වර්ෂ 2024 ක්වූ December 16 වැනිදා Monday
කන්තෝරු නෝනා
පළමු සටහන …
Monday, January 4,
ලොක්කගෙ කාමරේ දැකල පුරුදු මූණ මොකද්ද බැලින්නම් මෙන්න බොලේ සමන්ති ආයි ඇවිත්. මේ මාරුවීම් නම් රට විහිළු. රට කොස්, රට දෙල්, රට පුවක් වාගෙ විහිළු වුණත් ඉතින් රට ඒව නම් නෙ සුපිරි. ඒ ඔෆිස් එකෙන් මේ ඔෆිස් එකට. මේ ඔෆිස් එකෙන් ඒ ඔෆිස් එකට. නිකම් බොරුවට ලියුම් ගගහ සේවා කාලෙ කඩනවා විතරයි. මාස කීයද සමන්ති මෙහෙන් ගිහින් ? ඔය බඩ්ඩට සදහටම කැමති තැනක ඉන්ඩ ඇරිය නම් අඩු ගානෙ ලියුම් ගහන්ඩ නාස්ති වෙන කොළ ටිකයි, තීන්ත ටිකයි, ලියුම් ගහන, අත්සන් කරන උන්දලගේ කාලෙයි හරි ඉතුරු කරගන්ඩ තිබුණා.
කොහෙද ඉතින් මෙව්ව ඉහළම අණසක පරිදිලුනෙ කෙරෙනව කියන්නෙ. ඔය බඩ්ඩ එසේ මෙසේ අත්තක නෙමේ කියනවනෙ එල්ලිලා ඉන්නෙ.
" ඔන්න මං කල්තියාම කිවුව සාමා. ඔයා ඔය මාත්තෙක්ක ඇවිත් කියවන ඕපදූප ඔෆිස් එකේදි හෙම කියවනව නෙමේ. දන්නවනෙ සමන්ති කාගෙ කවුද කියලා. ඔයාව කොහේ හරි තූත්තුකුඩියකට ඇදල දැම්මම මට බෑ මෙතන ළමයිනුත් එක්ක නහින්ඩ."
නිදාගන්ඩ ගිහින් නිකමට වාගෙ මං සමන්ති ගැන මතක් කළා විතරයි. මේං තිස්ස මයෙ ඇඟට කඩන් පැන්නා. මට තරහ එයා කෑගහපු එකට නෙමෙයි. මේ මිනිහට අමාරුව මාව ඈතකට මාරුකරල යවයි කියලත් නෙමේ. මං ගියාට පස්සෙ තනියම ළමයි බලාගන්ඩ බැරි එක ගැනයි.
එකාතකට සමන්ති ආපහු ආපු එකත් හොඳයි. අඩු ගානෙ මේකේ අනුන්ට කප කපා ඉන්න නැට්ටිච්චියන්ගෙ හුළංවත් බහින්නැතෑ. සමන්ති මොන නාඩගම් නැටුවත් සමහරු වාගෙ තුට්ටු දෙකේ වැඩ කරන්නෑ නෙ.
Tuesday, January 5,
"අනේ සාමා… ඊයෙත් ඔයා එක්ක කතා කරන්ඩ බැරි වුණානෙ. කොහෙද ඉතින් ආව ගමන් මාව ෆයිල් ගොඩකට හිර වුණානෙ. ඒක නෙමේ.. මං මේ අහන්ඩමයි හිටියෙ, මොකද කෙල්ලෙ ඔයා මෙච්චර ඇදිල පැදිල ගිහින්. ඉස්සර බෝලෙ වාගෙ ලස්සනට හිටියනෙ. මූණත් කළුවෙලා. ඔයාට කියන්ඩ ඩියර් මගෙ රිලේෂන් කෙනෙකුත් මේ වගේ දවසින් දවස කෙට්ටු වෙලා කළු වෙන්ඩ පටන් ගත්තා. පස්සෙ බලද්දි එයාට කැන්සර් එකක්. තුන් මාසෙ පින්කම තිබුණෙ ගිය මාසෙ. "
ඒක ඇහුවම මාව ගැස්සිලා බඩ පපුවත් පිච්චිලා ගිහින් ඇඟ ඇතුළෙ මෙච්චරකල් හැංගිලා තිබුණ කැක්කුම් ටිකත් එළියට ආව. පහුගිය කාලෙ තිබුණ පුංචි පුංචි ලෙඩ වුණත් පිළිකාවක ලක්ෂණ වෙන්ඩ බැරි නෑනෙ ඉතින්.
කොහොම හරි දවසෙන් වැඩි හරියක්ම වොෂ් රූම් එකේ තමා මට ඉන්ඩ වුණේ. ඇයි ඉතින් සමන්ති කියන තරම් මං කළු වෙලාද, කෙට්ටු වෙලාද කියල බලන්ඩ ඔෆිස් එකේ වෙන තැනක කණ්ණාඩියක් තියෙනව යෑ.
ගෙදර ඇවිත් තරාදිය චෙක් කරනකම් මට නිවනක් තිබුෙණ් නෑ. ආපු ගමන්ම සාරියවත් ගලවන්නැතුව කිලෝ දහයෙ හාල් මිටියක් දෙතුන් පාරක්ම තරාදියට දාලා කිරල බැලුවා. තිස්ස ආවට පස්සෙ එයාගෙත් බර කිරල බැලුවා. ම්හූ ... තරාදියෙ නම් මහ ලොකු අවුලක් නෑ. අන්තිමට වුණේ ළමයි දෙන්න තරාදිය සෙල්ලම් බඩුවකට ගත්ත එක විතරයි. දැන් ඉතින් ඕක කැඩෙනකම්ම දෙන්නා සෙල්ලම් කරයි.
කුමාරී දයානන්ද
Digital Art By- Cham Nirman