දරුවා නිසැකවම ශිෂ්‍යත්ව විභාගය සමත් කරන ප්‍රබල ගණපති සරස්වතී ස්තෝත්‍ර පූජාව

සැප්තැම්බර් 9, 2024

 

ශිෂ්‍යත්ව විභාගයට ඇත්තේ තවත් දින කිහිපයකි. කුඩා දරුවන් ජීවිතයේ පළමුවරට මුහුණ දෙන මේ කඩයිම් විභාගයට දරුවන්ට වඩා වැඩි උනන්දුවක් දක්වන්නේ අම්මලාය. ඒ නිසාම දරුවන් විශාල පීඩනයකින් යුතුව මේ විභාගයට මුහුණ දෙන්නේ විභාග පිළිබඳ පළමු අත්දැකීම් ලැබීමේ බියෙනි. මෙය තරග විභාගයකි. තරගයක් ජය ගැනීමට වාසනා මහිමය හා හැකියාවද දෙකම තිබිය යුතුය.

 

මේ විභාගයේදී සමහර අති දක්ෂ දරුවන් පවා විභාගය අසමත් වෙති. නැතිනම් අඩු ලකුණු ලබති. ඇතැම් විට හිතාගන්නවත් නොහැකි අඩු මට්ටමේ සිටි දරුවන් විශිෂ්ට ලෙස ජයග්‍රහණය ලබා ගනී. එයට හේතුව වන්නේ එම දරුවන්ගේ උපන් හඳහනට අනුව ග්‍රහයන්ගේ ප්‍රබලත්වය හා දුබලත්වය ඇතිවීම නිසයි. එම මොහොතේ පවතින තත්කාල හෝරාව අනුවද මෙම ග්‍රහයන් ප්‍රබල දුබලවීම සිදුවේ.

 

ජ්‍යොතිෂ වත්පිළිවෙත් මඟින් සිදු කරනුයේ එම ග්‍රහයන්ගේ ප්‍රබලත්වය ඉස්මතු කර දීමයි. නමුත් උපතින්ම අධ්‍යාපනය හීන කරන ග්‍රහ බලපෑම් ඇති දරුවන්ගේ උත්සාහයක් නොමැති නම් කුමන වත් පිළිවෙත් සිදු කළත් මෙවැනි ජයග්‍රහණ ලබා ගැනීමට නොහැකි වනු ඇත. අප මෙවර ඔබට තිළිණ කරනුයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ඔබේ දරුවා වෙනුවෙන් මහා බලගතු ගණපති සරස්වතී ස්තෝත්‍ර පූජාවයි. එම ස්තෝත්‍ර පූජාව පැවැත්වීමෙන් දරුවාගේ මානසික මට්ටම හා විශ්වාසනීයත්වය ප්‍රබල වෙයි. එසේම දරුවාගේ ග්‍රහයන් ප්‍රබල කිරීමටද විශාල ශක්තියක් ලැබෙයි. මෙම බලගතු ගණපති සරස්වතී ස්තෝත්‍ර පූජාව විභාගයට පෙර සවස් යාමයේ හෝ විභාග දිනයේ අලුයම පැවැත්වීම මඟින් ඔබේ දරුවාගේ කඩඉම් විභාගය ජයග්‍රහණය කිරීමට ඉමහත් ශක්තියක් වන බව නියතය.

 

බොහෝ විට අපගේ අධ්‍යාපනයට බලපෑමක් කරන ග්‍රහයන් වන්නේ බුධග්‍රහයා සහ කේතු ග්‍රහයාය. විශේෂයෙන් ගුරු ග්‍රහයා ප්‍රබල වෙයි. බුධ ග්‍රහයා ප්‍රබල කිරීමෙන් පොතට පතට හා මනසට කාරක අනෙකුත් ග්‍රහයන් ප්‍රබල කිරීමට හේතු වෙයි. එමෙන්ම සුරගුරු ලෙසින් හැඳින්වෙන බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා ද ඉතාම වැදගත් වෙයි. එම නිසා මෙම ග්‍රහයන් තිදෙනාම ප්‍රබල කළ යුතු වෙයි. අප මෙම පූජාව තබා කරනුයේ ඔවුන්ට ප්‍රධාන දෙවිවරු සතුටු කිරීම සේම නුවණට අධිපති ගණපති ශාස්ත්‍රයට අධිපති සරස්වතී දෙවියන් සතුටු කිරීමයි. එම නිසා ඔවුන් ප්‍රිය කරන පුද පූජා තබා ඔවුන් සතුටු කරන ස්තෝත්‍ර කාණ්ඩයක් ගායනා කර එම කර්තව්‍ය ඉටු කිරීමෙන් දරුවාගේ සිද්ධි බලය ප්‍රබල කිරීමෙන් එය කිරීමට අවශ්‍ය ඉෂ්ට දේවතා සහ ඥාති දේවතාවන් ප්‍රබල කිරීමයි. මෙය විද්‍යාත්මකව සඳහන් කළහොත් දරුවන් වටා තිබෙන්නා වූ ඕරාව නොහොත් ශක්ති වළල්ල ශක්තිමත් කිරීමයි.

 

මුලින්ම අප පූජාව තැබීමට මණ්ඩපය මෙලෙස සාදා ගනිමු.

කුඩා ටීපෝවක් හෝ මේසයක් පිරිසුදු කරගෙන එය මත කහ රෙදිකඩක් එළා කෙසෙල් කොළ අතුරා ගන්න. එය කොටස් දෙකකට බෙදෙන ලෙස දකුණු පස කොටසේ සරස්වතී රූපයත් වම්පස කොටසේ ගණපති රූපයත් තබන්න. ඉන්පසු එම රූපයට ඉදිරියෙන් බුලත් කොළ විසි එක බැගින් තබා නෙළුම් මලක් ලෙස එය සාදාගන්න. හැකිනම් පුවක් මලක්, නව කොටුවක් සිටින ලෙස පුවක් මල් කැබලිවලින් බුලත් කොළ 21 උඩ සාදාගන්න. එම ගැබ මැද ඇස්ස නොපෙනෙන පොල් ගෙඩි දෙකක් තබන්න. මේ සියලු දේම දෙහි සහ කහ මිශ්‍ර වතුරෙන් සෝදා ගත යුතුය. ඉන්පසු එහි ලදපස් මල් අතුරාගන්න. වෙනම බුලත් කොළ දෙකක් මත අලුත් පහන් තැටි දෙකක්ද මේසයේ කොන් හතරට අලුත් පහන් තැටි හතරක්ද තබා, එළඟිතෙලෙන් පුරවා පහන් තිර දමා එහි කපුරු කැබැල්ල බැගින් තබන්න.

 

ඉන්පසු මෙම යහන මත තැඹිලි ගෙඩි දෙකක් තබන්න. අඹ, කෙසෙල්, දිවුල්, බෙලි, දොඩම්, නාරං, පේර කහ වතුරෙන් සෝදා ඒ මත තබන්න. හකුරු කැබලි දෙකක් වී පොරි මිටක්, මී පැණි අවුන්සයක් පිරිසුදු පීරිසියකට දමා එයද යහන මත තබන්න. කැවිලි වර්ග හතක් ද ඒ මත තබන්න. රතු සුදු කහ මල් එහි අතුරන්න. දැන් ඔබගේ යහන සාදා අවසන්ය. සාම්බ්‍රාණි කුඩු, සුවඳ කොට්ටම් කූඩු, අඟුරු කුඩු, දේවදාර කුඩු, සුදු හඳුන් කුඩු, හල්දුම්මල කුඩු, සැවැන්දරා කුඩු ග්‍රෑම් 20 බැගින් ගෙන කලවම් කර පොල්කටු අඟුරු දුම් අල්ලන්න.

 

පළමුව නි‍ෙවසේ බුදු පහන දල්වා සරස්වතී, ගණපති පහන ද මේසය වටා ඇති අනෙක් පහන් හතර ද දල්වන්න. හඳුන්කූරු දල්වන්න. පළමු බුදුන් වැඳ තිසරණ සරණ පංච ශීලයෙහි පිහිටා කරණීය මෙත්ත සූත්‍රය කියා සියලු දෙවියන්ට පින් දෙන්න.

 

එම මොහොතේම යහන මත සියලු පලතුරු කපා වෙන් කරන්න. එම පලතුරු සුවඳත්, නැවත පොල් කටු අඟුරුවලට තබන සුවඳත්, කපුරුත් දල්වමින් කපුරු සුවඳත් පිනිදිය ඉසිමින් පිනිදිය දී සුවඳත් ලබා දෙමින් පහත ස්තෝත්‍රය විසි එක වර බැගින් ගායනා කරන්න. ස්තෝත්‍රය අවසන් වූ පසු නැවත ගණපති සරස්වතී මෑණියන්ට හා සියලු ඥාති දෙවියන්ට පින් දෙන්න. මෙම යහන මත කහ වතුරෙන් සේදූ දෙහි ගෙඩියක් තබා දරුවා ගෙයින් පිටවන විට දකුණු කකුලෙන් පාගා ඇස්වහ කටවහ දෝෂ දුරු කර ගත හැකියි.

 

ගණපති සරස්වතී ස්තෝත්‍රය

 

ඕම් ..... ගම් .... ගණපතියේ නමහාය . . . .

ඕම් . . . අයින් . . . . සරස්වතියේ . . . නමහාය . . . .

ඕම් . . . බ්‍රහස්පතියේ . . . නමහාය . . . .

ඕම් . . . . බුධායේ . . . නමහාය . . . .

ඕම් . . . කේතුයේ . . . නමහාය . . . .

 

මේ සෑම පාඨයකින්ම විසි එක වර බැගින් ගායනා කරන්න.

 

උපදෙස්

‍ෙජ්‍යාතිෂවේදී ගුප්ත

විද්‍යා විශාරද

වෛද්‍ය ආචාර්ය

චන්දන සතරසිංහ