වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
දරුවන් ඇයි මෙතරම් මුරණ්ඩු
අපේ සමාජයේ බොහෝ මවුපියන් තමන්ගේ දරුවාගේ ස්වභාවය තේරුම් අරගෙන නැහැ. මේ ගෙවා දමන යුගය තමා කුඩා කාලයේ ගෙවා දැමූ යුගයට වඩා බොහෝ වෙනස් බව ඔබ තේරුම් ගත යුතුයි. ඒ නිසා වර්තමාන සමාජයේ සාධකත් සමඟයි යම් මුරණ්ඩු දරුවන් පිළිබඳව අප තීරණ ගතයුතු වන්නේ.
අපට ධර්මානුකූලව දරුවන්ව හදා ගන්න පුළුවන්. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරැදි මාර්ගයයි. බොහෝ මවුපියන් දරුවන් හදන්න උත්සාහ කරනවා. නමුත් ඔවුන් හැදිලා නැහැ.
සමහර මවුපියන් තමන් හැදිලා දරුවන් හදන්න උත්සාහ කළත්, දරුවා හදන ආකාරය දන්නේ නැහැ.
මේ කොටස් දෙකම අසාර්ථක යි. දරුවෝ හදන්න කළින්, දරුවා මුරණ්ඩු නොකර කීකරුව තබා ගන්නට කළින් මවුපියන් තුළ හොඳ ගුණධර්ම උපදවාගෙන ඒ තුළ පිහිටා සිටිය යුතු වෙනවා. මවුපියන් නිතර රණ්ඩු වෙනවානම්, නිතර එකිනෙකාගේ වැරැදි කියනවානම්, නිතර ඥාතීන්ගේ අඩුපාඩු සොයනවානම්, සමාජයේ වැරැදි දකිනවානම්, ගමේ මිනිසුන්ගේ ඇද හොයනවානම්, නින්දා අපහාස කරනවා නම්, ඒ නිවෙසේ සිටින දරුවා පුංචි කාලයේ සිටම ඒ හඬත් සමග එකතු වෙනවා. ඔහුට මුරණ්ඩු වෙන්න තිබෙන අවස්ථාව වැඩියි. ඒ වගේම දරුවන්ගේ නිදහස ඕනෑවට වඩා සීමා කරනවානම්, එවිටත් දරුවා මුරණ්ඩු වෙන්න පුළුවන්.
තරුණ දරුවෙක් මුරණ්ඩු නම්, මවුපියන් බොහෝ සේ ඉවසිලිමත් වෙන්න වෙනවා. නුවණින් සලකා බලා කටයුතු කරන්න ඕනේ. නමුත් පුංචි දරුවෙක් නම් හදා ගන්න ගොඩක් ලෙහෙසියි. එහිදී නිවසේ පසුබිම බොහෝ සේ වටිනවා.
නිවෙසේ බුද්ධ වන්දනාවට ඉඩක්
දිනපතාම උදේ සහ සවස නැතිනම් එක් වරුවක හරි නිවසේ සියලු දෙනාම විනාඩි 10, 12 වෙන් කරගෙන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පහනක් පත්තුකරලා මල් ටිකක් පූජා කරලා තෙරුවන් වන්දනා කරලා, සිල්පද සමාදන් වෙලා, කරණීය මෙත්ත සූත්‍රය ආදී පිරිත් ධර්මයක් සජ්ඣායනා කරලා, පුංචි වෙලාවක් හෝ මෛත්‍රී භාවනාව කරනවා නම්, ඒ දරුවෝ සුවපත් භාවයට පත්වෙනවා. එවිට ඇවිස්සීමක් නැති, මුරණ්ඩු නැති දරුවෙක් හදාගන්න පුළුවන්. කලාතුරකින් දරුවෙක් ඉන්න පුළුවන් කර්මානුරූපීව විපාක විඳින. එවිටනම් කර්මයෙන් වැසුණු ඒ චරිත බේරි ගන්නනම් බොහෝ විට අමාරුයි. එහෙම නැතිව සාමාන්‍ය දරුවෙක් නම් බොහෝ විට කීකරු දරුවෙක් කර ගන්න පුළුවන්.
ගොඩක් මවුපියන් කරන්නේ තමන් තෙරුවන් වන්දනා කරන්නේ නැහැ. දරුවන්ට කියනවා වන්දනා කරන්න කියලා. තමන් ධර්මය ශ්‍රවණය කරන්නේ නැහැ. දරුවන්ට කියනවා ධර්මය අහන්න කියලා. තමන් රූපවාහිනියේ නාට්‍ය සියල්ලම බලනවා. දරුවන්ට කියනවා රූපවාහිනිය බලන්න එපා පාඩම් කරන්න කියලා.
ඒ වගේම තවත් සමහර පියවරු සිටිනවා නිතරම රස්තියාදුවේ යනවා. යහළුවන් නිවෙසට ගෙන්වාගෙන මත් වතුර පානය කරනවා. දරුවන්ට කියනවා රස්තියාදුවේ යන්න එපා. නරක විදිහට හැසිරෙන්න එපා කියලා. සමහර තාත්තලා සිගරට් බොනවා. දරුවන් ලවා ගෙන්වා ගන්නවා. දරුවන්ට කියනවා සිගරට් බොන්න එපා කියලා. මේ ආකාරයට දරුවන් පාලනය කරන්න උත්සාහ කිරීම අපහසුයි. මේ මනුස්ස ලෝකයේ පමණක් නොව සත්ත්ව ලෝකයේ පවා තමන්ට ඉදිරියෙන් සිටින කෙනාව අනුකරණයක් කරනු ලබනවා. ඒ නිසා තමන් අම්මා තාත්තා ලෙස පෞරුෂමත්, සීලවන්ත, ගුණවත් ජීවිතයක් ගත කරනවානම් ඒ දරුවෝ බොහෝ විට ඉතා ධාර්මික හොඳ හික්මීමක් ඇති අහිංසක දරුවන් බවට පත් වෙනවා.
දරුවාට දහම් වැඩසටහනක්
ඒ නිසා තමන්ට මුරණ්ඩු දරුවෙක් ඉන්නවානම් ඒ අම්මා, තාත්තා අද සිට හරි හැදෙන්න ඕන. තමන් කෙතරම් කාර්යබහුල වුණත් තෙරුවන් වන්දනා කරන්න සෑම නිවෙසකම කාලයක් වෙන් කර ගත යුතුයි. සමහර විට මුරණ්ඩු දරුවන් තෙරුවන් වන්දනාවට කැමැති නැති වෙන්න පුළුවන්. වන්දනා කරන්න බැහැ කියන්න පුළුවන්. නමුත් අම්මා වෙලාවක් වෙන් කරගෙන තෙරුවන් වන්දනා කරනවානම් දරුවා පෙලඹෙනවා. අඩුම තරමින් එවිට හෝ රූපවාහිනිය නො බලා ඉන්න. ශබ්ද නොකර ඉන්න. ටික ටික ඒ දරුවා දමනය වෙයි. ඒ වගේම ඔබට පුළුවන් ළමා දහම් වැඩසටහන් දරුවාට පෙන්වන්න. තවත් දරුවන් වන්දනමාන කරන ආකාරය පෙන්වන්න. දරුවන් වෙනුවෙන් අපේ රටේ බොහෝ දහම් වැඩසටහන් තිබෙනවා. හොඳ වැඩපිළිවෙලක් තිබෙන ස්ථානයකට දරුවා යොමු කළවිට මගේ වයසේ අය හොඳට ගාථා කියනවානේ, සිල් රකිනවානේ කියලා දහමට ඔහුගේ සිතේ තිබුණ අකමැත්ත දුරුවෙලා යනවා.
”ටික දවසකට පස්සේ පුතේ අපිත් එක්ක තෙරුවන් වන්දනා කරන්න එන්න” කියා ආදරයෙන් කිව්වොත් ඒ පුංචි දරුවා ඒකට යොමු වෙයි. සමහර විට ඔහු මුලින් ඈතින් වාඩි වෙයි. ඊට පස්සේ ළඟට එයි. සෙමින් වන්දනාව කරයි. නමුත් කාලයක් යද්දී හඬනගා ගාථා කියන්න ඔහු පෙළඹෙයි. නිතරම ගේම් ක්‍රීඩාවට ඇබ්බැහිව රස්තියාදුවට බර නිකරුණේ කාලය ගත කරන ළමයි දැක්කොත් තෙරුවන් වන්දනා කරනවා වගේ සංසිඳීමෙන් කරන වැඩකට දරුවා අකමැති වෙනවා. පිරිත් පොතක් තබාගෙන පිරිත් සජ්ඣායනා කරන්න ලැජ්ජා වෙනවා. ඒ පසුබිම ඇති කරන්න දෙමාපියන් උපක්‍රමශීලි විය යුතුයි. ඒ නිසා මුලින්ම වැඩිහිටියන් හැදුණාම දරුවන් වැඩිහිටියන් දෙස බලා නිවැරැදි වෙනවා.
අපේ රටේ සමහර පවුල්වල පියවරුනම් හදන්න බැහැ. එහෙම පවුලක අම්මා වගකීම ගන්න ඕනේ. තාත්තාගේ ඇද කියමින් දරුවාගේ හිත අවුල් කරන්නේ නැතිව තාත්තාගේ තිබෙන ගුණයක් දරුවාට කියා දීලා තමනුත් ගුණවත්වෙලා ඒ ඔස්සේ දරුවා රැගෙන යන අම්මලා අපේ රටේ ඉන්නවා. ඒ වගේ ආදර්ශ සම්පන්න මවුපියන්ට දරුවන් හදා ගන්න ලෙහෙසියි, පහසුයි.
යහළුවන් ගැන සෙවිල්ලෙන්
ඒ වගේම ඔබේ දරුවන්ගේ යහළුවන් ගැන සෙවිල්ලෙන් ඉන්න ඕනේ. ගුරුවරුන්ගෙන් දරුවා පිළිබඳව විමසන්න ඕනේ. එලෙස උපක්‍රමශීලිව සෙමින් දරුවාට කරුණු කියා දෙන්න ඕනේ. දරුවාගේ හොඳම යහළුවා බවට මවුපියන් පත් වෙන්න ඕනේ. ඔබගේ දියණිය වැඩිය කතාබහ කරන්නේ නැතිව පාඩුවේ ඉන්නවා වගේ පේන්න පුළුවන්. නමුත් ඇයගේ නිහඬියාව ගැන අපි දන්නේ නැහැ. ඒ ගැන සොයා බලන්න ඕනේ. ඔබ අම්මා ලෙස නිතර කතාවට ඇයව පොලඹවා ගන්න ඕනේ. නිවසේ සිදුවීමක් හෝ කාර්යාලයේ සිදුවීමක් හෝ දරුවා සමඟ කතා කරන්න ඕනේ. ඇය සමග සියලු දේ අම්මා කතා කරනවා කියලා ඇයට දැනෙන්න ඕනේ. එවිට ඒ දරුවා ටික ටික පුරුදු වෙනවා අම්මා සමග පන්තියේ සිදු වූ දෙයක්, යහළුවෝ කියපු දෙයක් කියන්න. එවිට විශේෂ යහළුකමක් අම්මා හා දුව අතර ගොඩ නැගෙනවා. ටිකක් කාලයක් යද්දී දරුවාට කවුරුහරි බැන්නත්, අනවශ්‍ය යෝජනාවක් කළත්, නො මනා ක්‍රියාවක් කළත් සියල්ලම අම්මාට කියන්න මැලි වෙන්නේ නැහැ. මේ වගේ දේවල් අත්හදා බලන්න ඔබට පුළුවන්. ඒ සඳහා නුවණින් කටයුතු කරන්න කිරීමට අවශ්‍ය වෙනවා.
තාක්ෂණ උපකරණ අවභාවිතය
ඒ වගේම තාක්ෂණික උපකරණ ලබා දෙනවිට විශේෂයෙන්ම ස්මාට් දුරකතන ලබාදෙනවිට ඒ ගැන දෙවරක් සිතන්න්. දරුවාට දුරකථනය දෙන්නෙත් මවුපියන්. අවසාන දරුවා මුරණ්ඩුයි හැමවෙලේම ෆෝන් එකේමයි කියමින් හඬා වැටෙන්නෙත් ඔවුන්ම යි. අධ්‍යාපන කටයුතු සඳහා හෝ එවැනි දුරකථනයක් ලබා දුන්නත් දරුවා ඒ දුරකථනයට කෙ තරම් වියදමක් දරනවා ද? කියා සොයා බලන්න ඕනේ. ඒ වගේම දරුවාගේ දුරකථනය ඕනෑම වෙලාවක අම්මාට බලන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක බලන්න දෙන්නේ නැත්නම් වහාම දරුවාගෙන් එය ඉවත් කරන්න මෙලෙස දරුවා යම් යම් ආකාරයෙන් මුරණ්ඩු වෙන්න තිබෙන පසුබිම ඉවත් කරන්න පුළුවන්කම ලැබෙනවා.
ඒ වගේම නිතර තරහ යන, ඇවිස්සෙන, පොඩි දෙයටත් මවුපියන් සමග රණ්ඩුවෙන දරුවන්ට සමහර විට නො පෙනෙන ලෝකයේ යම් යම් බලපෑම් තිබෙන්න පුළුවන්. ඒ දේටත් තෙරුවන් වන්දනාව, පිරිත් කීම ආරක්ෂාව පිණිස හේතු වෙනවා.
මේ සියලු දේ සඳහාම මවුපියන් තෙරුවන් සරණ ගිය වත් පිළිවෙත් සපුරන ශ්‍රාවක ශ්‍රවිකාවන් බවට පත්වීම අනිවාර්ය වෙනවා.
කඩුවෙල මහමෙව්නා බෝධිඤාණ භාවනා අසපුවාසී
කුරුණෑගල ධම්මාරාම හිමි