කොල්ලන්ට කෙල්ලන්ට හැරෙන්නවත් බැරි කෑගල්ලේ ග්‍රැෆික් ආච්චි

සැප්තැම්බර් 23, 2024

 

අද කාලේ තරුණ කෙල්ලෝ කොල්ලෝ හැමෝම ඉන්නේ තාක්ෂණයත් එක්ක. මොකද තාක්ෂණය නැතුව අද කරන්න පුළුවන් දෙයක් ති‍ෙයනවද කියලා හිතන්න පුළුවන් තරමටම තාක්ෂණය දියුණුයි. හැබැයි මේ තාක්ෂණයත් එක්ක වයසක උදවියට නම් හැරෙන්නවත් බැහැ. එහෙමයි ගොඩක් අය කිව්වේ. මොකද අද කාලේ වයසක කෙනෙක් දුවට, පුතාට කෝල් එකක් අරන් දෙන්න කියලා ෆෝන් එක දෙන්නෙත් කෙල්ලෙක්ට කොල්ලෙක්ට.

හැබැයි ඒ කතාව බොරුවක් කියලා ඔප්පු කරපු අත්තම්මා කෙනෙක් ඉන්නවා පින්නවල. හැබැයි එයා ග්‍රැෆික්වලින් වැඩ දාන්නේ කෑගල්ලේ. රඹුක්කන කෑගල්ල පාරේ ටික දුරක් යද්දී හිරිවඩුන්න හන්දියෙන් පොල්ගහවෙලට හැරෙද්දිම අපිට හම්බෙන්නේ පාර අයිනේ තියෙන එයාගේ කොමියුනිකේෂන් එක. ධනංජය කොමියුනිකේෂන්. එයාගෙ වයස අවුරුදු 70යි. නම සුදර්මා ජයකොඩි. වයස තරමටම එයාගේ වැඩත් හරි ලොකුයි. හරි පුදුමයි. එයාගේ හරි පුදුම වැඩ ගැන කතා කරන්න අද අපි ඇවිත් ඉන්නේ කෑගල්ලට. සුදර්මා අත්තම්මා ඒ කතාව කියන්න පටන් ගත්තේ මේ විදිහට.

 

"මම මේ කොමියුනිකේෂන් එක පටන් ගත්තේ 2002 අවුරුද්දේ. දැන් අවුරුදු 22ක්. මගේ පුතාගේ අදහසකටයි කොමියුනිකේෂන් එක පටන් ගත්තේ. එතකොට පුතා ගාල්ල පැත්තේ හොටෙල් එකක වැඩ කළේ. එතකොට මම ඇහුවා පුතා නැතුව මම තනියම කොහොමද කොමියුනිකේෂන් එකක් කරන්නේ කියලා. පුතා කිව්වේ වැඩට ළමයෙක් දාලාවත් කරමු අම්මේ කියලා. ආර්ථික තත්ත්වෙත් එක්ක ළමයෙක් දාලා කරගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මගේ විරුද්ධත්වය නොතකා පුතා කොමියුනිකේෂන් එක දැම්මා.

හරි පොඩියට පටන් ගත්තේ. එතකොට ෆොටෝ කොපි ගහන්න පුළුවන්කම තිබුණා. CD විකිණුවා. ලැමිනේටින්, බයින්ඩින් දේවල් ටික තිබුණා. කෝල් ගන්න පුළුවන්කම තිබුණා. මම තමයි ඉතින් කොමියුනිකේෂන් එකේ වැඩකරගෙන හිටියේ. සමහර දවසට රුපියල් 50ක් වත් ආදායම නැහැ.

 

කොමියුනිකේෂන් එකේ වැඩ අල්ලගත්තේ කොහොමද?

 

ඒ කාලේ CD විකිණුවේ අයිඩින්ටි තියාගෙන. ඊට පස්සේ CD රයිට් කරලා ඉල්ලන්න පටන් ගත්තා. ඒ කාලේ මේ කොහෙවත් කම්පියුටර් ගන්නවත් තිබුණේ නැහැ. ඉතින් පුතා කොළඹ ගිහින් කම්පියුටර් එකක් ගෙනාවා. ඊට පස්සේ කම්පියුටර් එක ගෙදර තියාගෙන CD රයිට් කරලා ගෙනිහින් දුන්නා. ඊට පස්සේ ඒ කම්පියුටර් එක කඩේට ගෙනාවා. පුතා මට CD රයිට් කරන හැටි කියලා දුන්නා. ඒ විදිහට ඒ වැඩේ මම අල්ල ගත්තා.

පුතා ගෙදර එන්නේ නිවාඩුවටනේ. ඒ ආවම එයා මට කියලා දෙනවා. එයත් ලොකුවට ඒ වැඩ දන්න කෙනෙක් නෙවෙයි. හැබැයි දන්න දේ මට කියලා දුන්නා. ඊට පස්සේ ඒ දන්න දේවල්වලින් මම තව තව දේවල් හොයාගත්තා. ඊට පස්සේ ටයිප් සෙටින් සොෆ්ට්වෙයා දාගෙන ටික ටික ටයිප් කරන්නත් පුරුදු වුණා. ලියුම් ටයිප් කරන්න ගොඩක් අය එනවා. හැම දේම තනියමමයි පුරුදු වුණේ. මොකද අපි ඉස්කෝලේ යන කාලෙවත් ඕවා ඉගෙන ගන්න තිබුණේ නෑනේ. අනික අපි දැන් පංති යන වයසකුත් නෙවෙයිනේ.

 

එදා කොමියුනිකේෂන් එක තිබුණ විදිහයි අද තියෙන විදිහයි ගැන මොකද හිතෙන්නේ?

 

එදා මේ කොමියුනිකේෂන් එකේ තිබුණේ පොඩි දේවල් ටිකක්. අද වෙද්දී බයින්ඩින්, ලැමිනේටින්, ටයිප් සෙටින්, ඊමේල් යැවීම, ෆොටෝකොපි. ෆෝනුත් විකුණන්න තියෙනවා. එතකොට හැන්ඩ් ෆ්‍රී, චාජර්ස්, ෆෝන් කවර්ස් වගේ ෆෝන්වලට අවශ්‍ය දේවලුත් තියෙනවා. කොමියුනිකේෂන් එකක තියෙන්න ඕන හැම දෙයක්ම මෙතැන තියෙනවා. දුරකතන බිල්, විදුලි බිල් ගෙවන්න පහසුකමත් මෙතැන තියෙනවා. පියෝ ටීවී සහ රවුටර් කනෙක්ෂන් හදලා දෙනවා. කවර් පේජ් හදලා දෙනවා. ලේබල් හදලා දෙනවා. ඉස්සර තමයි ගොඩක්ම ලේබල් හදන එක කළේ. දැන් වැඩ වැඩි නිසා එයාලා භාර දීලා ගියාම ටික ටික හදලා දෙනවා. ඒ දේවල් ඉගෙන ගත්තෙත් මෙතැනින්ම තමයි.

 

ඒ කියන්නේ ග්‍රැෆික් වැඩත් හොඳට පුළුවන්?

 

ඔව්. ෆොටෝෂොප් සොෆ්ට් වෙයා එක මම තනියම ඉගෙන ගත්තා. ඒ නිසා එඩිටිං ගැන තරමක දැනුමක් තියෙනවා. ග්‍රැෆික් වැඩවලට ලොකු කාලයක් යන නිසා භාර ගන්නවා අඩුයි. ඒත් කවුරු හරි කිව්වම නොකර ඉන්නෙත් නැහැ.

 

වයස වැඩි අයට තාක්ෂණය අල්ලගන්න අමාරුයි කියනවනේ. අත්තම්මා කොහොමද මේ තාක්ෂණය හරියට අල්ලගත්තේ?

 

පුංචි කාලේ ඉඳන්ම මගේ හිතට මොකක් හරි දෙයක් කරන්න ඕනේ කියලා හිතුණොත් අනිවාර්යයෙන්ම ඒක කරනවාම තමයි. මට අවුරුදු 12 ඉඳන් මම කවදාවත් කඩෙන් ඇඳුම් ගත්තේ නැහැ. මමමයි මහගෙන ඇන්දේ. පුළු පුළුවන් වෙලාවට පිට අයටත් මහලා දුන්නා. පාසල් ගියේ උඩුව මහා විද්‍යාලයට. පාසල් යන කාලේ ඉඳලා මොකක් හරි අතිරේක වැඩක් වුණත් මට හැමෝම කිව්වේ මට ඒක කරන්න පුළුවන් කියලා අනිත් අයත් දන්න නිසයි. කොම්පියුටරය ගත්තමත් මම බැලුවේ මේකෙන් මොනවද කරන්න පුළුවන්. කොහොමද ඒවා කරන්නේ කියලා. හැමදේම එකපාරම පුළුවන් වෙන්නේ නැහැ. වැරදීම් වෙවී තමයි හරි යන්නේ.

 

දවසේ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද?

 

කොමියුනිකේෂන් එකේ ඉඳලා ගෙදරට කිලෝමීටර් හතක් තියෙනවා. ගෙවල් පින්නවල. උදේ නැඟිටලා කෑම ටික හදාගෙන 6.30ට විතර ගෙදරින් එනවා. මොකද උදේ 7 වෙද්දි මෙතන අරින්න ඕනේ. ඉස්කෝලේ යන දරුවෝ ගුරුවරු ප්‍රින්ට් අවුට් ගන්න උදේම එනවා. ෆොටෝ කොපි ගහන්න එනවා. ඉතින් උදේ 7 වෙද්දි මම කඩේ අරිනවා. වැඩ ටික ඉවර කරලා ගෙදර එද්දී රෑ 8 වෙනවා. පෝයට විතරයි මේක වහන්නේ.

 

මෙතරම් සෙනඟ ගොඩක් ඉද්දි කොහොමද මේ වැඩ ටික තනියම කරගන්නේ..?

ඒක දැන් මට පුරුදු වෙලා. සෙනඟ වැඩි වුණා කියලා මම කරන වැඩේට අඩුපාඩුවක් කරන්නේ නැහැ. වෙලාව ගියත් කිසිම ඇද පලුද්දක් නොවෙන්න මගේ සේවය මම කරනවා.

 

අද කාලේ අත්තම්මලාටනේ වැඩට යන දුවලා පුතාලගේ මිනිබිරියෝ මුනුපුරෝ බලාගන්න වෙන්නේ. අත්තම්මට ඒ වගේ ගැටලු නැද්ද?

 

මට ඉන්නේ පුතාලා තුන් දෙනයි, එක දුවයි. දුව දැන් ඉන්නේ මොරටුවෙ. එයාගේ බබාලා ලොකුයි. ඒ දරුවෝ ලැබුණේ එංගලන්තයේදී. ලේලිලා තුන්දෙනාම ගෙවල්වලම ඉන්න නිසා මට එයාලාගේ දරුවෝ බලාගන්න වුණේ නැහැ. ඉතින් ඒ දේවල්වලිනුත් මම නිදහස් නිසා මම හරි ආසාවෙන් මේ කොමියුනිකේෂන් එක කරගෙන යනවා. මහත්තයා නැති වුණේ 1998 දී හාට් ඇටැක් එකකින්. එතකොට දරුවෝ ඉස්කෝලේ යනවා. හැබැයි ඉතින් මම කිසි දෙයක් අත්හැරියේ නැහැ. මම එයාලව ලොකු මහත් කළා. අදටත් මම කාටවත් කරදරයක් වෙන්න කැමැති නැහැ. ගෙවල්වල නිකම් ඉද්දි ලෙඩ වැඩි වෙනවා. අනිත් එක මම අකැමැතිම දෙයක් තමයි අනුන්ගේ ඕපා දූප කතා කරන එක. ඉතින් මට ඕනේ මගේ පාඩුවේ ප්‍රයෝජනවත් දෙයක් කරගෙන යන්න.

 

 

ඡායාරූප

කෑගල්ල විශේෂ චමින්ද ජයලත්