වර්ෂ 2025 ක්වූ January 06 වැනිදා Monday
රටක් තෙමෙන්න වැහැපු පදක්කම් වැස්ස
අපේ චෙස් ක්‍රීඩාවට වසන්තය උදා වෙමින් තිබේ. එයට කදිම සාක්ෂියක් සපයමින් මෙවර දහ අට වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේදී පදක්කම් වැස්සකින් පිරී ගියේ මුළු ලෝකයේම දැවැන්ත රටවල් රැසක දෑස් විවර කරමිනි. මෙවර ආසියානු චෙස් තරගාවලිය පැවතියේ තායිලන්තයේ බැංකොක් නගරයේදීය.
දෙසැම්බර් 03 වැනිදා ආරම්භ වූ තරගාවලිය අවසන් වූයේ දෙසැම්බර් 10 වැනි දිනයි. මේ තරගය සඳහා අප රට නියෝජනය කරමින් සහභාගී වූ අප පුංචි චෙස් හපන්නු ශ්‍රී ලංකාව ඉදිරියේ පදක්කම 22ක් ජයග්‍රහණය කිරීම ඓතිහාසික සිදුවීමකි. ඒ පදක්කම් අතර රන් පදක්කම් 01 ක්ද රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කම් 17ක් සටහන් විය. මෙලෙසින් මේ පදක්කම් 22 සටහන් වූයේ කාණ්ඩ තුනක් යටතේ පැවති තරගාවලියේදීය. එහිදී ඒකල තරගයේදී ලෝකඩ පදක්කම් දෙකක් හා රිදී පදක්කමක් දිනා ගනිමින් පදක්කම් තුනක් දිනා ගත්තේය. ඊට අමතර පැවති කෙටි කාල සටහන් චෙස් තරගය සහ කණ්ඩායම් වශයෙන් සහභාගී වන සමූහ තරගාවලියේදී පදක්කම් දහනවයක් දිනා ගැනීමට සමත් විය. මෙලෙසින් පදක්කම් දිනාගත් මේ තරගාවලියේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩකාවන් සියලු දෙනා භාරව කටයුතු කළේ ජාත්‍යන්තර චෙස් විනිසුරුවරයකු ලෙස කටයුතු කළ සම්පත් ජයවර්ධනයි.
පොල්පිතිගම කලාකොළ වැව මහා විද්‍යාලයේ චෙස් ක්‍රීඩා උපදේශකවරයා ලෙස ද කටයුතු කරන ඔහු මේ ලැබූ ජයග්‍රහණය ගැන අපට සඳහන් කළේ ඉමහත් අභිමානයෙනි.
“මේ ආසියානු පාසල් චෙස් තරගාවලිය අප කණ්ඩායම සහභාගී වූණේ ජයග්‍රහණ රැසක්ම බලාපොරොත්තුවෙන්. ඒ බලාපොරොත්තු, අපේක්ෂා ඒ ආකාරයෙන්ම දිනා ගැනීමට අපේ දරුවන්ට හැකිවීම විශාල සතුටක් ඇත්තටම ඉස්සර මෙවැනි තරග සඳහා අපේ රට සහභාගී වෙන්නේ ජයග්‍රහණයක් ලබා ගැනීමටම නෙමෙයි. මේ තරගවලට සහභාගී වීමෙන් අත්දැකීමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන්. නමුත් ඒ තත්ත්වයට වඩා දැන් අපේ රටේ චෙස් ක්‍රීඩාව ලොකු දියුණුවක් හා වර්ධනයක් පෙන්වනවා.
ඒකට ප්‍රධානම හේතුව වුණේ පාසල් මට්ටමින් අපට ඈත ගම් දනව්වල සිටින දරුවන්ට පවා මේ ක්‍රීඩාවට ප්රවේශවීමේ අවස්ථාව උදා වී තිබීමයි. සාමාන්‍යයෙන් චෙස් ක්‍රීඩාව සඳහා එක්වීමට තිබෙන ඉහළම අවස්ථාව තමයි ලෝක චෙස් පදනම. ඊට පසුව තමයි ආසියානු චෙස් පදනම පවතින්නේ. ආසියානු තරග සඳහා සහභාගිවීමට අවස්ථාව ලැබෙන්නේ සමස්ත ලංකා තරග සඳහා සහභාගී වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටයි. දැන් මේ සමස්ත ලංකා තරග සඳහා සහභාගීවීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් චෙස් සංගම් සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ නිසා පර්ෂද මට්ටමින් ජයගන්නා දරුවන්ට දිස්ත්‍රික් තරග සඳහා සහභාගි වී සමස්ත ලංකා ජයග්‍රහණයක් ලබා ගැනීමට අවස්ථාව හිමිවෙනවා. මේ ක්‍රියාවලිය ඉතාම සාර්ථකයි. ඒ නිසා දැන් ලංකාව පුරාම සිටින දරුවන්ට ඔවුන්ගේ හැකියාව මත ඉදිරියට එන්න මේක හොඳ අවස්ථාවක්. මේ වන විට ලංකාවේ සෑම ප්‍රදේශයකම දරුවන්ට චෙස් ක්‍රීඩාව සඳහා පුහුණුවීමට ශ්‍රී ලංකා චෙස් පදනම සහයෝගය දක්වනවා. මම ජාත්‍යන්තර චෙස් තරග විනිසුරුවරයෙක් ලෙස ලැබූ අත්දැකීම් සමග තමයි මෙවර මේ තරගාවලියට මේ දරුවන් සමඟ සහභාගී වුණේ. එහිදී අපේ දරුවන් හොඳ දක්ෂතාවයක් දැක්වීම අගය කළ යුතුයි. දැන් අපේ රටේ ජාත්‍යන්තර මට්ටමේ තරග සඳහා සහභාගී වෙන දරුවෝ සිටිනවා. ඕෂනි දේවීන්ද්ර ගුණතිලක දියණිය එවැනි දක්ෂ දරුවෙක්. ඇය රත්නපුරේ ප්‍රදේශයෙන් තමයි මුලින්ම චෙස් ක්‍රීඩාවට යොමු වුණේ.
දැන් අපේ දරුවෝ හරිම ඉක්මනින් මේ ක්‍රීඩාව පුහුණු වෙනවා. චෙස් ක්‍රීඩාවේ තිබෙන ඉහළම මට්ටම තමයි chess ground master කියන්නේ. මේ මට්ටමට පළමුව ළඟා වෙන ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට ලක්ෂ දහයක තෑග්ගක් දෙන්නත් චෙස් සංගමය බලාපොරොත්තු වෙනවා.
මම හිතන්නේ ඉතාම ඉක්මනින් මේ මට්ටම දක්වා ළඟා වෙන ක්‍රීඩකයින් අපේ රටෙන් බිහිවෙයි. ඒ වෙනුවෙන් සංගමයක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සමඟ එක්ව විශාල පරිශ්‍රමයක් ගන්නවා. චෙස් කියන්නේ පාසල් අධ්‍යාපනයටත් විශාල සහායක් වෙන ක්‍රීඩාවක්. ඒ නිසා අපේ රටේ පාසල් අතර මේ ක්‍රීඩාව ඉතාම ඉක්මනින් ව්‍යාප්ත කිරීම තමයි අපේ ඉලක්කය. ඒ ඉලක්කය අපට ජය ගන්න ඒ තරම් අපහසු නැහැ.
දුමින්ද කාරියවසම්