වර්ෂ 2024 ක්වූ December 02 වැනිදා Monday
දානය
කුමාරී දයානන්ද පසුගිය සතියේ ශේෂ පත්ර සඳහා ලියූ දානය කතාවේ දෙවැනි කොටසයි මේ.
මැණිකෙ තනියම හිතුවා.
"හොඳට හිටී මාත් ඔහොම හිතුවනම්. එහෙනම් ඉතින් උඹලෑ අප්පච්චිගෙ බොරු සෝබන හින්ද මෙලහකට අපි හිඟමනේට වැටිලා."
කෑම ටික පුදුම රහයිනෙ.
ඒත්, මැණිකේ ඒ ටික කිව්වෙ නෑ. උයල තියෙන්න නිර්මලා බව මැණිකෙට කැට තියල කිව්වැකි. මොකද ඇසිලින්වත්, ශෝභා දුවවත් මෙච්චර අපූරුවට වෑංජනයක් ඒදන්නෙ නෑ. මැණිකෙ ඒ දෙන්නවම පුරුදු පුහුණු කරල තියෙන්නෙ තෙල් ද කිරි ද තුනපහ ද ඔක්කෝම අඩුම කුඩුම පුළුවන් තරම් අඩුවෙන් දාලා පිරිමහල උයන්ඩයි. එහෙම ඉව්වම ඉතින් දියරහ විතරයි.
මෙව්වට උඩගෙඩි දීල බෑ. මෙහෙම නාස්ති කරලා නම් කාටද රහට උයන්ඩ බැරි. මැණිකෙ හිතුවෙ එහෙමයි.
" උම්බලකඩත් දැම්ම ද මේ වෑංජනවලට? “
" ඔව් අම්ම. දැන් ඉතින් අම්ම සිල් පවාරණය කරලා හින්ද පිළී ජාති කෑවට කමක් නෑ නේද? "
" සීලයක් ගැන නෙමෙයි මං කිව්වෙ. උම්බලකඩ නාස්ති කළේ මොකටද? මං ඔය උම්බලකඩ ඇබිත්තක් වැඩිපුර ගෙනැත් තියාගෙන ඉන්නෙ දානෙකට ඕනෙ වුණාම ගන්ඩයි. මොකද ඔව්ව ඕනෙ ඕනෙ වෙලාවට ගන්ඩ බෑනෙ, දවසින් දවස ගණන් යනවනෙ. අද තිබුණ ගාණ නෙමෙයි හෙට. අපෙ අප්පේ… මොකට නාස්ති කළා ද හාං. මේ.. මේ… මේ දෙල් වෑංජනේට පොල් කිරිත් වැඩිපුර දාල ද කොහෙද ? "
මැණිකෙ පොල්වල, උම්බලකඩවල, මාළුවල මිල ගණන් හිතෙන් එකතු කළා.
" ඇයි අම්මෙ දෙල් වෑංජනේ හීතල වෙලා ද ? මං හොඳට මඳ ගින්දරේ හින්දලයි ඉව්වෙ හීතල වෙනවට. "
" හීතල නම් වෙලා නෑ. මං අහන්නෙ එක වෑංජනේකට මෙච්චර කිරි දාලා නාස්ති කරල පුළුවන් ද හා ? පොලොස් වෑංජනේටත් පොල් කිරි කොච්චරක් කියල ද. මේහැටි කිරිදාල උයන වෑංජන දානෙකට, දොලදුකකට හදනවා මිසක නිතර උයල නාස්ති කරන්ඩ හොඳ නෑ. දැන් පොල් කොච්චර ගණන් ද ? “
නිර්මලා කරබාගත්තා. නිර්මලා ගෙදරට කැන්දන් ඇවිත් තාම අවුරුද්දයි. මීට කලින් මැණිකෙ වන්දනාවල යද්දි නිර්මලා හිටියෙ නෑ. ඒ කාලෙ ශෝභා දුව දීග ගිහින් හිටියෙ නැති හින්ද මැණිකෙට කිසි බයක් නැතුව ගේ දාල යන්ඩ පුළුවන් වුණා. මොකද ශෝභා දුවත් මැණිකෙ වගේම අරපිරිමැස්මයිනෙ. මේ පාර පුතාටයි, ලේලිටයි දෙන්නට විතරක් ගෙදර දාලා මැණිකෙ දඹදිව ගියෙ හිතකින් නෙමෙයි. ඊටත් අලුත් ලේලි ආවට පස්සෙ මැණිකෙ මේ ගෙදරින් පිට ගියාමයි.
" අම්ම පරිස්සමට ගිහින් එන්ඩ. ඇසිලිනුයි, ආරොනුයි දෙන්නත් උදව්වට නිතර යනව එනවනෙ. අපි ගැන බය වෙන්ඩ එපා. "
මැණිකෙට බය තිබුණෙ දරුවො ගැන නෙමේ. මොකද මැණිකෙ දන්නව මේ ගම් තුලානෙ කිසි කෙනෙක් නිලවීර බණ්ඩාරගෙ පවුලට අතක් තියන්නැති බව.
" නිලවීර පොඩි මහත්තය දෙයියෙක්. අපේ අම්ම තාමත් ජීවතුන් අතරෙ ඉන්නෙ මහත්තයට පින්සිද්ධ වෙන්ඩ. "
" නිලවීර පොඩි මහත්තය නොවෙන්ඩ මයෙ කොල්ල උගෙ අප්පයෙ පාරෙ ගිහින් මේ වෙද්දි ගස් ගෙඩි කඩනවා. පොඩි මහත්තය උදව් කරපු හින්ද තමයි කොල්ල විස්ස විද්යාලෙ ගියෙ."
නිලවීර මැරිල අවුරුදු හත අටක් ගත වුණත් එයාට තිබුණ ගරුත්වෙ නම් ගමේ කා අතරත් එහෙම්මමයි.
වන්දනාවෙ පිටත් වෙන්ඩ කලින් මැණිකෙ හාල් ගෝණිය දෙපාරක්ම මැන්නා. දවසට තුන්දෙනාට හාල් සේරුව ගානෙ ගණන් හැදුවම සති තුනකින් මැණිකෙ ආපහු එනකොට කොච්චරක් ඉතුරු තියෙන්ඩ ඕනි ද කියල ගුරුවරියක් වෙච්ච මැණිකෙට ගණන් හදන්ඩ අමාරුවක් නෑ.
" කුස්සියෙ තියෙන පොල් ටික සති තුනකට හොඳටම ඇති. තව ඉතින් ගස් යට වැටෙන පොලුත් තියෙනවනෙ."
ගමන පිටත් වෙන්ඩ ඔන්න මෙන්න තියල කෑලි පහේ කළුවර අල්මාරියෙ යතුරු ටික හා හා පුරා කියල නිර්මලාගෙ අතට දෙන්ඩත් මැණිකෙ අමතක කළේ නෑ. ඒ ටික නිර්මලාට දෙද්දි මැණිකෙට මතක් වුණේ නිලවීරගෙ අම්ම මේ යතුරු ටික මැණිකෙට දුන්න විදිහ. " මයෙ පුතාටවත් මං මේ ටික දීල නෑ. ඔප්පු තිරප්පු, වටින කියන ඇඳුම් කැඩුම්, පරම්පරාවෙන් ආපු ඔක්කෝම වටින කියන දේවල් ටික මේකෙ තමයි තියෙන්නෙ. පණ දීල රකින්ඩ ඕෙන. "
මැණිකෙත් නිර්මලාට ඒ ටික ඒ විදිහටම කියන්ඩ අමතක කළේ නෑ.
ගෙදරට ගොඩ වෙච්ච ගමන් නිර්මලා අල්මාරියෙ යතුරු ටික මැණිකෙට ගෙනත් දුන්නෙ හරියට ධාතු කරඬුව වඩම්මනව වගේ භක්තියෙන්.
" මම අල්මාරිය ඇරියෙ නෑ අම්ම. යතුරු ටික කොට්ටෙ යට තියාගෙනමයි නිදා ගත්තෙත්. "
ඒත් යතුරු ගැන නෙමෙයි මැණිකෙගෙ හිත තිබුණෙ. උගුරට දෙකට වතුර වීදුරුවක් බීපු මැණිකෙ කෙළින්ම දිව්වෙ කුස්සියට. කුස්සිය ලස්සනට පිළිවෙළට අස්කරලා. මැණිකෙ මුකුත් අහන්ඩත් කලින්ම නිර්මලා කට ඇරියා.
" අස්කළා විතරයි අම්මා. බඩු මුකුත්ම විසි කළේ නෑ. කෙළවරේ කබඩ් එහෙක අයින් කරපු බඩු ඔක්කොම ඇහුරුවා. "
" කෝ එතකොට මෙතැන තිබිච්ච හුනුසාල් ගෝණිය. ඈං… කෝ ඒක ? "
" හුණුසාල් ගෝනිය නම් අයින් කළේ නෑ අම්මා. ම්ම්ම්…"
" අහ්…. ඒක අයින් කළේ මම අම්මෙ." එහෙම කිව්වෙ ශෝභා දුව.
" මොකක්… කොහාටද ඒක අයින් කළේ ? ඇයි ඒක අයින් කළේ ? "
" අම්ම පොඩ්ඩක් මෙහාට එන්ඩකො."
ශෝභා, මැණිකෙව කෑම කාමරේට අඬගහන් ගියෙ නිර්මලාට හොරෙන් දෙයක් කියන්ඩ තියෙන හින්ද කියල මැණිකෙට දුවගෙ ඇස් බැල්මෙන්ම තේරුණා.
අවසන් කොටස ලබන සතියේ බලාපොරොත්තුවන්න.
ආධුනික ලේඛිකාවන් හඳුන්වාදෙන විශේෂාංගයඔබේ කෙටිකතාවත් 0715927752 අංකයට whatsapp කරන්න