සත් වසකින් හමුවන ලිය විස්මිත කෑමකි බෙරලිය

සැප්තැම්බර් 2, 2024

සමහර කෑම වර්ගවල රස බලන්න නම් අවුරුදු ගණනාවක් බලාගෙන ඉන්න වෙනවා. බෙරලිය කියන්නෙත් එහෙම වසර ගණනාවක් බලාගෙන ඉදලා රස බලන්න ලැබෙන හරි අපූරු ආහාරයක්. මොකද මේ බෙරලිය හැදෙන්නේ වසර හතකට සැරයකි. ඒ නිසා බෙරලිය වෑංජනයක, බෙරලිය පිට්ටුවක රස බලන්න නම් අවුරුදු හතක්ම බලාගෙන ඉන්න වෙනවා. 2017 වසරේ අවසන් වරට හැදුනු බෙරලිය වසර හතකට පසුව මෙවරත් හැදිලා.

 

සිංහරාජයේත් අවට කඳු පන්තියෙත් හා තෙත් කලාපවල ඇළ දොළ ආශ්‍රිතව පමණක් හටගන්නා බෙරලිය ගස කන්නෙලිය රක්ෂිතයේ, හිනිදුම් කන්ද රක්ෂිතයේ, මතුගම වලල්ලාවිට පැනියාවල රක්ෂිතයේ දක්නට ලැබෙනවා . ශ්‍රි ලංකාවටම ආවේණික,වසර හතකට සැරයක් හට ගන්නා මේ ශාකයේ මල් සහ ගෙඩි පෝෂ්‍යදායී ආහාරයක් ලෙස ආයුර්වේදයේ සඳහන් වෙනවා. විද්‍යාත්මකව බෙරලිය Shorea cordifolia නමින් හඳුන්වන අතර, ආයුර්වේදයේ සඳහන් පරිදි බෙරලියා ප්‍රභේද කිහිපයක් වෙයි. ඒවා නම් රත් බෙරලිය, කොටිකං බෙරලිය, ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල හල් බෙරලිය සහ හාල් බෙරලිය ලෙස ව්‍යවහාර කරති. සාංඝික දානයකට බෙරලිය වෑංජන සකසා දිය හැකිනම් එම දානය ඉතා දුර්ලභ දානමය පින්කමක් ලෙසටද ගැමියෝ සලකති. බෙරලියා සෑදෙන්නේ අඩි 100 කටත් වඩා උස ගස්වලය. ඵල හට ගන්නා කාලයට බෙරලිය ඇහිදීමට උදේ පාන්දරින්ම, දවල්ටත් අාහාරපාන රැගෙන ගැමියෝ විශාල වශයෙන් මහ වනයට ඇදෙති. ඒ බෙරලියවල ඇති මිල කළ නොහැකි වටිනාකම නිසාය. බෙරලියා කොළය ඉතාම සිහින්ය. බෙරලියා ගෙඩිද කුඩාය. වසර හතකට පසු හැදෙන කාලයට බෙරලියා ගෙඩි දහස් ගණනින් ගස් යට වැටේ.

 

ආහාරමය වටිනාකම

 

ගස් යට පතිත වීමෙන් පසු එකතු කර ගන්නා ඵලවල පියාපත් සහිත බාහිර ආවරණය ඉවත් කර ඇතුළත ඇති බීජ කොටස ආහාරය සඳහා ප්‍රයෝජනයට ගනී. මෙම බීජ වෑංජනයක් ලෙස සකස් කර ආහාරයට ගත හැකි අතර එය කජු මද වෑංජනයකට සමාන රසයකින් හා පෙනුමකින් යුක්තය. එමෙන්ම බීජ පිටිකර පිට්ටු, හැලප, කැවුම් ආදී ආහාර වර්ග සැකසීමේදී මිශ්‍ර කර සකස් කිරීමෙන් මනා පෝෂණයක් හා රසයක් ඇති කරගත හැකිය. මෙම බීජ තම්බා පොල් සමඟ ආහාරයට ගැනීමටද ගැමියෝ පුරුදු වී සිටිති. එම බීජ වැඩිපුර ඇති අවස්ථාවල උණුදියේ දමා වියළා ගැනීමෙන් පසු වසර දෙකක් තුනක් පමණ කල් තබා ගත හැකිය. මේ වන විට බෙරලිය සඳහා විශාල ඉල්ලුමක් ඇති අතර ඉතා ඉහළ වටිනාකමකට අලෙවි කිරීමටද හැකියාව පවතී.

 

ඖෂධීය වටිනාකම

 

අධික පාචනය සහිත රෝගීන්ට බෙරලිය තම්බා වතුර දීමෙන් ක්ෂණික හා ස්ථිර සුවයක් ලබාගත හැකි අතර ආහාර මාර්ග පද්ධතියේ ඇතිවන රෝග බොහොමයකටම ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙසද භාවිත කෙරේ. එමෙන්ම ශරීරයේ ලිංගික ශක්ති වර්ධන ආහාරයක් ලෙස ද (වැල් පෙනෙල මෙන් සියගුණයක පමණ ශක්තියක් මෙහි ඇතිබව සඳහන් වේ.) දියවැඩියාව පාලනයට ද හැකියාවක් ඇත. මෙම ඵලයේ ඇති ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා පිළිකා මෙන්ම අධි රුධිරපීඩනය වැනි රෝගී තත්ත්වයන් ගණනාවක්ම වළක්වා ගැනීමටද මහඟු ඖෂධීය ආහාරයක් ලෙස ද හැඳින්විය හැක.

 

බෙරලිය ශාකයේ ව්‍යාප්තිය

 

මෙම ශාකයේ ඵල දැරීමට වසර හතේ සිට වසර පහළොවකට අධික කාලයක් ගත වීමත්, සියලු ශාකවල ඵල දැරීම සිදු නොවීමත්, අඩි සීයක් පමණ උසට වැවෙන විශාල ශාකයක් වීම නිසාත්, මෙම වටිනා ශාකය පිළිබඳ ඇති දැනුම මදිකම නිසාත්, පහත රට තෙත් කලාපයේ වනාන්තරවල දැකිය හැකි මෙම වටිනා ශාකය මේ වනතුරු වගාවක් ලෙස වගා කිරීමට කිසිවෙකු පෙලඹී නැත. වනාන්තර ප්‍රදේශවල ස්වාභාවිකව වැවෙන ශාකවලින් අස්වනු ලබා ගනිති.

මේ අනුව පහතරට වැසි වනාන්තර, කන්නෙලිය, දෙදියගල, නාකියාදෙණිය, ගිලීමලේ, දෙල්ලව සහ ලෝක ප්‍රසිද්ධ සිංහරාජ වන රක්ෂිතයේ බෙරලිය ශාකය දක්නට ලැබේ. බෙරලිය ගහ මීටර් තිහ හතළිහක් පමණ උසට වැඩෙනවා.

බෙරලිය සෑදෙන්නේ අවුරුදු හතකට වරක් යැයි පවතින විශ්වාසය නිසාත් එය වටිනා ඖෂධයක් නිසාත් ගැමියෝ බෙහෙතකට ගැනීමට තම්බා වියළාගත් බෙරලිය අවශ්‍ය වූ විටෙක ගැනීමට සුරක්ෂිත ලෙස දුමෙහි තබා ගනිති.

-----------------

බෙරලිය වෑංජනය

මෙම වෑංජනය සෑදීමට පෙර බෙරලිය ගෙඩිවල පොත්ත ඉවත් කරලා මදය වෙන් කර ගත යුතුයි. එකින් එක වෙන් කරන්න ඕනේ නිසා පැයක පමණ කාලයක් ගත වෙනවා. ඒ වගේම මෙහි ඇති තිත්ත රසය ඉවත් කර ගැනීමට වෑංජනය පිසීමට පෙර දින රාත්‍රියේ බෙරලිය මද වැසෙන ප්‍රමාණයට වතුර දමා පෙඟෙන්නට තියන්න ඕනේ. අපේ පැරැන්නන් බෙරලිය මද රෙදි කඩක ගසා ගලා යන දොළ පහරක ගැට ගසා තිබ්බා කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ.

 

මේ වෑංජනය සෑදීම සඳහා බෙරලිය මද ග්‍රෑම් 500ක්, තළා ගත් සුදු ලූනූ බික් 4ක්, ලියා ගත් රතු ලූනූ, අමු මිරිස් හෝ කොච්චි, රම්පේ හා කරපිංචා, අබ තේ හැන්දක්, කැබලි කපාගත් වියළි මිරිස් කරල් 2ක්, කහ, අමු තුනපහ කුඩු, බැදපු මිරිස් කුඩු හා බැදපු තුනපහ කුඩු ඔබේ රස පදමට, සියඹලා යුෂ තේ හැන්දක්, කැබලි කපාගත් ඉදුණු ලොකු තක්කාලි ගෙඩියක්, උකු පොල් කිරි කෝප්පයක්, දියකිරි කෝප්පයක් හෝ වතුර කෝප්පයක්, පොල් තෙල් මේස හැන්දක්, කුරුඳු පොත්තක් සහ රස අනුව ලුණු අවශ්‍යයි.

 

හදන්නේ මෙහෙමයි, රැයක් පෙඟෙන්නට තිබූ බෙරලිය මද හොඳින් සෝදා පිරිසුදු කර ගන්න. මැටි ඇතිලියක් ළිපේ තියලා එයට පොල් තෙල් මේස හැන්ද එකතු කරලා, තෙල් රත් වෙනකොට අබ හා වියළි මිරිස් එක්ක මඳ වේලාවක් බදින්න. එයටම සුදු ලූනූ, කරපිංචා, රම්පේ, අමු මිරිස්, තක්කාලි එකතු කරලා තෙම්පරාදු කර ගන්න.

තෙම්පරාදුවට බෙරලිය මද හා දියකිරි හෝ වතුර කොප්පයද, සියඹලා යුෂ හැර තුනපහ වර්ග ටික එකතු කර පදමට ලුණු දාන්න.

වෑංජනය පියනකින් වසා දියකිරි හිඳෙනකම් මඳ ගින්නේ පිස ගන්න.

වෑංජනය හිඳුනු පසු උකු පොල් කිරි සහ සියඹලා යුෂ එකතු කර බෙරලිය මද තැම්බෙනකම් තවත් ටික වේලාවක් මඳ ගින්නේ පිසින්න. ඔබට අවශ්‍ය නම් බෙරලිය වෑංජනයට කබලේ බැදලා හදා ගන්නා හාල් පොල් මිශ්‍රණයත් එකතු කර ගන්න පුළුවන්.

 

 

උපදෙස් හා ඡායාරූප

ප්‍රවීණ සූපවේදිනී

තිලානි විතානගේ