මනාලියක් හැඩ කරන්න මනස මෙහෙම හදාගනිමු

සැප්තැම්බර් 16, 2024

 

මනාලියන් හැඩගැන්වීම අතිශය තෘප්තිමත් වඩාත් ඕනෑකමින් යුතුව නිරත විය හැකි වෘත්තියකි. ඒ සඳහා ඇති ඉල්ලුම ද දිනෙන් දිනම ඉහළ යන්නකි.

විවාහ වී දරුවන් ලැබූ පසු රැකියාවට යාමේ ගැටලු ඇති කෙනකුට වුව නිවෙසේදීම ස්වයං රැකියාවක් ලෙසින් ඇරැඹිය හැකි ක්ෂේත්‍රයකි.

සිද්ධාන්තමය දැනුම මෙන්ම ප්‍රායෝගික දැනුම උපරිමයෙන් ලැබීමටත් දෙස් විදෙස් හි පිළිගත් NVQ 4 සහතිකය ලබා ගනිමින්ම මනාලියන් හැඩගැන්වීමේ කටයුත්තේ නිරත වීමේ දැනුම්වත් බවයි අප මේ ලබා දෙන්නේ.

 

වෘත්තීය ආචාර ධර්ම

ඕනෑම වෘත්තියක් පවත්වා ගැනීමට නම් වෘත්තීය ආචාර ධර්ම සහ සෞඛ්‍ය සම්පන්න බව අත්‍යවශ්‍ය සාධකයකි. ඔබට හමුවන සෑම පාරිභෝගිකයෙකුගේම විශ්වාසය දිනා ගැනීම අතිශයින් වැදගත්ය. විශ්වාසය තුළින් ඇති කරගන්නා සම්බන්ධතාව ඔබේ කීර්ති නාමයට ව්‍යාපාරයේ කීර්ති නාමයට බොහෝ වටිනාකමක් ලැබෙනු ඇත.

මනාලියන් හැඩගැන්වීමේ ශිල්පය අද වන විට ඉතාමත් තරගකාරි වෘත්තියක් බවට පත්වී අවසානයි.

මනාලියන් හැඩගැන්වීමේ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් යනු අතිශයින්ම වගකීම් දරන්නකු විය යුතුමයි. ඒ පිළිබඳ ලබන දැනුම ද වැදගත් වේ.

මනාලියන් හැඩගැන්වීමේ ශිල්පියකු හෝ ශිල්පීන් විසින් ප්‍රගුණ කළ යුතු විශේෂ ගුණාංග හා වර්ධනය කළ යුතු ආකල්ප තුළින් වෘත්තීය ප්‍රතිරූපයක් ගොඩනඟා ගැනීම සහ ප්‍රවර්ධනය කර ගැනීම මෙහි මූලික අඩිතාලම වෙයි.

මනාලියන් හැඩගැන්වීමේ වෘත්තියේදී පමණක් නොව අනික් සෑම වෘත්තියකදීම මෙම කොටස අතිශයින් වැදගත්ය .

මෙහිදී මනාලියන් හැඩගැන්වීමේ ශිල්පියකු සතු ගුණාංග සහ අනන්‍ය ලක්ෂණ අතරේ පෞරුෂත්වයට හිමිවන්නේ ඉතා ඉහළම තැනකි.

පෞරුෂත්වය යනු ටොන් ගණනක විනයයි. එනම් ශරීරික හා මානසික පැවැත්ම උසස් තත්ත්වයෙන් දියුණු කරගෙන තමන්ගේ ආත්ම ශක්තිය ආත්ම විශ්වාසය තමන් උගත් ශිල්පය අදාළ ක්ෂේත්‍රය තුළ තහවුරු කර ගැනීම පෞරුෂත්ව වර්ධනයයි.

එසේ නම් නිමේෂයකින් සිත් ඇදගන්නාසුලු පැවැත්මක් හා වාතාවරණයක් ඇතිකර ගැනීම මෙම ක්ෂේත්‍රයේ නියැළී සිටින්නන් විසින් පිළිපැදිය යුතු වැදගත් කාර්යයකි.

සේවාදායකයාගේ සිත් දිනා ගැනීම සඳහා නවීන පන්නයේ ආයතනයක් සහ පෞරුෂත්වයකින් හිමි උසස් මනසක් ඇති කර ගැනීම කාලෝචිතයි.

ඊට අදාළ ශරීර සෞඛ්‍යය පවත්වාගෙන යාම, ප්‍රබෝධවත් මනස, හැසිරීම පිළිවෙළ, යාවත්කාලීන වූ අදාළ දැනුම නොකඩවා පවත්වාගෙන යෑම සඳහා මනා පෞරුෂයක් අත්‍යවශ්‍යය.

වෘත්තියේ ප්‍රතිරූපයක් ගොඩනඟා ගැනීම සහ ප්‍රවර්ධනය

මෙහිදී ඔබ ආයතනයේ වැඩ කරන විට හෝ ව්‍යාපාරයට සම්බන්ධ වන විටදී පුද්ගල සම්බන්ධතා පැවැත්විය යුතුයි. එය ඔබේ ප්‍රතිරූපය ගොඩනැඟීමෙහිලා අතිශයින් වැදගත්ය.

ඔබ කතා කළ යුතු, නොකළ යුතු දේ පිළිබඳ මනා වැටහීමක් ඇති කර ගත යුතුයි.

 

මනාලියන් හැඩ ගැන්වන ශිල්පිනියක අනුගමනය කළ යුතු දෑ

* වෘත්තියට ගැළපෙන පෙනුමක් මනාලියන් හැඩගැන්වීමේ ශිල්පිනිය සතු විය යුතුවේ. ප්‍රසන්න පෙනුමක් ඇති කර ගැනීමට නම් ඔබගේ බාහිර පෙනුම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

* හිසකෙස් මුහුණෙන් සහ බෙල්ලෙන් ඉවතට සිටින සේ සකස් විය යුතුයි. හිසකෙස් දිගු නම් පිටුපසට කර බඳින්න.

පෞගලික ස්වස්තථාව රැකගැනීම

* දිනපතා ස්නානය

* සෞඛ්‍යය මැනවින් පවත්වාගෙනයාම

* ශරීරයෙන් නිකුත්වන දහඩිය ගඳ පාලනය

* පිරිසුදු ඇඳුම් ඇඳීමේ වැදගත්කම

* මුඛ සෞඛ්‍යය පවත්වා ගැනීම

* අත්, නිය, සම, හිසකෙස් පිරිසුදුව පවත්වාගෙන යාම

* ගැළපෙන ඇඳුම් තෝරා ගැනීමට ඔබ දක්ෂ විය යුතුයි. එය පාරිභෝගික සම්බන්ධතා යහපත් මට්ටමක පවත්වා ගැනීමට උපකාරී වේ.

* මෘදු සුවඳ විලවුන් භාවිතය

* විවිධ නිල ඇඳුම් වර්ග භාවිතයේ සහ එම නිල ඇඳුම්වල වර්ණ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

වෘත්තියට අදාළ වන වෙනත් දෑ

* රූපලාවණ්‍යාගාරය පිරිසුදුව පිළිවෙළකට තබා ගැනීම

* නියමිත වෙලාවට වැඩ කිරීම

* පෞද්ගලික දේ කතා නොකිරීම

* හොඳ ඇහුම්කන් දෙන්නකු වීම

* තම දෑත් හොඳින් රැක බලා ගැනීම මනාලියන් හැඩ ගැන්වීමේ ශිල්පියකුට අත්‍යවශ්‍ය සාධකයකි. නිය කොටට කපා, නිතර ක්‍රීම් ගළවා හොඳින් ආරක්ෂා කරගන්න. ආහාර අනුභවයෙන් පසු දෑත්වලින් කිසිසේත්ම ඉඳුල් ගඳක් නොඑන පරිදි සේදිය යුතුයි. අත්වල ගල්වන ක්‍රීම් වර්ගයක් ආලේප කිරීමත් සුදුසු වේවි.

* ඔබ පලඳින වළලු, මුදු, බ්‍රේස්ලට් ආදිය සේවාදායකයා සමඟ කටයුතු කරද්දී බාධාවක් නොවිය යුතුයි.

* නිසි පරිදි දුරකතන භාවිතය

විශිෂ්ට මනාලියන් හැඩගැන්වීමේ ශිල්පියකුට කෙනකුගේ පෙනුම ස්වභාවික ලෙස හිසකෙස් විලාසිතාව සහ වර්ණය වෙනස් කිරීම, වේශ නිරූපණය සහ වෙනත් ක්‍රියා පටිපාටි හරහා පුද්ගලයකුට සම්පූර්ණ නව පෙනුමක් නිර්මාණය කිරීමට උපකාර කළ හැකියි. ආකර්ෂණීය විලාසිතාවෙන් පෙනී සිටීමට උපකාර කිරීම සඳහා ඔවුන් රූපලාවණ්‍ය ශිල්පීන් මත විශ්වාසය තබයි.

වඩාත්ම සාර්ථක රූපලාවණ්‍ය ශිල්පීන් පහත සඳහන් දෑ ඇතුළුව කර්මාන්තයේ වාසිය ලබා දෙන ඇතැම් ගුණාංග බෙදා ගනී.

 

අනුවර්තනය වීමේ හැකියාව

විශිෂ්ට රූපලාවණ්‍ය ශිල්පියකු කර්මාන්තයේ වෙනස්වන තාක්ෂණික ක්‍රම සහ එම තාක්ෂණයන් මත රැඳී සිටින අතර සිදුවන වෙනස්කම් පහසුවෙන් ඔවුන්ගේ කාර්යයට ඇතුළත් කර ගැනීමට වගබලා ගත යුතුයි.

 

වර්ණ සහ විලාසිතා

වර්ණ මූලධර්ම පිළිබඳ ඉතා විශිෂ්ට දැනුමකින් දැනුම්වත් විය යුතුයි.

විශිෂ්ට රූපලාවණ්‍ය ශිල්පියකුට සේවාදායකයින් සඳහා ක්‍රියා කරන අලුත් කොණ්ඩා මෝස්තර සහ වර්ණ මොනවාද යන්න පිළිබඳ දැඩි හැඟීමක් ඇති අතර ඒවා ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ හොඳම පෙනුමට උපකාර කිරීමට යෝජනා කරයි.

නිර්මාණශීලිත්වය

විශිෂ්ට මනාලියන් හැඩගැන්වීමේ ශිල්පියකුට නිර්මාණශීලීත්වය පිළිබඳ හැඟීමක් ඇති අතර වේශ නිරූපණයේ දී සහ හිසකෙස් හැඩගැන්වීමට හෝ වෙනත් රූපලාවණ්‍ය ක්‍රියාපටිපාටි කිරීමට නව සහ විවිධ ක්‍රම ගැන සිතීමේ හැකියාව දියුණු කරගත යුතුයි.

සේවාදායකයාගේ අවශ්‍යතා අවබෝධ කර ගැනීමේ දක්ෂතාව

* විශිෂ්ට රූපලාවණ්‍ය ශිල්පියකුට විශිෂ්ට පාරිභෝගික සේවා කුසලතා ඇත. ඔවුන් සියලු සේවාදායකයින් මිත්‍රශීලීව පිළිගැනීමේ වාතාවරණයක් නිර්මාණය කරයි.

* විශිෂ්ට රූපලාවණ්‍ය ශිල්පියෙක් ආරක්ෂාව සහ සෞඛ්‍ය ගැටලු පිළිබඳ උනන්දු වේ. ඔවුන් තම උපකරණ සෑම විටම පිරිසුදුව හා සනීපාරක්ෂක ලෙස තබා ගත යුතුයි.

* විශිෂ්ට මනාලියන් හැඩ ගැන්වීමේ ශිල්පියකු කර්මාන්තයේ භාවිත කරන විවිධ ශිල්පීය ක්‍රම සහ මෙවලම් හැසිරවීම පිළිබඳ මනා ලෙස පුහුණු විය යුතුයි

* පාවිච්චි කරන , බුරුසු, ස්පොන්ච්, මේක් අප් වර්ග, හිස කෙස් නිෂ්පාදන සහ වෙනත් උපකරණ භාවිත කිරීමට සහ යෙදවිය යුතු අවස්ථා පිළිබඳව හොඳ වැටහීමක් තිබිය යුතුයි.

 

* යාවත්කාලීන වූ නව අදහස් තැනට සුදුසු ලෙස යොදාගැනීමේ හැකියාව ප්‍රගුණ කළ යුතුයි.

* විශිෂ්ට රූපලාවණ්‍ය ශිල්පියකුට සේවාදායකයා සමඟ අදහස් දැක්මක් බෙදා ගැනීමට හැකි විය යුතුයි.

* ඉලක්කය පැහැදිලිව දැකීමට සහ එම ඉලක්කය කරා යාමට අවශ්‍ය කාර්යය දක්ෂ ලෙස ඉටු කිරීමට ඔවුන්ට හැකි වේ.

 

ආකල්ප

ආකල්පයක් යනු ජීවිතයේ ඉල්ලීම් සමඟ කටයුතු කිරීමේදී යමෙකු අත්විඳින හඳුනාගත හැකි චිත්තවේගයන් ක්‍රියාවයි. ඔබේ ආකල්පය ඔබගේ සහ ව්‍යාපාරය පෝෂණය කිරීමට ඔබ වටා සිටින අයට ගුණාත්මක සහ ඵලදායී බලපෑමක් ඇති කළ හැකි ආකාරයටත් සකස් විය යුතුයි.

 

 

ඉදිරිපත් කිරීම

ආයුර්වේද වෛද්‍ය (පාරම්පරික) චර්ම රෝග විශේෂඥ

චාමලී කල්දේරා

(NVQ Level-3/4 ඇගයීම් නිලධාරිනි)