ඔයත් කාටවත් නවන්න බැරි කෙල්ලෙක්ද?

නොවැම්බර් 25, 2024

කෙල්ල සහ ආඩම්බරකම අතර තියෙන්නේ තරමක සමීප සම්බන්ධයක්. දැන් ඔය ආඩම්බරකම ගැන විවිධ මතයන් තියෙනවනේ. හැබැයි ගොඩක් වෙලාවට ආඩම්බරකම කියන එක හොඳ දෙයක් විදියට කෙනෙක් දකින්නෙ නෑ. සාමාන්‍යයෙන් අනික් මිනිස්සු දිහා නහයට පල්ලෙහැයින් බලන, ඔළුව උදුම්මවාගෙන ඉන්න කෙනෙක් ගැන මිනිස්සුන්ට ඇතිවෙන්නේ ප්‍රසන්න හැඟීමක් නෙවෙයි. හැබැයි, ඒ වගේම අමතක කරන්න බැහැ ඉස්සර ඉඳන්ම ගෑනු ළමයි ආඩම්බරේට ඉන්න ඕන කියලත් මතයක් තියෙන වග.

මේ ආඩම්බරකමත් එක්තරා විදිහකට අභිමානයක් කියලත් කියන්න පුළුවන්. ඒක ඇත්තටම බැඳිලා තියෙන්නේ ආත්ම විශ්වාසයත් එක්ක.

ඇත්තටම එහෙම අභිමානයෙන් ඉන්න මනුස්සයෙක් දිහා ඕනෙම මනුස්සයෙක් ගෞරවයෙන් බලනවා. එහෙම බලද්දී කවුද අකැමැති ආඩම්බරකාර කෙල්ලක් වෙන්න. ඒ කියන්නේ මිනිස්සු ආඩම්බරයි කියලා බැන්නත්, රහසින් හරි අගය කරන විදියේ ආඩම්බරකාරියක් වෙන්න. ඇත්තටම එහෙම ආඩම්බරකමකින් ඉන්න ගමන්, අවශ්‍ය තැනදී සුහද වෙන්නත් පුළුවන් නම්, අන්න ඒකේ ලොකු වටිනාකමක් තියෙනවා. ඉතින් අපි කතා කරන්න හිතුවේ, ආන්න ඒ විදියේ හොඳ පැත්තට ගන්න පුළුවන් අභිමානවත්, ආඩම්බරකාර ආකල්පයක් ඇති කරගන්නේ කොහොමද කියන එක ගැන.

 

 තමන්ගේ දියුණුව අවශ්‍යයි

 

 ආඩම්බරකාරියක් වෙන්න නම් ආඩම්බර වෙන්න දෙයක් තියෙන්න ඕන. ඒ ආඩම්බර වෙන්න තියෙන දේවල්වලට හොඳ ගතිගුණ අයිති වෙනවා. හැබැයි ඔය ගතිගුණ වගේම තවත් දේවල් අවශ්‍යයි, බාහිර දේවල් පවා. උදාහරණයක් විදිහට තමන්ගේ ශාරීරික යෝග්‍යතාව, පෙනුම හොඳින් පවත්වගන්නඑක ගන්න පුළුවන්, හොඳින් අඳින පලඳින එක ගන්න පුළුවන්, හොඳ වෘත්තීය සාර්ථකත්වයක් තිබීමත් ගන්න පුළුවන්, හොඳ ජීවන අත්දැකීම් තිබීම ගන්න පුළුවන්. ඒ වගේම තමන් මුහුකුරාගිය, වගකීම්සහගත තරුණියක් වීම ගන්න පුළුවන්. කොටින්ම කියනවා නම්, මේ හැම දෙයක් ගැනම හොඳ අභිමානයක් තිබීම ගන්න පුළුවන්. අපි කියන්නේ අන්න ඒ පුද්ගල දියුණුව ළඟා කරගන්න කියලා. ඔය අතරට විශේෂ දක්ෂතාවන්, කුසලතාවන් එහෙමත් තියෙනවා නම් තවත් අනර්ඝයි. අන්න එතකොට අපිට බය නැතුව කියන්න පුළුවන් හේතුවක් ඇතිව ආඩම්බර වෙන්න පුළුවන් කෙල්ලෙක් කියලා.

  

තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයක් අවශ්‍යයි

ඇත්තටම අපි ආඩම්බර මනුස්සයෙක් කියලා කියන්නේ කාට ද? සමහර වෙලාවට අපි ආඩම්බරයි කියලා කියනවා අනික් මිනිස්සු දිහා නාහෙට පල්ලැහින් බලන, ඔළුවෙන්, කිසිම කෙනෙක්ව ගණන් ගන්නෙ නැතුව ඉන්න තාලේ අමුතුම උඩඟු, උද්දච්ච ඇටිටියුඩ් එකක් තියෙන මිනිස්සුන්ට. ඇත්තටම අපි මේ කතා කරන්නේ ඒ වගේ මිනිස්සු ගැන නෙවෙයි. අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් ඕනෑම තැනකදී හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව ඉන්න, උද්දච්ච, උඩඟු ගතිලක්ෂණ නැති, ඒත් තව කෙනෙක් ගාවට ගිහිල්ලා තමන් කතා කරන්න අවශ්‍ය නැති, අනික් හැමෝම තමන් ගාවට එන වර්ගයේ කෙනෙක් ගැන. ආන්න එහෙම කෙනෙක් ඕනෑම සමාජයක ජනප්‍රියයි. ඒකට ප්‍රධානතම කාරණය වෙන්නේ, අර උඩින් කියපු විදියේ දියුණුවක්, හැකියාවන් තියෙන, විශිෂ්ටයි කියලා සලකන්න පුළුවන් විදියේ කෙනෙක් වීම. ඒ වගේම ඒ නිසාම ඉතාම හොඳ ආත්ම විශ්වාසයකින් ඉන්න කෙනෙක් වීම. අන්න එහෙම මනුස්සයෙක්ට ආඩම්බර වෙන්න බැරි නම්, වෙන කාට ද ආඩම්බර වෙන්න පුළුවන්?

 

නවන්න බැරි කෙනෙක් වෙන්න

දැන් කාලේ ඉන්න ගොඩක් මිනිස්සුන්ව බොහොම ලේසියෙන් නවන්න පුළුවන්. ඇත්තටම අවශ්‍ය වෙන්නේ යම්කිසි මනුස්සයෙක්ව නවන්න අවශ්‍ය දේ මොකද්ද කියලා හොයාගන්න එක විතරයි. උදාහරණයක් විදියට කියනවා නම්, සමහරුන්ව සල්ලිවලින් නවන්න පුළුවන්, තව සමහරුන්ව බලය පාවිච්චි කරලා නවන්න පුළුවන්. තව සමහරුන්ව සෙක්ස් පාවිච්චි කරලා නවන්න පුළුවන්, තවත් සමහරුන්ව බය කරලා නවන්නත් පුළුවන්. හැබැයි හිතන්න මේ එක දේකින්වත් නවාගන්න බැරි කෙනෙක් ගැන. ඒ කියන්නේ සල්ලි ඕන නැති, සෙක්ස් ඕන නැති, බලය ඕන නැති මනුස්සයෙක් කියන එක නෙවෙයි. ඒ දේවල් අවශ්‍ය වුණත්, කෙනෙක්ට ඒවා පාවිච්චි කරලා තමන්ට ඕන ඕන දේවල්වලට පාවිච්චි කරන්න බැරි මනුස්සයෙක් ගැන අපි මේ කියන්නේ. එහෙම කෙනෙක් තමන් ගැන කොයි විදියට ආඩම්බර වෙන්න පුළුවන් ද කියලා හිතලා බලන්න. ඒකයි අපි කියන්නේ, රියල් ආඩම්බරකාරියක් වෙන්න ඕන නම්, කාටවත් කිසිම දේකින් නවන්න බැරි කෙළින් කෙල්ලෙක් වීම අවශ්‍යයි කියලා.

 

වචන දෙකක් නැති කෙල්ලෙක්

මෙන්න මේක ආඩම්බරකාරියක් වීමට ඉතාම වැදගත්. ඒ තමයි, බොහොම සෘජු, කෙළින් වචන තියෙන, වචන දෙකක් නැති කෙනෙක් වීම. හැබැයි මතක තියාගන්න, ගොඩක් මිනිස්සු කෙළින් කතා කියලා අදහස් කරන්නේ රූඩ් වෙන එක, තව මනුස්සයෙක්ට කර්කශ විදියට, දරදඬු විදියට සලකන එක. අපි කියන්නේ ඒක නෙවෙයි. අපි කෙනෙක්ට පොරොන්දුවක් දුන්නොත්, ඒක අනිවාර්යයෙන්ම ඉෂ්ට කිරීම, වචනයක් දුන්නොත්, ඒ වචනය අනිවාර්යයෙන්ම රැකීම. ඒ වගේම විශ්වාස කටයුතු මනුස්සයෙක් වීමත් මෙතැනට අවශ්‍යයි. ආයෙ කවුරුහරි රහසක් කිව්වත් ඒක වටේ කියන්නෙ නැතුව රැකගන්න, ගෞරවනීය මනුස්සයෙක් වෙන එක තමයි මෙතැනදී කියන්නේ. මෙන්න මේ වගේ මනුස්සයෙක් වෙන එක ඇත්තටම ආඩම්බර වෙන්න කරුණක්. ඒ වගේම, එහෙම මනුස්සයෙක් රවුම් ගස්සන්න කිසිම කෙනෙක් සූදානම් වෙන්නෙ නෑ.

 

 තමන් ගැන අභිමානයක්

 

 අන්තිමට මේ ඔක්කොම එකතු වුණහම මොනවද වෙන්නේ කියලා පැහැදිලියිනේ. තමන් ගැන හොඳ හැඟීමක්, අභිමානයක් තමයි ඇතිවෙන්නේ. හැබැයි මේ අභිමානය කියන්නේ තමන් එක්ක, තමන්ගේ සාර්ථකත්වයන් එක්ක අනුන්ව සංසන්දනය කරන එකවත්, අනුන්ව පහළට දාන එකවත් නෙවෙයි. ඇත්තටම එතැනදී වෙන්න ඕන තමන් ගැන තියෙන අභිමානයත් එක්ක, තමන් තවත් නිහතමානී වෙන එකයි. මෙහෙම අභිමානවත් මනුස්සයෙක් කවදාවත් කාටවත් කොන්ද නමන්නේ නෑ. කාටවත් පාච්චල් වෙන්නෙ නෑ. මොකද එහෙම මනුස්සයෙක් තමන්ගේ වටිනාකම දන්නවා. මෙහෙම මනුස්සයෙක්ට ඉතාම විශිෂ්ට ආත්ම අභිමානයක් තියෙනවා. මැරෙන්න කලින්වත් එහෙම අභිමානවත් මනුස්සයෙක් වෙන්න පුළුවන් නම්, ඒක තමයි ජීවිතේ වටිනම දෙයක් වෙන්නේ.