වර්ෂ 2024 ක්වූ December 16 වැනිදා Monday
නව වසර මෙලෙසින් අරඹන්න මුළු වසරම සරු කරගන්න
උදාවන නව වසර වාසනාවන්ත කර ගැනීම අප සියලු දෙනාගේම සිහිනයකි. ඒ සිහින ප්‍රාර්ථනා ඉටුකර ගැනීමට ආගමික වත් පිළිවෙත් අනුගමනය කිරීම බොහෝ දෙනෙකුගේ සිරිතකි. බෞද්ධ ආගමික පරිසරයක් ඇති බොහෝදෙනකු තම ආගමනුකූල වත් පිළිවෙත් වලට අමතරව තමුන් විශ්වාස කරන අදහන දෙවිවරුන් උදෙසා පුද පූජා පැවැත්වීම ද නව වසරේ උදාවත් සමඟ සිදු කරති. එයින් පවුලේ සැමටත් රටටත් සෙතක් ශාන්තියක් උදාවනු ඇත. තවද වසර පුරාම එයින් තමුන්ට අාධ්‍යාත්මික සුවයක් ද ළඟාවන බව බොහෝ දෙනකු විශ්වාස කරති.
සාමාන්‍යයෙන් බෞද්ධ පරිසරයක් ඇති නිෙවසක මූලිකත්වය ලබා දෙන්නේ තමුන් වසර පුරාම මල් පහන් පූජා කරන බුදු කුටියටයි. ඒ අනුව ජනවාරි පළමු වැනිදා පවුලේ සියලු දෙනා එකතු වී නිෙවසේ බුදු කුටිය මල් පහන් පැන් සුවඳ දුම් හා උදෑසන කිරි ආහාර පූජා කරනු ලබයි. ඉන්පසුව තිසරණ සහිත පංචශීලය සමාදන්ව බුදුන් දහම් වැඳ පූජා කළ සියලු දේට අදාළ ගාථා කියමින් බුදුන් වහන්සේට පූජා කරනු ලැබීමෙන් අනතුරුව දේව පූජාව පැවැත්වීම සිදු කරනු ලබයි.
මෙලෙස දේව පූජාව පැවැත්වීම සඳහා නිෙවසේ මැද ස්ථානයක් තෝරා ගැනීම වඩාත් සුදුසු වෙයි. බොහෝවිට නිෙවසේ බ්‍රහ්මපාදය ලෙස ගැනෙන ස්ථානය මේ සඳහා තෝරා ගනියි. මේ සඳහා නිෙවසේ ඊසාන දිශාව බලා පූජාව පැවැත්වීමට සකස් කර ගැනීම වඩාත් යෝග්‍ය වෙයි. අනතුරුව දෙවියන් ප්‍රිය කරන සියලු දේ එහි තැන්පත් කිරීම සිදු කරනු ලබයි. මෙහිදී එක් එක් දෙවියන් උදෙසා පූජා පැවැත්වීමේදී එම දෙවියන්ට විෙශ්ෂ වූ පත්‍ර මත මේ ලද පස්මල් ඉසීම කළ යුතු වෙයි. එසේම එක් එක් දෙවියන් උදෙසා පූජා කරන මල්වල වර්ණය හා තෙල් වර්ග ද පවතී.
අපි මුලින්ම දෙවියන් උදෙසා ලද පස්මල් එළීමට පෙර යොදා ගන්නා ශාක පත්‍ර වර්ග ගැන අවධානය යොමු කරමු. බොහෝවිට ගණ දෙවියන් උදෙසා කෙසෙල් පත්‍ර ද සමන් දෙවියන් උදෙසා සහ ඊශ්වර දෙවියන් උදෙසා බුලත් පත්‍ර ද සරස්වතී මෑණියන් උදෙසා බෝ පත්‍ර ද පත්තිනි, කතරගම දෙවියන් උදෙසා අඹ පත්‍ර ද දැඩි මුණ්ඩ දෙවියන් හා ශ්‍රී ලක්ෂමී මෑණියන් උදෙසා බෙලි පත්‍ර ද විභීෂණ සූනියම් ගණ දෙවියන් උදෙසා කොහොඹ පත්‍ර ද ශ්‍රී විෂ්ණු දෙවියන් උදෙසා මදුරුතලා පත්‍ර ද අතුරා ඒ මත ලදපස් එළීම චාරිත්‍රයයි.
එසේම දෙවියන් උදෙසා යොදා ගන්නා විශේෂිත වූ මල්වල වර්ග හා වර්ණ ගණනාවක් ද පවතී. සාමාන්‍යයෙන් විෂ්ණු දෙවියන්ට පූජා කරන මල්වල වර්ණය වන්නේ නිල් වර්ණයයි. එසේම කතරගම දෙවියන්ට රතු පාට මල් ද, සමන් දෙවියන්ට කහ වර්ණ මල් ද විභීෂණ දෙවියන්ට නිල් පැහැති මල් හා ඊශ්වර දෙවියන් සුදු පැහැති මල් ද සූනියම් දෙවියන්ට ද සුදු පැහැති මල් ද පූජා කරනු ලබයි. ලක්ෂ්මී දෙවියන්ට රෝස පාට මල් හා සරස්වතී මෑණියන්ට කහ පැහැති මල් පූජා කිරිම ද සිදු කරනු ලබයි. මෙසේ ඔබ පූජාව පවත්වන දෙවියන්ට අදාළ මල් වර්ගය තෝරාගත් පසු පූජාව සඳහා තබන පූජා භාණ්ඩ ද සකස් කර ගත යුතු වෙයි. මේ සඳහා සුවඳ ධූප ලෙස සැවැන්දරා, දේවදාර, අඟිල්, ගුගුල්, සුවඳ කොට්ටන්, එනසාල්, වසාවාසී, නෙළුම් රේණු, සුදු හඳුන්, හල්දුම්මල, සම සමව ගෙන වියළා කොටා සකස් කළ කුඩුවලින් දුම් ඇල්ලීම කරන්න. දෙවියන්ට පූජා ආහාර ලෙස මුං ඇට කිරිබතක් සාදා එයට හකුරු, කජු, වියළි මිදි, එනසාල්, කරදමුංගු වැනි දෑ යොදා කැකුළු සහලෙන් කිරිබතක් සකසා ගන්න. කොත්තමල්ලි තැම්බු වතුර පෙරා සූකිරි දමා භෝජනයක් ද පානක පූජාවක් ලෙස දෙවියන්ට පිළිගන්වා ඔබ පූජා පවත්වන ගාථා කියා දෙවියන්ට වන්දනා කිරිම සිදු කරන්න.
විෂ්ණු , කතරගම, සමන්, විභීෂණ, දැඩි මුණ්ඩ, ගණ දෙවියන්, ශ්‍රී ලක්ෂ්මී දෙවියන් උදෙසා පවත්වනු ලබන මේ පූජාවන් සඳහා විශේෂිත වූ එක් එක් ගාථා වෙයි. එම ගාථාව ගායනා කිරිමෙන් පසු දෙවියන් වඩාත් ප්‍රිය වූ පිරිතක් ලෙස පිළිගන්නා කරණීය මෙත්ත සූත්‍රය 21 වරක් ගායනය කරන්න. දැන් දෙවියන්ට පිං දෙනු ලබන ගාථාව තුන් වරක් කියනා පිං අනුමෝදම් කර පවුලේ දෙනා වෙනුවෙන් පැමිණෙන සියලු ග්‍රහ අපල හා ලෙඩ රෝගවලින් සතුරු බාධාවලින් මුදවා ගන්නා ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටින්න. එසේම තම පවුලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, රැකී රක්ෂා ආදියත් ව්‍යාපාරික දියුණුව, විවාහ ප්‍රමාද, පවුලේ අඬදබර දුරු වී වාසනාවන්ත නව වසරක් උදා වේවායි ප්‍රාර්ථනා කරන්න. එසේම තම සිතැඟි ප්‍රාර්ථනා ඉටු වී උදාවන නව වසර සෞභාග්‍ය උදාවන නව වසරක් ගැනීමට හැකි වේවාවයි ප්‍රාර්ථනා කරන්න. මෙලෙස මෙම පුද පූජා පැවැත්වීමෙන් දෙවියන් වෙත සමීපව සැපවත්, ධනවත්, සමෘද්ධිමත් ජීවිතයක් උදාකර ගැනීමට නියත ලෙසම අවස්ථාව උදාවනු ඇත.