ලොතරැයි දිනුම

කෙටි කතාව (අවසන් කොටස)
ජුනි 30, 2025

 

සුපුරුදු පරිදි පසුදා දෙහිගස් හන්දියේ සිට පා ගමනින් රත්ගම හන්දියට පැමිණි සුමනසිරි කොළඹ බලා යන බස් රියකට ගොඩ වී කළුතරට ටිකට්පතක් මිලදී ගත්තේය. බසයේ අසුනක් මත වාඩි වී මඳ වේලාවක් ගත වෙත්ම ඔහුට නින්ද ගියේය.

“මේ ලොකු උන්නැහේ කළුතර බෝධිය ළඟ නේද බහිනවා කිවුවේ?”

කොන්දොස්තරගේ රළු හඬින් අවදි වූ සුමනසිරි දෑස් පිස දැමීය.

“ඔව්... ඔව්... කළුතර බෝධිය ළඟ තමයි.”

 

“ඉක්මනට නැඟිටලා එන්න. අපට පරක්කු වෙනවා.”

 

කොන්දොස්තරගේ අණ කිරීමට අනුව වහාම සුමනසිරි අසුනින් නැඟී හිඳ බසයේ දොරටුව ළඟට පැමිණියේය. සුමනසිරි බස් රියෙන් බහින විටද බැතිමතුන් විශාල පිරිසක් බෝ සමිඳු වෙතට ඇදෙන අයුරු ඔහුගේ දෙනෙතේ සටහන් වෙත්ම සිත පුරා පුදුමාකාර සැනසිලිදායක හැඟීමක් වෙළී යන්නට විය. ඉක්මන් ගමනින් ගමන් කළ සුමනසිරි ද පිරිසට එකතු විය. මඳ දුරක් පිරිස සමඟ පා නැඟුවා පමණි. ඔහුට දැරියකගේ කටහඬක් ඇසුණි.

 

“මාමේ . . මාමේ . . . මේ මල් ටිකක් අරන් යන්න.”

 

“අනේ දුවේ මං ළඟ මල් ගන්න තරම් සල්ලි නෑ.”

 

දැරිය මඳක් කල්පනා බරිත වූවාය. සුමනසිරි යන්නට හැරිණ. දැරියගේ කටහඬ සුමනසිරිගේ කන් කුහර තුළට ගලා ආවේය.

 

“කමක් නෑ මාමේ. මට සල්ලි එපා මේ මල් ටික අරන් ගිහින් පූජා කරලා එන්න.”

“ඒක හරි නෑනේ ඔය ළමයා බඩගෝස්තරේ හොයාගන්න තියෙන මල් ටික මං නිකම් ගත්තම ඔය ළමයට පාඩුයි නෙව.”

 

“ඒකට කමක් නෑ මාමේ. මං හිත හොඳින් දෙන දේනෙ අරන් යන්න.”

දැරියගේ බලවත් ඉල්ලීම නිසා සුමනසිරි මල් මිටිය ගත්තේය. ඒ සමඟම ඔහුට මතක් වූයේ පෙරදින තමා කමිස සාක්කුවේ දමාගත් ටිකට් පත ගැනය. ලොතරැයි පත ඒ අයුරින්ම තාමත් කමිස සාක්කුව තුළ සුරැකිව ඇත.

 

“දුවේ මං එදා වේල හොයාගන්නේ ටිකට් විකුණලා. ඊයේ විකුණ ගන්න බැරුව ඉතුරු වෙච්ච ටිකට් එකක් තියෙනවා. මේක අදින්න තව සති දෙකක් යනවා. දිනුමක් තියෙයිද නොතියෙයිද කියලා කියන්න නම් මං දන්නේ නෑ. මල් මිටියෙ මුදල්වල හිලව්වට මේ ටිකට් එක තියාගන්න.”

 

“අනේ මාමෙ මට එපා. මං සල්ලි බලාගෙන නෙවෙයිනේ මල් ටික දුන්නේ.”

 

“ඒක මං දන්නවා මාත් හිත හොඳින් තමයි මේක ඔය ළමයට දෙන්නේ. ඒක නිසා මේක ගන්න. නැත්තම් මට මල් එපා.”

 

අන්තිමේ ලොතරැයි පත දැරිය අතටත්, මල් මිටිය සුමනසිරි අතටත් මාරු වී ගනුදෙනුව නිමාවිය.

 

***********

සති දෙකකට පසු රුවන්ති පාසල් ඇරී ගෙදර එද්දී ලොතරැයි පත් විකුණන වෙළෙන්දකු දුටු විට හදිසියේ අමුත්තා දුන් ලොතරැයි පත සිහි විය. පසුදින කළුතර මහජන පුස්තකාලයට ගොඩ වැදී පසුගිය පුවත්පත් ගොඩ පෙරළා බලද්දී රුවන්තිගේ මුළු ගතම වෙවුලා ගියා ය. ඇය ළඟ ඇති ටිකට්පතට පළමු දිනුම හිමි වී ඇත. අසිහියෙන් මෙන් රුවන්ති ගෙදර දුවවිත් තම මවට හා අයියාට පුවත කී විට ඔවුන්ද පුදුමයෙන් පුදුමයට පත් වූහ.

 

ලොතරැයි පතට හිමි දිනුමේ මුදල් ලබා ගැනීමෙන් පසුව රුවන්තිලාගේ අගහිඟකම් බොහොමයක් දූරිභූත විය. එහෙත් රුවන්තිට හැමවිටම මතකයට නැඟුණේ ටිකට් පත දුන් පුද්ගලයාගේ රූපකායමය.

 

“අම්මේ . . . මට හොඳට මතකයි. ඒ මාමා එයාලගේ ගෙදරට යන හැටි කියපු විදිහ. ගාල්ල බස් එහෙක නැඟලා ගිහින් රත්ගම හන්දියෙන් බහින්න ඕ‍ෙන . . . ඊට පස්සේ දොඩංගොඩ පාරේ ගිහින් දෙහිගස් හන්දියෙන් හැරිලා ටික දුරක් යන්න ඕ‍ෙන. ඊට පස්සේ මලිදුව පාර දිගේ ගියාම තමයි ගේ හොයාගන්න පුළුවන් වෙන්නේ.”

 

“ඉතින් උඹ කියන්නෙ අපි ගිහින් ඒ මනුස්සයාට ලොතරැයි දිනුම ගැන කියන්න ඕ‍ෙන කියලද?”

 

“ඔව් . . . කියලා විතරක් මදි. අපි ඒ මනුස්සයට කීයක් හරි දෙමු.”

රුවන්තිගේ මවු බොහෝ වේලාවක් කල්පනා කර අවසන් නිගමනය ඉදිරිපත් කළාය.

 

*********

සෙනසුරාදා දිනෙයක උදය වරුවේ රුවන්ති සහ මව ගාල්ල බස් රියෙන් පැමිණ රත්ගම හන්දියෙන් බැස ත්‍රිරෝද රියක නැඟී දෙහිගස් හන්දිය සොයා ගියෝය. දෙහිගස් හන්දියේදී මවත්, දුවත් ටිකට්පත් වෙළෙන්දා පිළිබඳ කිහිප දෙනෙකුගෙන්ම තොරතුරු ඇසූහ.

“ඔය කියන්නේ එකත් එකටම අර සුමනෙ අයියා ගැන වෙන්න ඕනේ. ආං අර පේන මලිදුව පාර දිගේ තව ටිකක් ඉස්සරහට ගියාම වංගුවක් හම්බවේවි. ඒ වංගුවෙනුත් හැරිලා ගියාම ලොකු කොට්ටම්බ ගහක් තියෙනවා. ඒ හරි‍ෙය තමයි ගෙදර තියෙන්නෙ.”

 

මතකයේ රඳවාගත් මඟ සලකුණුවලට අනුව රුවන්තිත්, මවත් පැය භාගයක් පමණ යළිත් ගමන් කළෝය. අන්තිමේදී මවත්, දියණියත් විශාල කොට්ටම්බ ගස ළඟට පැමිණ වටපිට බලද්දී දැකගත හැකි වූයේ ගරා වැටෙමින් පැවති කුඩා පැල්පතකි. සැකයෙන් බියෙන් හා කුහුලින්ද යුතුව රුවන්තිත් මවත් පැල්පතට ගොඩ වූහ.

 

“මේ නෝනලා කවුරු හොයාගෙනද ආවේ?”

 

ඇසිලින් ඉමහත් විමතියෙන් යුතුව විමසුවාය. රුවන්ති අකුරක් නෑර සියලු විස්තර හෙළිදරවු කරද්දී ඇසිලින්ගේ හිත තුළ නැඟී ආ වේදනා ගංගාව දෑස්වලින් පිට දමන්නට විය.

 

“ඇයි නැන්දේ අඬන්නේ?”

 

“අනේ දුවේ සුමනේ අපි නොහිතපු විදිහට අපිව දාලා මේ ලෝකෙන් ගියා.”

“මොනවා”

“ඔව් . . . ගාල්ලේ ස්ටෑන්ඩ් එකේ ස්විප් ටිකට් විකුණ විකුණා ඉන්නකොට පපුවේ අමාරුවක් හැදිලා කරාපිටිය ඉස්පිරිතාලෙට ගියා. ඉස්පිරිතාලේ හිටිය දෙදොහයි.”

යළිත් ඇසිලින්ගේ හැඬුම් හඬින් පැල්පත දෙවනත් විය. පැල්පතට මඳක් ඈතින් ඉටි රෙදිවලින් චාම් අන්දමට තනා තිබූ තොරණ රුවන්තිටත්, ඇයගේ මවටත් දැකගත හැකි විය.

සුදු පැහැති ඉටි රෙද්දේ කළුපාට අකුරින් වැකියක් ලියැවී තිබුණි.

 

‘පියාණෙනි ඔබට නිවන් සුව!’

 

නිමි.