වර්ෂ 2024 ක්වූ December 02 වැනිදා Monday
ලෝකයම සුවඳ කළ අපේ කෝපි සම්මානය
නත්තල් සීතලත් එක්ක ඇඟ උණුසුම් වෙන්න රසම රස කෝපි කෝප්පයක් තිබ්බනම්.... මේ වෙලාවේ හැමෝටම එහෙම හිතෙන්න පුළුවන්. මොකද කෝපි කියන්නේ පානයක් විතරක්ම නෙවෙයි, හරියට හැඟීම් ගොඩක එකතුවක් වගෙයි.
පුංචි සතුටකට, දුකකට, ආදරේට එතකොට විවේකයකට මේ හැමදේකදීම පුංචි කෝපි කෝප්පයක් අතේ රැඳෙන්නේ ඒ නිසයි. ඒ විදිහට බලද්දී කෝපි ගැන කතා කරන්න නම් කොච්චර දේවල් තියෙනව ද? හැබැයි අද කතා කරන්න යන්නේ කෝපි ගැන නම් නෙවෙයි. රසම රස කෝපි හදන කෝපි කෙල්ලෙක් ගැනයි කියන්න යන්නේ. ඇය ඩෙනිලා සිවෙන්ද්‍ර කුමාර්. ඇය මේ විදිහට කෝපි හදන්නේ කටාර්වල. ඩෙනිලා බැරිස්ටර් කෙනෙක්. විශේෂම දේ වෙන්නේ පසුගියදා රටවල් ගණනාවක් අතර පැවැති Baristar of the year තරගයෙන් ඇය ප්‍රථම ස්ථානය දිනා ගැනීමයි. මේ ජයග්‍රහණය ගැන ඇයට කියන්න බොහෝ දේ ඇති. ඇය ඒ කතාව පටන් ගත්තේ මේ විදිහට.
"Baristar of the year" කියන්නේ වසරක් පාසා රටවල් ගණනාවක් අතර පැවැත්වෙන තරගයක්. කැපචිනෝ, කොෆී වර්ග සහ ලතේ ආර්ට් වර්ග දාන්න තමයි ඒකෙදි කරන්න තියෙන්නේ. මට මුලින් ඒ තරගයට ඉදිරිපත් වෙන්න ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. මම වැඩ කරපු තැන කළමනාකරුගෙ බලකිරීමට තමයි ඒ තරගයට සහභාගි වුණේ. කටාර්වල අපේ ශාඛා තියෙනවා 10ක්. ඒ ඔක්කොගෙන්ම මට පළමු තැනට එන්න අවස්ථාව ලැබුණා. ඒකෙන් country final තරගයට සහභාගි වෙන්න ලැබුණා. කටාර්වල කම්පැනි දෙකකින් ඒකට සම්බන්ධ වෙනවා. ඒකෙනුත් මම ජයග්‍රහණය කළා. ඊට පස්සේ ඩුබායිවල පැවැත් වූ තරගයට සම්බන්ධ වෙන්න ලැබුණා. එහිදී රටවල් 11ක් සමඟ මම තරග කළා. ඒකෙනුත් මම ජයග්‍රහණය කළා. ඒකෙන් මට ලන්ඩන් පැවැති තරගයට සහභාගි වෙන්න ලැබුණා. Grand final තරගය තමයි එහිදී පැවැත්වුණේ. රටවල් ගණනාවකින් ඇවිත් හිටියා. ඒකෙනුත් ප්‍රථම ස්ථානය ලැබුණා. මම මැදපෙරදිග රටවල් නියෝජනය කරලා තමයි මේ තරගයට සහභාගි වුණේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරන්න අවස්ථාව අහිමි වුණේ කොහොම ද?
ලංකාවේ කොස්තා කොෆී කියන වර්ගය නැති නිසා මට ලංකාව නියෝජනය කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. මොකද ඒ තරගය කොස්තා කොෆී කියන කැටගරිය යටතේ තිබුණේ. ඉතින් මට මැදපෙරදිග රටවල් නියෝජනය කරමින් තමයි ඒකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණේ. මේ තරගයට සහභාගි වෙද්දි මම කටාර්වල බැරිස්ටර් කෙනෙක් විදිහට වැඩ කරන්න අරගෙන මාස 6ක් වගේ ඇති. ඉතින් ඒ වගේ කෙටි කාලයකින් මම ලබපු ලොකු ජයග්‍රහණයක්. මේ තරගයෙන් දිනන්න මට ගොඩක් අය උදව් කළා. විශේෂයෙන්ම තරගයේදී හඳුනාගත් අයත් මට උදව් කළා. හැබැයි මම මේ ගමන ආවේ හිතේ ශක්තියෙන්මයි.
බැරිස්ටර් කෙනෙක් වෙන්න අවස්ථාව ලැබුණේ කොහොම ද?
මම ලංකාවේ බැරිස්ටර් කොෆී ලංකා වත්තල ශාඛාවේ බැරිස්ටර් කෙනෙක් විදිහට වැඩ කළා. ඒ ගත්ත අත්දැකීම් එක්ක මට කටාර්වල බැරිස්ටර් කෙනෙක් විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. මම ඒකේ අවුරුදු දෙකක් වැඩ කළා. කටාර්වල ජොබ් වේකන්සිවලට පුරප්පාඩු තිබුණා. මම අයදුම් කළාම මට ඒ අවස්ථාව ලැබුණා. මම කටාර්වලට ඇවිත් අවුරුද්දයි මාස 11ක් වෙනවා.
මේ වෘත්තියේදි පැවරිලා තිබෙන වැඩ කටයුතු ගැන කතා කළොත්?
බැරිස්ටර් කෙනෙක්ගෙ ජොබ් එක ගැන කතා කළොත් එයා කෝපි ගැන හැම දෙයක්ම දැනගෙන ඉන්න ඕනේ. කොපි හදන්න ඕනේ. කොෆී ලස්සනට පිළිගන්වන්න ඕනේ. එක එක්කෙනාගේ රස තේරුම් අරන් කොෆී හදන්න ඕනේ. මම මාස 6ක් විතර බැරිස්ටර් කෙනෙක් විදිහට වැඩ කරගෙන යද්දි ඉන්චාර්ජ් කෙනෙක් විදිහට උසස් වීමක් ලැබුණා. මගේ යටතේ දැන් බැරිස්ටර් කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ විදිහට මේ ගමන යද්දි ගොඩක් බාධක මට හමු වුණා.
ඉන්චාර්ජ් කෙනෙක් විදිහට වැඩ කරද්දි ගොඩක්ම තියෙන්නේ ලියකියවිලි වැඩ. ශිප්ට් එක ගැන වැඩ කරන කාලසටහන ගැන වගේ ලියකියවිලි වැඩ තියෙනවා. ඊට අමතරව මා යටතේ ඉන්න බැරිස්ටගේ වැඩ ගැන බලන්න ඕනේ. එයා හදන කොෆීවල ගුණාත්මකභාවය ගැන බලන්න ඕනේ. එතකොට මගේ දැනුම එයාට ලබා දෙනවා. ඒ වගේ වැඩකොටසක් තමයි දැන් මං කරන්නේ. මම දවසට පැය 9ක් වැඩ කරනවා. ඒ අතරතුර පැයක විවේකයක් තියෙනවා. සතියට දවසක් නිවාඩු.
කටාර්වල ජීවිතය පටන් ගැනීම අපහසු වෙන්න ඇති.
වෙන රටක තනියම ජීවත් වෙන එක හිතන තරම් ලේසි නැහැ. ඉතින් මුල් කාලේ මට මේ ජීවිතය ගොඩක් අමාරු වුණා. ලංකාවේ ඉද්දි අම්මා තමයි මගේ හැමදේටම හිටියේ. ඉතින් මෙහෙ හැමදේම තනියම කරගද්දී ඒක දුෂ්කර දෙයක් වුණා. හැබැයි අම්මා පුළුවන් හැම වෙලාවෙම මට කෝල් කරලා මගේ හිත හයිය කළා. අසරණ වුණ තැන්, බයවුණ තැන් එතකොට කැපිච්ච තැන් අසීමිතයි.
බැරිස්ටර් කෙනෙක්ට ලෝකයේ තියෙන පිළිගැනීම කොහොම ද?
ලංකාවේ බැරිස්ටර් කෙනෙක් කියන්නේ කවුද කියලවත් දන්නේ නැති කාලයක් තිබුණා. හැබැයි ලංකාවත් එක්ක වෙන රටවල් දිහා බලද්දී ලෝකයේ අනෙක් රටවල බැරිස්ටර් කෙනෙක්ට ලොකු පිළිගැනීමක් තියෙනවා. මොකද බැරිස්ටර් කෙනෙක්ගේ අතින් හදන කෝපි එක නිසා තමයි ඒ කොෆී එක රහ වෙන්නේ. කෙනෙක්ට කොෆී එකක් හදද්දි බැරිස්ටර් කෙනෙක්ගේ හිත නිතරම සන්සුන්ව තියෙන්න ඕනේ. කෝපි එකක් හදනවා කියන්නේ භාවනාවක් වගේ දෙයක්.
මේ ගමන එන්න සවිය වුණේ කවුද?
මගේ ගම රද්දොළුගම. මගේ තාත්තා නැහැ. පොඩි කාලෙදිම එයා නැති වුණා. අම්මා තමයි අපිව බලාගත්තේ. අම්මගෙ නම සුභාෂිනි. මට අයියා කෙනෙක් ඉන්නවා. එයා විවාහ වෙලා ඉන්නේ. අම්මා ගෙදර ඉඳන් ඇඳුම් මහන පුංචි ව්‍යාපාරයක් කරගෙන යනවා. මගේ එකම හයිය අම්මා. මේ තරගයට යද්දිත් මම අම්මාගෙන් තමයි ඇහුවේ. අම්මා කිව්වේ දිනන්න හරි පරදින්න හරි ඔයා ඒකට යන්න කියලා. මේ ගමන එන්න අම්මා ලොකු ආශීර්වාදයක් වුණා.