වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
උස් තැන්වලින් පනින්න තරම් හිස් වෙන්න එපා
පසුගිය කාලයේ කතා බහට ලක් වූ අල්ටෙයාර් අබිරහස ගැන ඔබට තවම මතක ඇති. කොළඹ කුරුඳුවත්තේ පිහිටි ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලැබූ 15 හැවිරිදි සිසුවෙක් සහ සිසුවියක් කොම්පඤ්ඤ වීදියේ පිහිටි අල්ටෙයාර් සුපිරි මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලින් බිමට පැන මියයෑමේ සිදුවීම ගැන විවිධ මාධ්‍යවල ප්‍රධාන පුවතක් විදිහට පළ වුණා. ඒ සිදුවීමට හේතු වූ මානසික පසුබිම ගැන අප මින් පෙරත් කතා බහ කළා ඔබට මතක ඇති.
නමුත් නැවත ඒ පිළිබඳ අවධානය යොමු කිරීමට සිදු වන්නේ පසුගියදා ඒ ආකාරයටම නෙළුම් කුලුනෙන් සිසුවියක් බිමට පැන සියදිවි නසා ගැනීමේ පුවතත් සමඟයි.
මේ ගැන බරපතළ සැකයක් එන්නෙ එම සිද්ධිය සහ ඊට පෙර කොළඹ අල්ටෙයාර් ගොඩනැඟිල්ලෙන් බිමට පැන එකවර දිවි නසා ගත් සිසුවා සහ සිසුවියගේ සිද්ධිය අතර බැලූ බැල්මට යම් සම්බන්ධයක් පෙනෙන නිසාය. මේ සිසු සිසුවියන් තිදෙනාම කොළඹ ප්‍රධානතම ජාත්‍යන්තර පාසලක සම වයසේ එක පන්තියේ බොහොම සමීපව සිටි මිතුරු මිතුරියන් බව තහවුරු වී තියෙනවා. මේ සිද්ධි දෙකේ සියලුම කරුණු ද එක හා සමානවීම විශේෂත්වයයි.
නව යොවුන් වියේ දරුවන්ගේ මෙවැනි ක්‍රියාකාරකම්වලට පොළඹවනු ලබන මානසික තත්ත්වයන් පිළිබඳව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහගේ පැහැදිලි කිරීමකි මේ.
පසුගිය කාලයේ කිහිප වතාවකම දරුවන්ගේ සියදිවි නසා ගැනීම්වල යම් කිසි ඒකාකාරී බවක් දැක ගත හැකියි. ඒවාට හේතු පාදක වන්නේ මනෝමය සහ සමාජයීය හේතු සාධකයන් ය. අපි අද දකින දෙයක් තමයි නව යොවුන් වියේ දරුවන්ට සුවිශේෂි ප්‍රශ්න තිබෙනවා. එක පැත්තකින් අධ්‍යාපනික තරගකාරී ප්‍රශ්න නිසා ඔවුන් පීඩනයකට පත් වෙලා. මවුපියන්ගෙන් තියෙන බලපෑම නිසා මේ පිඩනය තවත් වැඩි වෙනවා. ඉතින් මේකට ඔරොත්තු දෙන්න බැරි වුණාම ජීවිතය ගැන කළකිරෙන්න පුළුවන්.
ඒ වගේම ඇතැම් දරුවන් අන්තර්ජාලය හරහා නොයෙකුත් බලපෑම්වලට යටත් වෙලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ටෙලි නාට්‍ය සහ චිත්‍රපට පවා මේ දරු දැරියන්ගේ හැසිරීම්වලට බල පා තිබෙනවා. අද මවුපියන්ගේ තියෙන කාර්යබහුලත්වය නිසා දරුවන් ගැන සොයා බලන්න වෙලාවක් නැති වෙනවා. එහෙම වෙද්දි දරුවන්ටත් තමන්ගේ දේවල් කියාගන්න කෙනෙක් නැති වෙනවා. ඉතින් දරුවන්ට ඇතිවන පීඩනයට පාලනය කර ගත නොහැකි හැඟීමක් ආවම ඒවා පාලනය කරගන්න බැරි වෙනවා.
දරුවන්ගේ පුංචිම හරි වෙනස් කමක් දැක්කොත් මවුපියන්ට යුතුකමක් තියෙනවා දරුවන්ට අවධානය යොමු කරන්න. දරුවාට නිතර කේන්ති යනවනම්, හුදෙකලාව ඉන්න හදනවනම් හෝ වෙනදා නොදුටු කිසියම් වෙනස්කමක් තියෙනවනම් ඒ ගැන සොයා බලන්න.
මෙසේ සියදිවි නසා ගැනීමට විවිධ හේතු බල පෑ හැකිය. මේනියාව, විෂාදය සහ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වීම ඒ අතර වෙයි.
විෂාදය
විෂාදයේ දී විවිධාකාර රෝග ලක්ෂණ ලෙස මතු විය හැකිය. නමුදු සියලුම රෝගීන් චිත්ත ස්වභාවයේ ප්‍රබල වෙනසක්, සිතේ ඇතිවන අධික දුක, තමාගේ කැමැති ක්‍රියාවන්වලින් ලබා ගන්නා ප්‍රීතිය අඩු වීම, යන ලක්ෂණ පෙන්වයි. වෙනත් රෝග ලක්ෂණ වනුයේ, දිගුකල් පවත්නා දුක, නොසන්සුන් බව හෝ හිස් බව, කෑම අරුචිය හෝ බර අඩුවීම හෝ බර වැඩිවීම සහ නින්ද නොයාම, වැඩිපුර නිදා ගැනීම, නොසන්සුන්තාවය සහ නොරුස්සනා ස්වභාවය, නොගැළපෙන වරදකාරී හැඟීම්, අසරණ බව, බලාපොරොත්තු කඩවූ, අසුභවාදී හැඟීම් චින්තනයේ, අවධානය පවත්වා ගැනීම්, මතක තබා ගැනීමේ, තීරණ ගැනීමේ අපහසුතාවය, මරණය ගැන සිතීම හෝ සියදිවි හානි කර ගැනීමට තැත් කිරීම,
තමා ප්‍රීතිමත් වූ ක්‍රියාවන්වලින් සොම්නස ලබා ගැනීමට නොහැකි වීම, සමාජ ආශ්රයෙන්, යහළුවන්ගෙන් ඈත් වීම, ශක්තිය අඩුවීම, ක්‍රියාවන්ගෙන් වේගය අඩුවීම
දිගුකල් පවත්නා, ප්‍රතිකාරයන්ගෙන් සුව නොවන කායික රෝග වේ. සිය රෝගීන් මෙම රෝග ලක්ෂණ සියල්ලන්ගෙන්ම පෙළීමට ලක් නොවේ. රෝග ලක්ෂණයන්ගේ තීව්‍රතාවය පුද්ගලයා මත රඳා පවතියි. එනමුත් සියදිවි හානි කර ගැනීමට සිතීම හෝ තැත් කිරීම හැර අනෙක් රෝග ලක්ෂණය අඩුම වශයෙන් සති 2ක් පැවතීම විෂාදය රෝග නිර්ණය කිරීම අවශ්‍ය වේ. ඉතින් විෂාදය තත්ත්වය උග්‍ර අතට හැරුණු විටද මේ අකාරයේ සියදිවි නසා ගැනීම්වලට ලක් විය හැකිය.
උන්මාදය හෙවත් මේනියාව
සාමාන්‍යයෙන් එඩිතර ගතිය යනු මානසික රෝගයක් නොවේ. නමුත් උන්මාද රෝගියා හිටි හැටියේද තමන්ගේ දෛනික ක්රියාකාරිත්වයන් වැඩි පුර එඩියකින් යුතුව කරන්නට පටන් ගැනීමක් පෙනෙන්නට ඇතිනම් ඒ සම්බන්ධ අවධානයක් දැක්වීම වැදගත්ය. එවැන්නෝ මට ඕනෑම දෙයක් කළ හැකියි, මට බැරිනම් මේක කරන්න පුළුවන් කෙනෙක් නැතැයි කියා ක්ෂණිකව අනතුරුදායක දෙයට යොමුවීමට ඉඩ ඇත. බොහෝ විට අන් අයගේ අදහස් නොරුස්සන සහ පිළිනොගන්නා මේ අය ඇහුම්කන් දෙන්නටද අකමැතිය. ඔවුන් ජැන්ඩියට අඳින්නට පලඳින්නට වෙනදාට වඩා උත්සහයක් ගන්නා අතර තමන්ගේ බාහිර ස්වරූපය වඩාත් ඉහළ තලයකට ගෙන එන්නට වෙහෙසෙයි. රාත්‍රියේ නින්දට ගියත් නිදිවර්ජිතව ගතකරන මොවුන් නින්ද නොයෑමෙන් පෙළෙයි. විශේෂම දේ වන්නේ මොවුන් ත්‍රාසජනක ක්‍රියාවලට යොමු වීමට වැඩි කැමත්තක් දැක්වීමයි. උස් ස්ථනයකට ගියොත් පැන බැලීමේ ක්ෂණික ආසාවක් ඇතිවීම, ගඟකට මුහුදකට හෙළකට පැන බැලීමට එඩිතර සිතක් ඇතිවීම මොවුන්ගේ එක් ලක්ෂණයකි. ඒ ඇතිවන හැඟීම් ක්‍රියාවට නැංවීමට යාමේදී අනතුරුවලට මුහුණ පෑමට සිදු වේ.
ත්‍රාසජනක පරිගණක ක්‍රීඩාවලට යොමු වීම
අද දරුවන්ගේ විනෝදය සඳහා විවිධ පරිගණක ක්‍රීඩා නිර්මාණය වී තිබෙනවා. මේ අතර ඇතැම් පරිගණක ක්‍රීඩා නිමා වෙන්නේ දිවිනසා ගැනීම්වලිනි. කුඩා අභියෝගවලින් පටන් ගන්නා මේ ගේම්වල බොහෝ විට අවසාන පියවර වන්නේ දිවි නසා ගැනීමය. බොහෝ දෙනෙක් මේ තරගයේ අවසානය දක්වා එන විට තමා මේ ලොවට අනවශ්‍ය පුද්ගලයකු ලෙස තමාට හැඟෙන පරිදි තමාව දුර්වලයකු කරනවා. බොහෝ වෙලාවට මේ ගේම් නිර්මාණය කර තිබෙන්නේද මානසික රෝගවලින් පෙලෙන්නන් ය.
ලොව විවිධ ස්ථානවලින් එලෙස ගේම්වලට සම්බන්ධව දිවි නසා ගැනීම් අතර උස් ස්ථානවලින් පහළට පැනීම් සහ සමූහ වශයෙන් දිවි නසා ගැනීම් කිහිපයක්ම වාර්තා වී තිබුණද ලංකාවේ සිදු වූ සිද්ධීන් සහ එවැනි අන්තර්ජාල ගේම් අතර සම්බන්ධයක් ඇත්දැයි තහවුරු කළ හැක්කේ විධිමත් පරීක්ෂණයක් මගින් පමණි.
මේ සියදිවි නසා ගැනීමට මින් කුමක් හෝ හේතු වන්නට පුළුවන්. මනාසික රෝගයකට නම් ප්‍රතිකාර මඟින් සුවකර ගත හැකිය. නමුත් ඇබ්බැහියක් වළක්වා ගැනීම පහසු නොවේ. වැදගත්ම දේ වන්නේ එවන් දෙයක් නොවීමට වග බලා ගැනීමට මවුපියන්ට යුතුකමක් තිබීමය.
මව හෝ පියා ඇතැම් විට මොවුන් දෙදෙනාම උදෑසන රැකියා සඳහා පිටත්ව යයි. නිවෙසේ හුදෙකලා වන දරුවා ගැන හෝ එවැනි දරුවන් ගැන සෙවිල්ල අතපසුවීම් ද සිදු වෙයි. එවිට ඇතිවන ඛේදනීය තත්ත්වයන් ද මවුපියන්ගේ පැත්තෙනුත් මොහොතක් සිතිය යුතුය. නව යොවුන් වියට පා තබන තම දරුවාට වැඩි අවධානයක් දෙන්න. දරුවත් මවත් අතර ඉතා කිට්ටු මිත්‍රත්වයක් ගොඩ නඟා ගැනීමෙන් දරුවා තුළ පවතින සිතුම් පැතුම් පහසුවෙන් හඳුනා ගත හැකිය.
උපදෙස් -
අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ
විශේෂඥ මනෝ වෛද්‍ය
පුෂ්පා රණසිංහ