මුරකමිගේ ලිවීමේ කාන්දම් බලය

මැයි 26, 2025

"මං ආවා, එතකොට ඔයාට මගේ ආලේඛ්‍ය චිත්‍රෙ අඳින්න පුළුවන්නෙ." මම මුළුමනින්ම නින්දෙන් නැඟිටලා කියලා සහතික කර ගත්තට පස්සේ මුහුණක් නැති මිනිහා එහෙම කිවුවා.

එයාගෙ කටහඬ පහත්, තානයක් නෑ, සමතලායි. "ඒක කරන්න පුළුවන් කියලා ඔයා පොරොන්දු වුණා. ඔයාට මතකද?"

මෙන්න මෙහෙමයි හරුකි මුරකමිගෙ Killing Commendatore නවකතාවෙ මුල් පි‍ටුවෙ තුන්වැනි ඡේදය පටන් ගන්නේ. නවකතාවක් පටන් ගන්න කියාපු විදිහ මේකයි කියලා මුරකමිගෙ බහුතරයක් නවකතා කියවද්දි මට හිතිලා තියෙනවා. ඔහුගේ චරිත විස්තර කරන විදිහ ඉතා දැඩිව මාව ආකර්ශණය කර ගන්නවා. සුළු දේවල් විශාලනය කරලා පෙන්නන්න මුරකමිට තියෙන්නෙ ලොකු දක්ෂකමක්. මොකුත්ම නැති තැනකින් පවා යමක් ඇති කරන්න පුළුවන් මැජික් බලයක් ලේඛකයට තියෙනවා. මේ නවකතාව පටන් ගන්නෙ මුහුණක් නැති මිනිහෙක්ගෙ ආලේඛ්‍ය චිත්‍රයක් අඳින්න කියලා චිත්‍ර ශිල්පියෙකුට කියන දෙබසකින්. කියවන්නාගේ කියැවීමේ රස නහර උද්දීපනය වෙන්න පටන් ගන්නවා. මේ දෙන්නා අතරේ සිද්ධ වෙන සංවාදය හරිම ආශ්වාදජනකයි. නිකමට හිතන්නකො නොපෙනෙන කෙනෙක් එක්ක හිස් අවකාශයට කතා කරන එක මොන වගේ දෙයක්ද කියලා. තමන්ගෙ ආලේඛ්‍ය චිත්‍රෙ අඳින්න කියලා චිත්‍ර ශිල්පියාව පොරොන්දු කරගන්න වෙලාවේ චිත්‍ර ශිල්පියා විසින් මුහුණක් අහිමි මිනිහට පෙන්ගුවින් කෙනෙක් ඉන්න කුඩා සිහිවටනයක් දෙනවා. ඔහු නැවත එද්දි ඒකත් අරගෙනයි එන්නෙ. මේ වගේ කුඩා දේවල් එක්කයි ඔහු කියවන්නාගේ මනස එක්ක තමන්ගෙ සෙල්ලම පටන් ගන්නේ.

මුරකමි තමන්ගේ ලිවීම ගැන වතාවක් මෙන්න මෙහෙම කියනවා.

"මගේ පරිකල්පනය සතෙකුට සමාන කරන්න පුළුවන්. මෙන්න මේ සතාව ජීවත් කරවන්නයි මම සටන් කරන්නේ. නවකතාවක් ලියන එක එක්තරා විදිහක විනෝදයක්. මොකද නවකතාවක් ලියද්දි ඔයාට ඕනම කෙනෙක්, ඕනම දෙයක් වෙන්න පුළුවන්."

ඔහුගේ ලිවීමේ අභ්‍යාසය තරමක් අමුතුයි. ඔහු ලියන අතරේ සංගීතයට සවන් දෙනවා. හැම විවේකයකම දුවනවා, පීනනවා, පොත්-සඟරා ආදිය කියවනවා. කෑම උයනවා, බළල්ලු හුරතල් කරනවා. මෙන්න මේ ජීවන විලාසයත් එක්ක වෙන්න ඕනා මම ආසා කරන අමුතු දේ ලියන මනස ඔහුට අයිති වෙන්නේ.

 

Killing Commendatore නවකතාවෙ එක තැනක සොල්දරයක් උඩ තිබිලා කථානායකයට චිත්‍රයක් හම්බ වෙනවා. ඔපෙරාවක චරිතයක් පාදක කරගෙනයි ඒක ඇඳලා තියෙන්නේ. ඊළඟට ඔහුට කුඩා සීනුවක සද්දයක් ඇහෙනවා. රෑ ජාමෙ අඩි දෙකක් විතර උස මිනිහෙක් ඇවිත් බොහොම දාර්ශනික කතන්දර කියනවා.

 

එයා හොල්මනක්, ආත්මයක් නෙවෙයි 'අදහසක්' කියලත් එක තැනක කියනවා. ජපන් සාහිත්‍යයට අදාළ දිව්‍යලෝකය, අපාය, අවතාර, පෙර ආත්ම ආදී දේ මේ නවකතාවෙත් අඩු - වැඩි වශයෙන් සාකච්ඡා වෙනවා. ඒ වගේම යටි පෙළින් දාර්ශනික අර්ථයකුත් ගලාගෙන යනවා. කථානායකයා තමන්ගෙ අතීතයෙන්, පියාගෙන් ගැලවෙන්න කරන උත්සාහයකුත් දකින්න තියෙනවා. පි‍ටු 681ක් පුරා දුවන කතා, අනු කතා එක්ක මේ ගමන යන එක ලේසි නැහැ.

 

නමුත් මුරකමි නිතරම යම් ගමනක් තමන්ගෙ පාඨකයන්ව එක්කගෙන යන්න මුලදිම පොරොන්දු වෙනවා. ඒ පොරොන්දුව ඔහු බොහොම සංත්‍රාසමය විදිහට ඉෂ්ට කරනවා. ඉතින් මගේ විස්මය හැමදාම තියෙන්නෙ අන්න ඒ පොරොන්දු දීම සහ ඉ‍ටු කිරීම අතරෙයි.