ගොඩක් පවුල් කඩන්නෙ අම්මයි - තාත්තයි

අගෝස්තු 12, 2024

විවාහය නමැති මන්දිරයට ඇතුළුවන්නේ ආදරය තුළින්ය. එහෙත් රන් හුයෙන් අතැඟිලි එක්කොට පියනගන විවාහ මන්දිරය තුළට වී සතුටක්, සුවයක් නැතිව කඳුළැලි සලන අනාගතයක් උදාකර ගන්නෝ කොතෙක්දැයි අපි දනිමු. විවාහයක සතුට පවතින්නෙත් දුක පවතින්නෙත් තමා යන පවුල් පරිසරයට අනුව කියලා ගොඩක් අය කිව්වත් ඒ සතුට, සැනසීම තමාටම ළඟා කරගන්න පුළුවන්. හැබැයි ඒකට පවුල් ජීවිතය සමබරව ගෙනියන්නම වෙනවා.

 

ගැහැනු ළමයෙකුට විවාහ දිවියට ඇතුළු වෙනවා කියන එක, එක පැත්තකින් ලොකු සතුටක්. අපිට සතුටුදායක පැත්ත විතරක් පෙනුණට අනෙක් පැත්තෙන් ලොකු දුකකුත් තියෙනවා. මොකද උපන්දා සිට හිටපු ගේ හැර යාම.. ගැහැනියකගේ ජීවිතයේ විඳින්න වෙන දුක් තුනෙන් එකක් තමයි මේ උපන් ගෙයි හැරයාම කියලා කියන්නේ. ඒ විදිහට උපන් ගෙය හැර ගියාට පස්සේ එයා ජීවත් වෙන ලෝකය තනිකරම වෙනස් වෙනවා.

 

හිතන්න, වෙන පවුල් පරිසරයක ඉඳලා අලුත් පවුල් පරිසරකට යනවා කියන්නේ කෙනකුගේ ජීවිතය කොතරම් වෙනස් වෙනවද කියලා. එතකොට ඒ අලුත් පවුල් පරිසරය ඇතුළේ සමහර වෙලාවට ඉන්න වෙන්නේ විස්තෘත පවුලක් විදිහට. මොකද මේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක ලොකු ගෙවල් ගන්න, ලොකු ගෙවල් හදන්න මිනිස්සුන්ට වත්කමක් නැහැ. ඒවගේම මඟුල් ගෙයක් අරගෙන ගොඩක් ණය වෙලා බලාපොරොත්තු වුණේ නැති විදියට වියදම් වෙලා එයාලා ජීවිතය පටන් ගන්නේම අධික පීඩනයක් සහ ණය බරක් එක්ක. බොහෝ දෙනකුට වෙලා තියෙන්නේ ඒ විදිහෙ දේවල්.

 

ඊළඟට තවදුරටත් හංගන්න දෙයක් නැති නිසා සැමියාගේ සාමාන්‍ය ගතිගුණත් මතු වෙනවා මේ විවාහය ඇතුළෙදි. සැමියාගේ නෑයෝ අලුත ගෙනා මනමාලිගේ හැඩරුව බලන ගමන්ම මොනවද මෙයාට තියෙන්නේ කියන එක ගැනත් කනෙන් කොනෙන් අහන්න පටන් ගන්නවා. එයා හොඳ දෑවැද්දක් ගෙනාවද? එයා හොඳ වාහනයක් ගෙනවද? එයාගේ මවුපියන්ට හොඳ සල්ලි තියෙනවද? ඕවා තමයි මුලින්ම බලන්නේ. උගත්කමට එහෙම ලොකු තැනක් දෙනවා මේ සංස්කෘතිය ඇතුළේ දකින්න ලැබෙන්නේ නැහැ. දායාද ගැන තමයි ගොඩක් බලන්නේ. ප්‍රාදේශීය ලේකම්ලා, පරිපාලන විභාගය සමත් වෙච්ච ගැහැනු ළමයි, නීතිඥ වෘත්තියේ අය සහ වෛද්‍ය වෘත්තියේ අය, හෙද වෘත්තියේ අයට එහෙම ලොකු ප්‍රශ්න තියෙනවා නැන්දම්මලා එක්ක. හෙදියක් වගේ කෙනෙක්ගෙන් සැමියාගේ සමහර නෑයෝ අහනවා අපෝ රෑ වැඩටත් යන්න ඕනේ. ඒක නම් හරි යන්නේ නැහැ කියලා. දැන් එතකොට විවාහ වෙන හැම හෙදියක්ම රෑ වැඩ කරන්න බැහැ කියලා කිව්වොත් මොකද වෙන්නේ. එතකොට කොහොමද රෝහලක කටයුතු පවත්වාගෙන යන්නේ. ඒ වගේ පටු විදිහට හිතන නෑයන්ට මුහුණ දෙන මනමාලිට ලොකු ගැටලුවක් ඇති වෙනවා. ඊළඟට මනමාලිගේ චර්යා රටාව වෙනස් වෙනවා. මනමාලිට වැඩිපුර ටිකක් මහන්සි වෙන්න වෙනවා එයාගේ ගෙදරදී මහන්සි වුණාට වඩා. මොකද තමන්ගේ ගෙදර ඉන්නවා වගේ නෙවෙයිනේ පිට ගෙදරක ඉද්දි.. සමහර වෙලාවට උදේට ඇහෙනවා තාම නිදිද? තාම නැගිට්ටේ නැද්ද? හොඳයි ඔහොම ගැහැනු ළමයි නිදාගත්තොත්. ගොඩක් වෙලාවට සැමියා නම් මෙහෙම කියන්නේ නැහැ. සැමියා දෙපැත්තට හිර වෙලානේ ඉන්නේ. මේ වගේ නැන්දම්මලා අතරේ ඉතාම හොඳ නැන්දම්මලත් ඉන්නවා. වැඩ ඇරිලා ගෙදර එන ලේලිට ඒ නැන්දම්මා කියන්නේ දුවට මහන්සි ඇතිනේ ටිකක් නිදාගන්න කියලා. උදේට කෑම බීම ටික පවා හදලා දෙනවා.

 

ගෙදර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙන්නේ ඒ ගෙදර වයසක මවුපියෝ, අයියලා, අක්කලා, අක්කලාගේ ළමයි වගේ මහ ගොඩක් කට්ටිය ගෙදර ඉද්දී. මේවත් එක්ක බිරියට තරුණ, සුන්දර හීන ලෝකය ගෙවන්න බැරි වෙනවා. අපි හිතනවා හැන්දෑවට චයිනිස් රෝල් දෙකක් ගෙනල්ලා තේ එකක් බීලා රෑ වේල පිරිමහගන්න පුළුවන්නම් හොඳයි කියලා. හැබැයි මේ වගේ ගොඩක් කට්ටිය ඉන්න ගෙදරක ඒක කරන්න බැහැ. උයන්න ඕනේ. කෑම ගේන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා.

 

ඉතින් මනමාලි කියන කෙනාගේ මංගල සිහින එක්ක දුකක්, හිස්තැනක්, සාංකාවක් මෝදු වෙන්න පටන් ගන්නවා. මහත්තයත් කියන්න ගන්නවා මම පොඩ්ඩක් යාළුවෙක් හම්බෙලා එන්නම් කියලා. ඒ පොඩි වෙලාව හුඟක් දුර යනවා. සමහර වෙලාවට රෑ 11 - 12 වෙනකම් මේ වෙලාව ඇඳෙනවා. ගොඩක් වෙලාවට එයා හිටපු සෙල්ලක්කාර ජීවිතයෙනුත් එයාට ගැලවෙන්න අමාරුයි. එහෙම නොගියොත් යාළුවෝ අහන්න ගන්නවා උඹ ගෑනිට බය යි ද? උඹ ගෑනිගේ යට ගවුමට යට වෙලා නේද ඉන්නේ? එහෙම ඇහුවම තරුණ සැමියාත් ඒකට මැදිහත් වෙනවා. එහෙම බලද්දි තරුණ සැමියාත් පව්.

 

එතකොට අලුත විවාහ වුණ ජෝඩුවක්. එහෙම නැත්නම් දුව හරි පුතා හරි විවාහ වුණාම ඒ මවුපියෝ දැනගන්න ඕනේ ඒ දරුවන්ට වෙනම ලෝකයක් තියෙනවා. එයාලට ඒ ජීවිතය ගෙනියන්න දෙන්න ඕනේ කියලා. මවුපියන්ගේ අවවාද අනුශාසනාත් ඕනේ. අපි ඒක බැහැර කරන්න හොඳ නැහැ. මොකද අපිව මෙච්චර දුර ගෙනාවේ අපි මවුපියොනෙ.

 

දැන් හිතමු මේ අලුතෙන් බැඳපු ජෝඩුවක් අලුතෙන් ගෙයක් ගන්න යනවා කියලා. සැමියගේ තාත්තා කියනවා ඒ පැත්තේ වැඩිය ගෙවලුත් නැහැ. පුතා වැඩට ගියාම මේ ළමයා තනියම ඔය ගෙදර ඉන්නේ කොහොමද කියලා. හොරෙක් හතුරෙක් ආවොත් මොකද කරන්නේ කියලා. එතකොට දුවට කියන්න බැහැ ඔයාගේ තාත්තගේ බක පණ්ඩිතකම නිසා තමයි අපිට ඒ ගේත් නැති වුණේ කියලා. මේ පොඩි දේත් ඇති පවුල් කැඩෙන්න. ඇත්තටම බලද්දී ඒ තාත්තගේ අවවාදය ඇත්තනේ. අද ආරක්ෂාවක් නැති කාලයක්. අවුරුදු 70 - 80 ආච්චිලවත් අද කාලේ දූෂණය කරලා යනවා.

 

එතකොට දැන් හිතමු අලුත් ෆිල්ම් එකක් ඇවිල්ලා අම්මේ අපි අද ඒක බලන්න යනවා කියලා තරුණ ජෝඩුවක් කිව්වම, ඕවට සල්ලි නාස්ති කරන්න එපා ළමයි, දැන්ම ඉඳන්ම එකතු කරන්න පටන් ගන්න. තව ඉස්සරහට තමයි සල්ලි ඕන වෙන්නේ කියලා කිව්වොත් ඒක මවුපියන් කරන වැරැද්දක්. එයාලට ඒ ජීවිතය විඳින්න දෙන්න ඕනේ. ළමයි හැදුවම ළමයි පොඩියි කියලා ගමන් යන්නේ නැහැ. ළමයි ඉස්කෝලේ යද්දි ළමයින්ට ඉස්කෝලේ යන්න තියෙනවා කියලා ගමන් යන්නේ නැතුව ඉන්නවා. ළමයි ලොකු වුණාම ළමයින්ගේ ළමයි බලන්න තියෙනවා කියලා ගමන් යන්න නැහැ. ඉතින් හුදෙකලා වෙලා ඒවා ගැන හිත හිත අඬන ගැහැනු ඕන තරම් ඉන්නවා.

 

සමහරවිට නැන්දම්මලා නිකටට අත තියාගෙන අනේ අනිච්චං... අනේ කාලේ වනේ වාසේ... මේ ළමයි අඳින ඇඳුම්.. දැන් ගැහැනියක් නේද... ඔහොම කියලා කියන්න පුළුවන්. එක රැයක් එළි වෙද්දි කෙල්ලෙක් ගැහැනියක් වෙන එක ජීව විද්‍යානුකූලව සිද්ධ වුණාට මනසට ඒ වෙනස ඇති කරගන්න කාලයක් යනවා. ඉතින් යුවතියක් විවාහ වුණාම ලස්සනට ඉන්න. තරුණකම රැක ගන්න. විවාහ වුණාම ඒ මවුපියෝ කියයි ආගම දහමට නැඹුරු වෙන්න, පන්සල් පල්ලි යන්න කියලා. ඒ දේවලුත් තියෙන්න ඕනේ. හැබැයි ඒ තම තමන්ගේ හැටියට. මොකද එයාගේ ජීවිතය අයිති එයාට. එයා කැමැති අකැමැති දේවල් ඒ විදිහට කරන්න එයාට ඉඩ දෙන්න ඕනේ.

 

සමහර වෙලාවට කුස්සියට ගියාම නැන්දම්මගේ ක්‍රමය පිළිවෙලක් නැති වෙන්න පුළුවන්. සමහරවිට ලේලි පිළිවෙල වෙන්න පුළුවන්. හැබැයි මේකේ අනෙක් පැත්තත් වෙන්න පුළුවන්. මැල්ලුම් කපන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒ ගෙදර වැටකොළු කපන විදිහෙත් වෙනසක් තියෙන්න පුළුවන්. එතකොට නැන්දම්මා කිව්වොත් අපි වැටකොළු කෑවේ මෙහෙමයි උඹත් මේ විදිහට කාපන් කියලා. ඒක හරි වැරදි. නමුත් අපිට පුළුවන් අලුත් අලුත් ක්‍රමවලට මාරු වෙන්න. සමහරවිට ලේලිට පුරුදු සතියක ඇඳුම් එකට හෝඳලා නමලා තියෙන එක නම් නැන්දම්මා දකින දැකින තැන්වල රෙදි දානවා වෙන්න පුළුවන්. ලේලි ලස්සනට අස් කරන ගෙදර මාමන්ඩි මඩ පිටින් ගෙට එනවා වෙන්න පුළුවන්. ඉතිං මේ දේවල් අලුත විවාහ වූ කෙනෙක්ට හරි පීඩාකාරී. ඒ වගේ තැනකදි ගැහැණු ළමයෙක් හරි අසරණයි. ඔයා සතුටින් ඉන්නවද දුව කියලා තමන්ගේ අම්මා ඇහුවාම සතුටින්මත් නෙවෙයි අම්මා පොඩ්ඩක් මහන්සි කිව්ව ගමන් ඒ අම්මලත් දුවගෙන ඇවිත් අපි ළමයි හැදුවේ මේ විදිහට වෙන්න නෙවෙයි කිව්වොත් මේ අලුත් යුවල මේ මව්පියෝ දෙපිරිස මැද අතරමං වෙනවා.

 

ඉතිං ගොඩක් වෙලාවට මේ විදිහට පවුල් කැඩෙන්න හේතුව මව්පියන්ගේ ප්‍රශ්න නිසා. මේ මව්පියන්ගේ ප්‍රශ්න නිසාම අලුත විවාහ වූ බොහෝ යුවලවල් විවාහ සම්බන්ධතාවලින් ඇත් වෙලා ඉන්නවා. සැමියගේ ගෙදර ඇතුලේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා. දික්කසාද වුණ අක්කා ඉන්නවා. බැදපු නැති නංගි ඉන්නවා. තව නැන්දා කෙනෙකුත් ඉන්නවා.. එතකොට සීයලා ආච්ව්ලා. ඉතින් ඒ ගෙදර ඇතුළේ පොඩි සද්ධයක් ඇහුණත් ටක් ගාලා කවුරු හරි අහනවා මොකක්ද ඒ සද්දේ.. ඉතින් තරුණ විවාහක දෙන්නෙක් ඉන්නේ කොහොමද? තව සමහර අය කියනවා මම කායික සම්බන්ධතා පැවැත්වුවාට පස්සේ මට ඇඟ හෝදගන්න වෙනවා. එතකොට මහ රෑ ඇගහෝදන්න හරි නාන්න හරි ගියාම ගෙදර ඔක්කොටම උත්තර දෙන්න ඕනේ රෑ නාපු එකට. ඉතින් ඒකට උත්තර දෙන එක වෙහෙසක් සහ ලැජ්ජාවක් කියලා කායික සම්බන්ධතාවලින් ඈත් වෙනවා. කායික සම්බන්ධතා පවත්වාගෙන යන එක විවාහක යුවලකගේ අයිතියක්. ඒ වුණාට දැන් ඒ අයිතියටත් වැට බැඳිලා තියෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් ගැන අපි වඩා පුළුල්ලව හිතනවනම් හොඳයි. අනිත් කෙනාගේ සීමාව අතික්‍රමනය නොකළ යුතුයි. සමහර නැන්දමලා ඉන්නවා ලේලී නිතරම කෝල්වල ඉන්නවා කියලා තමන්ගේ පුතාට පැමිණිලි කරනවා. ලේලි සතුටින් ඉන්නවට තරහ නිසා තමයි ඒ දේවල් සිදු වෙන්නේ. අම්මට ඕනේ ඒ සතුට බිදින්න. ඒ සතුට කඩන්න. අම්මලට සලකන්න ඕනේ කියලා අපි නිතරම කිව්වට සමහර සිද්දීන් වලදී නැන්දම්මලා මාමන්ඩිලා වැරදි විදිහට හැසිරෙනවා. සමහර මාමන්ඩිලා ලේලී ඇඳුම් මාරු කරනවා බලන්න. ආසයි.. හොරෙන් එබිලා බලනවා. යට ඇඳුම් හොරකම් කරනවා. ඒවා ලිංගික අක්‍රමිකතා. මේ ඉතාම මෑතකදි පෙන්ෂන් ගිය කොළඹ හොඳ රැකියාවක් කළ තාත්තෙක් ඒ වගේ දෙයක් කරලා තිබුණා. ලේලි නානකාමරයේ නාන වීඩියෝ වගයක් ලීක් වෙලා තිබුණා. ඒක වුණේ කොහොමද කියලා බැලුවම මේ මාමන්ඩි ෆෝන් එකේ වීඩියෝ ඔන් කරලා ලේලී නාන වෙලාවට බාත් රූම් එකේ තියලා. ඒ තාත්තට එහෙම වුණේ කොහොමද කියලා බැලුවම ඒ නැන්දම්මා ඉතාම තරුණ වයසෙදි ආගමට දහමට නැඹුරු වෙලා කායික සම්බන්ධතාවලින් ඈත් වුණු කෙනෙක්. ඉතින් මාමණ්ඩි ඒ හිස්තැන පුරවගන්නේ ලේලියගෙන්. හැබැයි මේ වගේ ප්‍රශ්නයක් වුණා කියලා රණ්ඩු වෙලා විවාහය කඩාගන්න එක නෙවෙයි කරන්න ඕනේ මේවගේ පුද්ගලයන්ව අදාල වෛද්‍යවරු වෙත යොමු කරලා ප්‍රශ්න විසඳගන්න ඕනේ. දෙන්නෙක් විවාහ වෙන්නේ පවුල් සංකෘතීන් දෙකක එකතුවෙන්. ඉතින් මේ දෙපිරිසේම සිතුම් පැතුම් හැසිරීම් මේ හැමදේම වෙනස්. ඒ දේවල් ගැන අවබෝධයෙන් කටයුතු කළොත් සාර්ථක පවුල් ජීවිතයක් ගෙනියන්න පුළුවන්.

 

ප්‍රවීණ මනෝ උපදේශිකා

අමා දිසානායක

කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව