෂ ස්තූතිය -

ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ

කළමනාකරු

නිශාන්ත ද සිල්වා මහතාට

 

 

ඡායාරූප

කරන්දෙණියේ තුෂාරා නිල්මිණි