වර්ෂ 2024 ක්වූ December 02 වැනිදා Monday
සුදුගෝන මංකඩේ ඉදි කරපු මහමැඳුර
මේ කැලෑ ඉසව්වෙ ඒ කාලේ ඇළි ගෝණෙක් සැරිසරලා තියෙනවා. මුදලිතුමා හැම වෙලාවෙම මේ ගෝනා පිටිපස්සේ පන්නල තියෙනව.
මුදලිතුමාට ඕනෙ වෙලා තිබිල තියෙනවා මේ ඇළි ගෝනව අල්ලලා රජ තුමාට පරිත්‍යාග කරන්න. මෙහෙම ඇළි ගෝනා හඹාගෙන ගියපු මුදළිතුමාට හරි අහම්බයක් මුණගැහුණලු...
වලව්වට යාබද විශාල පාරේ මාර ගහ යට අපි ඔහු සමඟ බොහෝ වේලාවක් කයියක් දමමින් උන්නෙමු. විටෙහි තවත් එක් කොටයක් ඉතිරිව තිබූ බැවින් අපි මේ රස කතාව තවත් ටිකක් හෝ දිගු කිරීමට වගබලා ගතිමු.
මාමා හුනු අල්ලිය නැවත කටේ කොනක උළා නැවත කතාව අරඹයි. “දවසක් හාවෙක් පිටිපස්සෙ නරියෙක් එළවන්
ගියාලු. ඔහොම මහ දුරක් දුවපු හාවා එකපාරටම නරිය දිහාට හැරුණාලු. හාවගෙ ඇස් දෙක දිහා බලන් උන්නු නරිය එක පාරටම අනෙක් පැත්තට හැරිල දිව්වලු. දැන් හාවා නරිය පස්සෙ එළවනවා. මෙන්න මේ සිද්ධිය දැක්ක මහ මුදලිතුමා මේ ජයභූමියක් කියල වටහගෙන ගෙයක් අටවගත්ත කියල තමයි ඉතිහාස ජනකතාවල කියන්නෙ” මාමා තලප්පාව එහෙ මෙහෙ කරමින් කතාවේ පළමු පරිච්ඡේදය නිම කරයි. සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ
කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇඹිලිපිටිය සූරියකන්ද මහා මාර්ගයේ 14 වැනි සැතපුම් කණුව ආසන්නයේ රමණීය, නිස්කලංක.හරිත වනවදුලක මැද පිහිටි ප්රතාපවත් ගොඩනැඟිල්ලකි. බැලූ බැල්මට ගොඩනැඟිල්ලක් ලෙස එකවර පෙනී ගියද මෙය එකිනෙකට එක්ව හා වූ ගොඩනැඟිලි පරිශ්‍රයකි. මඩුවන්වෙල ලෙස අනාධිමත් කාලයක සිට හඳුන්වන මෙම වලව් සංකීර්ණය පිළිබඳ ජන කතාන්දර රැසකි. හම්බෙන් හමුවුණු මාමා අප සමඟ කීවේ මඩුවන්වෙල වලව්වේ ආරම්භයයි. ශ්‍රී ලංකාවේ වලව් සංස්කෘතිය සහ ඒ ආශ්රිත ගොඩනැඟිලි සම්ප්රදායයන් පිළිබඳ හැදෑරීමට මඩුවන්වෙල කදිම තක්සලාවකි.ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණයන්හි අලංකාරය සහ එහි ඇති සියුම් නිමැවුම් මෙන්ම කළමනාකරණය පිළිිබඳව දරුවන්ට අධ්‍යාපනය ලබාදීමටද මඩුවන්වෙල කදිම චාරිකාවකි. දෙසැම්බරයේ ඔබේ දරුවන් සමඟ චාරිකාවක් යාමට සංවිධානය කරයි නම් මඩුවන්වෙල ඔබේ ගමනාන්තයක් කර ගැනීම වටියි. මාමාගේ දිග කතාව තවත් ඉමක් නැත. ලොඹුකට තුළ එහෙ මෙහෙ වන විට කට හක්කේවා ගන්නා ඔහු අත දිගු කරන්නේ විශාල භූමියක් පුරා දිවෙන දැවැන්ත වලව්ව දෙසටය. "මේ ගල් උළුවස්ස කටුවන බලකොටුවෙ තිබුණ උළුවස්ස කියනව නොවැ. මඩුවන්වෙල මහදිසාවගේ මී මුත්ත තමයි කටුවන ලංදේසි බළකොටුවට පහරදීල විනාශ කරල තියෙන්නෙ. ඒ සිද්ධිය මතක් වෙන්න තමයි බළකොටුවෙ ගල් උළුවස්ස මෙතන හයිකරල
තියෙන්නෙ.” තලත්තෑනි පුද්ගලයා සුහදව අපට නැවතත් පවසයි.
ක්‍රි.ව. 1591-1604 වසරවලදී ඉදි කළාය සැලකෙන මඩුවන්වෙල වලව්වෙහි ස්වර්ණමය යුගය ඇරැඹෙන්නේ මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේ රාලහාමිලාගේ ශ්‍රීමත් ජේම්ස් මඩුවන්වෙල මහදිසාවේ තනතුරට පත්වීමත් සමඟය.
1844 උපන් මඩුවන්වෙල මහදිසාවේ අධ්‍යාපනය ලබා ඇත්තේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයෙනි.
මඩුවන්වෙල මහදිසාවේගේ අනුදැනුමින් සහ සැලැසුමෙන් සිරි එදා වලව්ව කාමර 121 දක්වා වර්ධනය කළ බව ඉතිහාසයේ කියැවෙයි. ඉතා අලංකාර ගෘහ නිර්මාණ රටාවන් ඇසුරු කර ගනිමින් නිර්මාණය කරන ලද මඩුවන්වෙල වලව්ව පරිශ්‍රයෙන් මැද මිදුල් 21ක් ආරක්ෂක පවුරු ත්‍රිත්වයක් තිබූ බවද ඉතිහාසයේ කියැවෙයි. මෙම කරුණු සනාථ වෙන බොහෝ සාක්ෂි අදටද මඩුවන්වෙල ආශ්‍රිතව දක්නට ලැබෙයි. ඉතාමත් ක්‍රමානුකූලව නිමවා ඇති මඩුවන්වෙල වලව්වෙහි ඒ ඒ අංශවලට අදාළ කුටි වෙන වෙනම දක්නට හැකිවීම විශේෂත්වයකි. උදාහරණයක් ලෙස බෙහෙත් සරක්කු තෙල් කාමරය, බුලත් කාමරය, අතුරුපස කාමරය, වින්නඹු ගෙය, පිඟන් කෝප්ප කාමරය, තිඹිරිගෙය, රදළ ඇත්තන්ගේ කාමරය, කිල්ලන් සිටින ගෙය, අමු මස් ගබඩාව, බීම සප්පායම් කාමරය, රට බීම ගබඩාව වැනි බොහෝ අංගෝපාංගයන්ගෙන් මෙම දැවැන්ත වලව්ව සමන්විතය. බෞද්ධ භක්තිකයකු වූ මඩුවන්වෙල මහදිසාවේ බොදු සිරිත් විරිත් ඉටුකිරීමටද මුල් තැන දීමට කටයුතු කළ බව මෙම වලව්වේ සැලැසුම මනාවට කියාපානු ලබයි. වලව්වේ ඉදිරියෙන් ඇත්තේ පිරිත් මණ්ඩපයක් වන අතර, සීවලී ධාතුන් තැන්පත් කළ භූමිය සහ සිල් කාමරයද මේ දකින්නට ලැබේ.
ඉතාමත් ප්රතාපවත් නායකයකු ලෙස සැලකෙන මඩුවන්වෙල මහදිසාව ඉංග්‍රීසි විරෝධියකු ලෙසද ප්රකටය.මෙම වලව්වේ දක්නට ලැබෙන මඩුවන්වෙල මහදිසාවගේ ආලේඛ්‍ය චිත්‍රය චිත්‍ර කලාවේ සුවිශේෂ වූවක් ලෙස සැලකේ. එම චිත්රයෙහි නෙත් යුගල අප හැරෙන දෙසට හැරෙන ලෙස නිමවා ඇතිවීම එහි විශේෂත්වයයි.
අලංකාර ගෘහ නිර්මාණ ශිල්ප පිළිබඳ උනන්දුවක් දැක්වූ හෙතෙම මෙම සුවිශාල වලව්ව නිර්මාණයේදී මහත්මා ගාන්ධිතුමාගේ නිවෙසේ ආකෘතිය අනුව උඩුමහල නිමැවූ
බවටද ජනප්රවාදයේ කියැවෙයි.
ඉතා සුන්දර නිස්කලංක පරිසරයක ඉදිකොට ඇති මෙම විශාල වලව් පරිශ්‍රය ඇඹිලිපිටිය
සංචාරයකට පැමිණෙන සියලු දෙනාගේම අවධානයට පාත්‍ර වෙයි.
“මේක නින්ද ගමක් කියනවනෙ
මඩුවන්වෙල නින්දගමයි, පනාමුරේ
නින්දගමයි. මඩුවන්වෙල පරම්පරාවට ලැබිල තියෙන්නෙ පළමුවෙනි විමල ධර්මසූර්ය රජ්ජුරුවන්ගෙනුයි. දෙවන රාජසිංහ රජ්ජුරුවන්ගෙනුයිලු, රාජසිංහ රජ්ජුරුවන්ට සුදු ගෝනෙක් අල්ලල දීල ඒකට තෑගී විදියට මේ නින්දගමලැබුණ කියල තමයි කතාවට කියන්නෙ.
අපට අහම්බෙන් හමුවූ පැට් මාමා දිගු කතාව නිම කරයි.
එදා පනාමුරේ ඇත්ගාලද අයත්ව තිබුණේ මඩුවන්වෙලනින්ද ගමටය. පනාමුර ඇතා පිලිබද අප කුඩා කළ අසා ඇති පනාමුරේ ඇත්ගාලද ඇඹිලිපිටිය සංචාරකයන්ගෙ
සංචාරක ස්ථානයකි. පනාමුරේ නොසිඳෙන දිය බුබුලද පිහිටා ඇත්තේ පනාමුර ඇත්ගාලට යාබදවය.
ඇඹිලිපිටියේ මඩුවන්වෙල වලව්වට යන මාර්ගයද අතිසුන්දර වූවකි.
කඳු වැටිවලින් අලංකෘත වූ මෙම මඟෙන් යන ඔබට පරිසරය චමත්කාරජනක දසුන්වලින් නෙත මෙන්ම සිතද
සරසවා ගැනීමට අවස්ථාව ලැබෙනු නියතය. ඉතාමත් අලංකාර මඩුවන්වෙල වලව්ව නැරඹීමට පැය දෙකක කාලයක් වෙන්කර ගත යුතු වන්නේ ඉතාමත්ක්රමානුකූලව මෙම ඉපැරැණි නිර්මාණ දැකබලා ගැනීම
සංචාරයකුට අමිල සිහිවටන වන හෙයිනි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කටයුතු සිදු කරනු ලබන මඩුවන්වෙල වලව්වෙහි කෞතුකාගාරය අධ්‍යයනය කිරීමෙන් යටගියාවේ බොහෝ තොරතුරු ද දැන ගැනීමට ඔබට වරම් ලැබෙනු ඇත. මේ දෙසැම්බරයේ පාසල් නිවාඩුවේදී විනෝද ගමනක් සංවිධානය කරන ඔබටද විනෝදය සමඟ අධ්‍යාපනය ලැබීමටද මෙම ගමන කදිමට මං සලසනු ඇත.
ඔබ සැමට සුබ ගමන්...