එයත් දඩිබිඩියේ ඉවර කරන කෙනෙක්ද?

දෙසැම්බර් 2, 2024

ආදරය, විවාහය සහ ජීවිතය සම්බන්ධව කතා කරද්දී ලිංගික ජීවිතය ගැන කතා නොකරම බැරිය. ලිංගිකත්වය පවුලක බැඳීම ශක්තිමත් වෙන්න වැදගත් වන තවත් එක් පුරුකකි. මොකද නිදි යහනේදී හරි සතුටක් නොලැබීම පවුලේ දෛනික කටයුතු නීරස වෙන්නත් හේතුවක් විය හැකිය. ලිංගිකව එක්වීමත් එක්තරා කලාවකි. ඒ කලාව හොඳින් පවත්වාගෙන ගියොත් විවාහ දිවිය බාධාවකින් තොරව දිගු කාලයක් පවත්වාගෙන යා හැකිය.

ආදරය, විවාහය සහ ජීවිතය සම්බන්ධව කතා කරද්දී ලිංගික ජීවිතය ගැන කතා නොකරම බැරිය. ලිංගිකත්වය පවුලක බැඳීම ශක්තිමත් වෙන්න වැදගත් වන තවත් එක් පුරුකකි. මොකද නිදි යහනේදී හරි සතුටක් නොලැබීම පවුලේ දෛනික කටයුතු නීරස වෙන්නත් හේතුවක් විය හැකිය. ලිංගිකව එක්වීමත් එක්තරා කලාවකි. ඒ කලාව හොඳින් පවත්වාගෙන ගියොත් විවාහ දිවිය බාධාවකින් තොරව දිගු කාලයක් පවත්වාගෙන යා හැකිය.

ලිංගික ජීවිතයේදී කායික සම්බන්ධකම් ඇති වෙන්න කලින් මානසික වශයෙන් ඒකට සූදානමක් තියෙන්න ඕනේ. ඇහෙන් දැකලා සතුටු වෙන්න ඕනේ. එයා ළඟින් යන එන කොට එයාගෙන් දැනෙන සුවඳින් සතුටක් දැනෙන්න ඕනේ. කට හඬින් සතුටක් ගේන්න ඕනේ. ස්පර්ශය සතුටක් ගේන්න ඕනේ.

ජී.බී. සේනානායක කියන්නේ අවිවාහක ලේඛයෙක්. ඔහු ඉතාම සියුම්ව ලේඛනය තුළින් ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා ගැන කතා කරනවා. ඔහුගේ හරි ලස්සන කවියක් තියෙනවා අලුත ගෙනා මනාලිය කියලා. ඒ අලුත ගෙනෙනා මනමාලිය ඔබමොබ ඇවිදින විදිහ.. ඇයගේ ලාලිත්‍ය හරි අපූරුවට කවියෙන් කියලා තියෙනවා. ගොඩක් වෙලාවට පිරිමියකුගේ ලෝකයේ අලුත ගෙනා මනමාලියක් සැරිසරන්නේ ඒ විදිහට තමයි.

ලංකාවේ සංස්කෘතියත් එක්ක බලද්දී විවාහයට කලින් ලිංගිකත්වය ගැන කතාබහ කරන එක බොහෝම මදියි කියලයි මට හිතෙන්නේ. තමන්ගේ සිරුර ගැන, තමන්ගේ සිරුරේ අවයව කොයි විදිහටද වැඩ කරන්නේ කියන එක ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මේ ලෝකයේ අපිව නිර්මාණය කළේ සොබාදහම ඒ සොබාදහමේ මේ මැවීම ගැනම කොච්චර දේවල් කතා කරන්න තියෙනවද. ඒ මැවීමේ ප්‍රතිඵලයක් තමයි ලිංගික ජීවිතය කියන්නේ. ඒත් මේ ලිංගික ජීවිතය හරියාකාරව පවත්වාගෙන ගියෙ නැති වුණොත් විවාහ ජීවිතය දෙදරා යන්න තියෙන ඉඩ බොහෝම වැඩියි. ඉතින් මේ තරුණී කියවන ඔබ විවාහ ජීවිතයක් ගෙනියන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් විවාහ ජීවිතයක් පටන් ගැනීමේ බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. විවාහය රඳා පවතින්න නම් ලිංගික ජීවිතය ගැන ඉතාම හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. විවාහය හොඳ ශක්තිමත් අඩිතාලමක් තමයි ලිංගික සහසම්බන්ධතාවය කියන්නේ.

මේ ලිංගික සහසම්බන්ධයේදී අනෙක් කෙනාගේ සිරුරට ගරු කරන්න මුලින්ම පුරුදු වෙන්න ඕනේ. ඒ සිරුරට තියෙන ගරු සරුභාවය නැති වෙන තැනම අපේ ජීවිතය ගොඩක් ලොකු කඩා වැටීමකට ලක් වෙනවා. "බලන්නකෝ ඔයාගේ හැටි, අරයා එහෙමෙද, කොච්චර ලස්සනද." වගේ කතාත් කියන අය ඉන්නවා. මේ සංසන්දනය අනෙක් පාර්ශ්වයට ලොකු වේදනාවක් ගෙන දෙන්නක් වෙන්න පුළුවන්. කෙනෙක්ගෙන් අපි නිකමට වගේ ඇයි ඔයා එයාව බැන්දේ කියලා ඇහුවොත් "මම ආස වුණේ එයාගේ පොකුටු ගැහැනු නූඩ්ල්ස් වගේ කොණ්ඩෙටයි." කියලා කියනවා. හැබැයි විවාහ වෙලා ටික කාලයක් ගියාම ගැහැනු ළමයට හිතෙනවා මම මේ කොණ්ඩේ වෙනස් කරගන්න ඕනේ කියලා. ඒ ගැහැනු ළමයා කොණ්ඩේ ස්ට්‍රේට් කරනවා. දැන් එතකොට සිරුරේ ආකර්ෂණය වුණු ඒ දර්ශනය ඉවර වුණා කියලා ඒ විවාහය ඉවර වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඒක සැමියත් එක කතා කරගෙන මම කොණ්ඩේ ටිකක් වෙනස් කරගන්න ආසයි කියලා කතා කරගන්න පුළුවන්.

ලිංගික සම්බන්ධතාවකදී දෙදෙනාගේ පිරිසුදුකම අතිශය වැදගත්. එක්කෙනෙක්ගේ පිරිසුදුකම අඩු නම් අනිත් කෙනාට එයාගේ හිත රිදෙන්නේ නැති වෙන්න ඒ ගැන ඔහුට හෝ ඇයට කියන්න පුළුවන්. ඒ වගේම ලිංගික ජීවිතයක් තුළ සම්මතයක් නැහැ. කොයි වෙලාවකදී ද කොතැනදී ද, කුස්සියේ ද, සාලේ ද, කොච්චර වෙලාවක් ද කියලා තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න බැහැ. ඉන්නේ තනි ගෙදරක නම්, නිදහසක් තියෙනවානම්, අවශ්‍යතාවයක් තියෙනවානම් කොහෙත්ම සම්මතයක් තියෙන්න විදිහක් නැහැ. මම දැකලා තියෙනවා දිවා කාලයේ වැඩමුර සහිත ගැහැනු සහ රාත්‍රී කාලයේ වැඩමුර සහිත පිරිමි. ඉතින් මේ වගේ දෙදෙනෙක් එකතු වුණාම මාස දෙකෙන් තුනෙන් ඒ විවාහ ජීවිතය දෙදරනවා. බිරිය රාත්‍රීයේ නිදි නැතුව සැමියා ගැන හිත හිත ඉද්දී සැමියා වැඩ. සැමියා දිවා කාලයේ බිරිය ගැන හිත හිත ඉද්දි බිරිය වැඩ. එතකොට ඒ දෙන්නාටම ගැටලුවක් එනවා කොයි වෙලාවටද අපි එකතු වෙන්නේ කියලා. ඉතින් අන්තිමට එයාලා ලිංගික ජීවිතය අතහැරලම දානවා. පිටරටවල විනාඩි කිහිපයකින් උයලා ඉවර කරනවා.. ගොඩක් වෙලා කනවා. අපේ රටේ ගොඩක් වෙලා උයනවා. ඉක්මනට කනවා.. අපේ රටේ හැම දෙයක්ම දඩිබිඩියේ ඉවර කරන්නයි හදන්නේ. අනිත් කෙනාට සතුටු ද? හොඳින් ද? තෘප්තියක් ලැබුව ද? කියලා කතා කරන්නේ නැහැ. මොකද ඒ දේවලුත් දඩිබිඩියෙනේ ඉවර වෙන්නේ.

සමහර අය ලිංගිකව එකතු වෙන්නෙත් ඒක හරි වදයක් කියලා හිතාගෙන. අනේ මේක කීයට ඉවර වෙයිද මන්දා කියලා. පිටරටවල නම් ආර්තවහරණයෙන් පසු කාන්තාවන් හරිම සතුටින් ලිංගික කර්ත්‍යවයේ නිරත වෙනවා. මොකද එයාලට ගැබ් ගැනීම් ගැන බයක් නැහැ. නමුත් අපේ රටේ ආර්තවහරණය වුණ ගමන් ආගම පැත්තට බර වෙනවා. එයාලා එතැනින්ම ලිංගික ජීවිතය නවතනවා. මේකෙන් වෙන්නේ පවුල් ජීවිතය කඩාගෙන වැටෙන එක. ඉතින් ඔහුගේ හෝ ඇයගේ ආසාවන් සහ සිතුම් පැතුම්වලටත් අවධානය දෙමින් විවාහ ජීවිතය සුන්දරව ගෙන යන්න.

 

ප්‍රවීණ මනෝ උපදේශිකා
අමා දිසානායක
කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී
ලිපි මාලාව