අලුත් ඉරක් පායයිදෝ...

නොවැම්බර් 18, 2024

 

 එච්. එම්.පියුමි මදුෂානි

කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලයෙන් සිප් සතර හදරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් භූගෝල විද්‍යාව විශේෂ උපාධිය ලැබූ පියුමි මධුභාෂිනි දැනට භූගෝල විද්‍යා තොරතුරු පද්ධති හා දුරස්ථ සන්නිවේදනය පිළිබඳ විද්‍යාපති උපාධිය හදාරමින් සිටියි. මේ වනවිට රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරන ඇය කුඩා කාලයේ සිටම ලේඛන කලාවට ඉමහත් ඇල්මක් දක්වන්නීය. අද ශේෂ පත්‍ර හැඩ වන්නේ පියුමිගේ කෙටි කතාවකිනි.

 

සුන්දර කඳු පාමුලක සිහිල් දිය දහරාවකින් පෝෂණය වන කැළණි නදිය අසබඩ පිහිටි ගම්මානයක සෞභාග්‍යා තම මිත්තණිය සමඟ ජීවත් වූවාය. ඇගේ මව සහ පියා රිය අනතුරකට මුහුණපා මෙලොව හැරගොස් තිබුණා. ඒ ඇයට වයස අවුරුද්දක් පමණ වන විට බව ඔවුන් පිළිබඳ විමසන සෑම මොහොතකම මිත්තණිය පැවසුවාය. එදින සිට සෞභාග්‍යාව පෝෂණය කර අාදරයෙන් රැක බලා ගත්තේ ඇයගේ මිත්තණිය වන සෝමාවතීය. ඔවුනට වෙනත් කිසිදු ඥාතියකු සිටින බව මිත්තණිය විසින් කිසිදු දිනෙක පවසා නොමැත. ගම්මානයේ තිබෙන නිවෙස්වල කුලී වැඩ කොට මිත්තණිය ලබාගන්නා මුදල පිරිමහගනිමින් ඔවුන් තම දිවිය රැගෙන ගියහ.

 

පාසලේ දීප්තිමත්ම ශිෂ්‍යාව වූ සෞභාග්‍යා පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ද වූවාය. අැය මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විද්‍යා අංශයෙන් මුහුණ දීමේ අභියෝගය සමඟ පොරබදමින් සිටියාය. අනෙක් සිසුන් සියලුදෙනාම උසස් පෙළ විභාගය සඳහා අමතර පන්ති ගියද සෞභාග්‍යාට ඒ සඳහා වියදම් කිරීමට වත්කමක් නොතිබුණේ අැය තම මිත්තණිය ලබාදෙන මුදල් අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය දෙමින් අරපිරිමැස්මෙන් භාවිත කළ හෙයිනි.

 

කුඩා කාලයේ පටන් සියලු බාධක හමුවේ වුවද තම අධ්‍යාපන කටයුතු නොපිරිහෙළා ඉටුකරමින් තම මිත්තණියට කීකරු දියණියක වෙමින් කෙසේ හෝ විශ්වවිද්‍යාල සිහිනය සැබෑවක් කර ගන්නට සෞභාග්‍යා තම දිවියම කැප කරමින් සිටියාය. ඇයගේ මිත්තණිය සහ ඇය ඉගෙනුම ලැබූ පාසලේ විද්‍යා අංශයේ සියලුම ගුරුවරුන් සෞභාග්‍යා පිළිබඳ දැඩි විශ්වාසයකින් බලාපොරොත්තු තබමින් සිටින්නේ ඇය කෙසේ හෝ වෛද්‍ය අංශයෙන් ඉහළ ප්‍රතිඵල ලබනු දැකීමටය.

 

දැනට මාසයක පමණ කාලයක සිට සෞභාග්‍යාෙග් පාසල පටන් ගන්නා හා අවසන් වන මොහොතේ රතු පැහැති කාර් රථයකින් පැමිණෙන නන්නාඳුන මිනිසකු තමා ලුහුබඳින බව සෞභාග්‍යා දැන සිටියේ නැත. නමුත් එම මිනිසා මේ වනවිට සෞභාග්‍යා පිළිබඳ සියලු තතු දැන සිටියේ ගමේ මිනිසුන්ගෙන් අසා දැන ගැනීමෙනි. එහෙත් ඇයගේ මිත්තණියට මේ වගක් දැන ගැනීමට කිසිදු අවස්ථාවක් උදා නොවූයේ කිසිවෙකු ඒ පිළිබඳ අැයව දැනුම්වත් නොකළ හෙයිනි. එදින ද සෞභාග්‍යා පාසලට පැමිණෙන තෙක් එම නන්නාඳුන මිනිසා තම කාරය නවතා බලා සිටියේය. ඇය පාසල් ගේට්ටුවෙන් ඇතුළු වී නොපෙනී යනතෙක්ම ඔහු බලා සිටියේය.

 

මේ පිළිබඳ කිසිදු දැනුම්වත් වීමක් නොමැති ඇය තම පන්තිය කරා ඉක්මනින් පියමැන්නේ එදින විද්‍යා අංශය පිහිටි පාසල් භූමිය අතුගා පිිරිසුදු කර බුදු පහන තැබීම සඳහා වෙන් වී තිබුණේ 13 වසර A පන්තියට බැවිනි. යහළුවන් සමඟ පාසල් භූමිය පිරිසුදු කළ ඇය මිත්තණිය විසින් උදෑසනම නෙළා දුන් ඉද්ද මල් වට්ටියට පැන් ඉස තම මිතුරියන් සමඟ එක්ව බුදුන් වැඳීම සඳහා සුදානම් කළාය. එදින පාසලේ උදෑසන රැස්විමේ කතාව ඉදිරිපත් කිරීමට තිබුණේ ද සෞභාග්‍යාටය. ඇය නායකත්වය පිළිබඳ ඉතා වටිනා කතාවක් ඉදිරිපත් කළේ ඇය සතු නායකත්ව කුසලතාව මොනවට කියා පාමිනි. විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වූ බැවින් අැය තම අත්දැකීම් ද මුසු කරමින් කළ එම හරවත් කතාව විදුහල්පතිවරයාගේ සිට සියලු ගුරුවරුන් විසින් අගය කරන ලදී.

සෞභාග්‍යාෙග් මිත්තණිය දිනපතා වෙහෙස මහන්සි වී කටයුතු කරන බැවින් ඇය දැඩි ලෙස කෘශ වෙමින් සිටියාය. නිතර නිතර අලුත් වන සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ද ඇයට වැළඳී තිබුණු අතර කිසිදු විටෙක ඒ සඳහා ඖෂධ ලබා ගැනීමට සෝමාවතී උනන්දු වූයේ නැත. සෞභාග්‍යා වෙනුවෙන්ම කැපවී ජීවත්වන බැවින් ඇය අත හදිසි අවස්ථාවක දී වියදම් කිරීමට පවා මුදල් තිබුණේ නැත. සෞභාග්‍යාට ඇය දකින හැම මොහොතකම ඇසට කඳුළක් ඉනුවේ මිත්තණිය මෙතරම් වෙහෙස මහන්සි වන්නේ, තමන්ගේ අනාගතය සුබ වනු දැකීමට මිස අැයට යමක් ලබාගැනීමට නොවන හෙයිනි. එබැවින් නුදුරු දිනෙක තමන්ගේ අනාගත බලාපොරොත්තුව වන වෛද්‍යවරියක වීමේ සිහිනය කෙසේ හෝ සැබෑ කරගෙන තම මිත්තණියට සැපවත් ජීවිතයක් ලබා දීමට ඇය සිහින දකිමින් සිටියාය.

 

දිනෙන් දින ගත වෙමින් අ.පො.ස උසස් පෙළ විභාගයට දින නියමිත වූ අතර සෞභාග්‍යා, තමාගේ ද මිත්තණියගේ ද පාසලේ ගුරුවරුන්ගේ ද බලාපොරොත්තුව ඉෂ්ට කර ගැනීම සඳහා උපරීම ලෙස කැපවෙමින් සිටියාය. සෞභාග්‍යාට අමතර පන්ති යාමට මුදල් නොතිබූ හෙයින් අැය නිදිවරමින් පාසලේ එදිනෙදා උගන්වනු ලබන පාඩම් නැවත නැවත මෙනෙහි කරමින් ද එම පාඩම් නැවත බලා ගැනීම සඳහා මතකයේ රැඳෙන අයුරින් කෙටි සටහන් සකමින් ද තම පාඩම් වැඩ කටයුතු දක්ෂ ලෙස සිදු කළාය. ඒ සෑම මොහොතකම ඇයට සවියක් වෙමින් සෝමාවතී ද ඇය අසළම සිටියාය. සෞභාග්‍යා පසුපස රතු පැහැති කාරයෙන් පැමිණෙනු ලබන නාඳුනන පුද්ගලයාගේ පැමිණීමද නිරන්තරයෙන් සිදුවිණි. ඔහුට ඇය සමඟ කතා කිරීමට කෙතරම් අවශ්‍ය වුවද එම හැඟීම පාලනය කර ගැනීමට සිදුවුයේ එළඹෙන සතිය තුළ සෞභාග්‍යා අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දෙන බව දන්නා හෙයිනි. විභාගයට මුහුණ දුන් පසු ඇය සමඟ කතා කර තම සිතැඟි පැවසීම ඉතා සුදුසු බව ඔහු සිතුවේ අැයට තමාගේ හමුවීම බොහෝ දුරට දරාගැනීමට හැකි නොවනු ඇතැයි සිහිපත් වීමෙනි.

 

හිරු කිරණ දසත විහිදී තිබුණු අතර කුරුලු ගී හඬ මැදින් සුන්දර දිනයක අසිරිය පාමින් අ.පො.ස උසස් පෙළ විභාගය පටන් ගන්නා දිනය උදාවිය. පාන්දරින්ම අවදි වූ සෞභාග්‍යා පොල්කටු අඟුරු දැමු ස්ත්‍රික්කයෙන් තම සුදු ගවුම මනා ලෙස මැද පසෙකින් තබා මුුහුණ සේදීමට වත්ත පහළ ළිඳ අසළට ගියාය. මිත්තණිය ද උදෑසනම අවදි වී කිරිබත් පිස ඒ සමඟ කෑමට ඉතා රසවත් ලුණු මිරිසක් සෑදුවාය. ඈ කැමැති බැවින් කෙසෙල් කොළයකට කිරිබත් කැබලි දෙකක් සමඟ ලුණු මිරිස් බෙදා මේසය උඩින් තබා සෞභාග්‍යාට කෑමට කතා කළාය. මිත්තණිය විසින් අැයට මුල්ම කිරිබත් කට කවා සුබ පතමින් හිසට හාදුවක් දුන් අතර සෞභාග්‍යා ඇයට දණ ගසා වැන්දාය. ගෙදර බුදු පහන දල්වා බුදුන්ගේ ආශීර්වාදය ලබාගත් ඕ නිවෙසින් පිටත් වූවාය.

 

පාසල වෙත ළඟා වෙමින් සිටි සෞභාග්‍යාට තමන් පසුපසින් කාරයක් පැමිණෙන බව දැනුණු නමුත් ඇය ඒ පිළිබඳ එතරම් නොතැකුවේ මින් පෙර අැය පසුපස එලෙස වාහනයක් පැමිණ ඇති බැව් මතකයේ නොමැති හෙයිනි. සිතට බියක් දැනුණු හෙයින් තම පය ඉක්මන් කළ සෞභාග්‍යා පාසල් ගේට්ටුවෙන් ඇතුළු වී විභාග ශාලාව කරා පැමිණියාය. සියලු බාධාවන් සිතින් ඉවත් කළ ඇය අ.පො. ස උසස් පෙළ විභාගයේ පළමු දිනයට සාර්ථකව මුහුණ දුන්නාය. මේ අයුරින් දිනෙන් දින ගත වී ගොස් විභාගයේ අවසන් දිනයටත් ඉතා සාර්ථක ලෙස මුහුණ දුන් සෞභාග්‍යා තම මිතුරු මිතුරියන්ට සමු දුන්නේ විභාගයෙහි ප්‍රතිඵල පැමිණි පසු නැවත හමුවන අටියෙනි.

විභාග ප්‍රතිඵල පැමිණෙන තෙක් තම මිත්තණිය පමණක් නිවෙසෙහි සියලු බර උසුලනවාට සෞභාග්‍යා කැමති වුයේ නැත. එබැවින් ඇය හන්දියේ තිබෙන සිල්ලර බඩු කඩයෙහි ගණන් බැලීම සඳහා මුදලාලි මහතාගෙන් අවසර ගත්තාය. ඇය අවංක හා දක්ෂ දරුවෙකු බව දන්නා මුදලාලි මහතා විසින් තම කඩයෙහි ගණන් බැලීමේ කාර්යය සඳහා ඇයට අවසර දුන්නේ ඉන් තමන්ට ද පිනක් සිදුවන බැව් සිතමිනි. මාසය අවසන් වන විට අතට යම්කිසි මුදලක් ලැබෙන නිසා ඉන් ඉංග්‍රීසි පාඨමාලාවක් හැදෑරීමට ඇය සිතා ගත්තාය. ගමේ විදාතා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන පරිගණක වැඩසටහන ඇයට නොමිලයේ හැදෑරීමට අවස්ථාව හිමිවිය. මුදලාලි මහතා විසින් සෑම මසකම අවසන් දිනයෙහි වියළි අාහාර ද්‍රව්‍ය හා එළවළු දැමු බඩු මල්ලක් සෞභාග්‍යාට ලබා දුන්නේ ඇය විසින් සිදු කරන අවංක සේවයට වටිනාකමක් දෙනු පිණිසය. සෑම මසකම ඇයට උදව් පිණිස එසේ සිදු කිරීමට ද ඔහු සිතා ගත්තේය.

 

මේ අතර කාරයෙන් පැමිණෙන නන්නාඳුන මිනිසා ඇය කරන සියලු දේ පිළිබඳ අවධානයෙන් සිටින බව ඇය දැන සිටියේ නැත. මෙතරම් කලක් සෞභාග්‍යා පසුපස හඹා ආ ඔහු අැයගේ විභාග ප්‍රතිඵල පැමිණෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටියේය. දැනුදු ඇය යන සියලු ස්ථාන පාහේ එම නන්නාඳුන මිනිසා ගමන් කළේ ඇයව ආරක්ෂා කිරීමට මෙනි. මේ සියල්ල සිදුවන අතරතුර සෞභාග්‍යාෙග් මිත්තණිය දැඩි ලෙස රෝගාතුර වී රෝහල්ගත කළාය. අැය අසලම නැවතී ඇයට උපස්ථාන කරමින් සෞභාග්‍යා තම මිත්තණිය දැඩි සෙනෙහසින් රැක බලා ගත්තාය. නන්නාඳුන මිනිසා ද රෝහල් පරිශ්‍රය තුළ දිනපතා ගැවසුණේ මේ අවස්ථාවේ කිසිදු ලෙසකින්වත් සෞභාග්‍යා තනි කිරීමට සිත් නොදුන් හෙයිනි.

 

රාත්‍රී අහස ගිගුරුම් දෙමින් මහ වැසි ඇදහැලෙමින් පැවති අතර එදින සෞභාග්‍යාට නොඉවසිලිමත් දිනයක් වූයේ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මධ්‍යම රාත්‍රිෙය් නිකුත් කරන බව අසන්නට ලැබුණු හෙයිනි. ඇගේ මිත්තණිය ඇද හැලෙන වර්ෂාව සමඟ දැඩිව අසනීප වී ශ්වසන අපහසුතාවයකින් පෙළෙන්නට විය. සෞභාග්‍යා තම මිත්තණිය අසළින්ම සිටිමින් අැගේ හිස අතගාමින් ඇයව සනසන්නට වූයේ දැඩි ‍ෙශා්කයෙනි. ඇය සිතින් බුදුන් වඳිමින් තම මිත්තණියට දීර්ඝායුෂ පැතුවාය.

 

පසුදිනට හිරු උදාවුණද හිරුකිරණ පොළෝතලයට නොවැටුණේ දැඩි වර්ෂාව හේතුවෙනි. අවාසනාවන්ත ඒ හිමිදිරියේ සෞභාග්‍යාෙග් මිත්තණිය මෙලොව හැර ගොසින් තිබිණි. සෞභාග්‍යාට තම ජීවිතය කඩා වැටුණා සේ දැනිණ. ඇයට අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පැමිණෙන බව ද අමතකව ගියාය. ඒ හිමිදිරියේම නන්නාඳුන ලෙස පසුපස නිරතුරුව රැඳෙමින් සිටි මිනිසා වූ ජීවතුන් අතර සිටි සෞභාග්‍යාෙග් පියා ඇයව හමුවීමට පැමිණියේ ඇය ඉතා දක්ෂ ලෙස අ.පො.ස උසස් පෙළ විභාගය සමත්ව ජීව විද්‍යා අංශයෙන් දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ලබා ඇති බව දැනුම් දීමටයි.