මිනිසකුගේ පිරිහීමේ ලකුණු දැන ගනිමු

සැප්තැම්බර් 30, 2020

 

අනුශාසනාව

පූජ්‍ය කැටවල හේමාලෝක

ස්වාමීන් වහන්සේ

 

කිසිවකුට කරදරයක් නොවන අයුරින් ජීවත් වන්නට කොයි කවුරුත් හිතට ගත යුතුයි. මිනිසාට උසස් මනසක් පිහිටියේ ඒ සඳහාය.

“තුම්මේහි කිච්චං ආතබ්බං

අක්ඛථාරෝ තථාගතා”

 

බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලොව පහළ වන්නේ මෙම මාර්ගය පෙන්වාදීමට පමණය. තම තමන් සිය කාර්යයන් සාර්ථක කර ගැනීමට එම මාර්ගයේ ගමන් කළ යුතුය.

එය අන්කිසිවකුට කරදීමට නොහැකිය. ආලෝකයෙන් අඳුරට නොව, අඳුරෙන් ආලෝකයට යා යුතුය.

බුදු දහමේ ඇතුළත්ව ඇත්තේ, පරලොවටම නොව, මෙලොව සාර්ථක කර ගැනීමේ පිළිවෙත් සමූහයකි.

මෙලෙස යහපත් වූ තරමටම පරලොව ද යහපත් වේ.

මිනිසාගේ උසස් බව හෝ පහත් බව ඇති වන්නේ අනෙක් කරුණකින් නොව, ඔහු තුළ ඇතිවන ක්‍රියා පද්ධතිය අනුවය.

බලන්න, වර්තමානයේ අපි දියුණුව කරා ගමන් කරන බව හිතනවා.

එහෙත් එය එසේ නොවේ. මේ සමාජය, දියුණුයි කියා අප හිතුවත් ඇත්තටම සිදුවන්නේ දිනෙන් දින පරිහානී මුඛයට ගමන් කිරීමය.

එය ඉතාම ශිඝ්‍රගාමී ලෙස සිදු වේ.

ඔබ වහා ඉන් අත්මිදිය යුතුය. එබඳු සමාජයක ජීවත්වන ඔබ මිනිසා පිරිහීමේ හේතු කාරණා මනාව දත යුතුය.

එය දැන එයින් වෙන්වීමට නුවණින් කටයුතු කළ යුතුය.

සදාචාරය නොදත් මිනිසා මහ වනයක මංමුළාවූවකු සේ නොයෙක් ගැහැට විඳියි.

කළ යුත්ත, නොකළ යුත්ත කුමක්දැයි නොදනියි. පරාර්ථකාමී හැඟීමක් නැත්තා වූ ආත්මාර්ථකාමී පුද්ගලයෝ දෙලොවම පිරිහීමට පත්වෙනු ඒකාන්තයි.

ඔබ අසා ඇති පරාභව සූත්‍රය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ එම සූත්‍රය මඟින් පිරිහීමේ දොරටු ගණනාවක්ම දේශනා කොට ඇත.

මනුෂ්‍යයකුගේ පිරිහීමේ ලකුණු

ධර්මයට අකැමැති බව

අසත් පුරුෂයන්ම ප්‍රිය කිරීම

සත්පුරුෂයන්ව ප්‍රිය නොකිරීම

අසද්ධර්මයට කැමැතිවීම

නිදන සුලු වීම

දොඩන සුලු වීම

වීර්යය නැති බව

කම්මැළි බව

කිපෙන සුලු බව

මවුපියන් පෝෂණය නොකිරිම

වංචාව

රස බොජුන් තනියම වැළඳීම

සුරා ලොල් බව

දූ කෙළියෙහි ලොල් බව

ලද දෑ විනාශ කිරීම

උඩඟුව නෑයන් පහත් කොට සැලකීම

ස්ත්‍රී ලොල් බව

වෛශ්‍යා සේවනය

මහලු වියෙහි සිට තරුණියක සරණ පාවා ගැනීම

රස මසට ගිජු සුරාසොඬ ස්ත්‍රියක හෝ පුරුෂයකු ප්‍රධානත්වයෙන් තැබීම

අරපරෙස්සම නැති පුරුෂයකු හෝ ස්ත්‍රියක ප්‍රධානත්වයෙහි තැබීම

වස්තුවෙන් අඩු වූ තෘෂ්ණාවෙන් වැඩි වූ කුලයයෙහි උපන්නකු රාජ්‍ය පැතීම.

 

මේ අනුව මෙලොවත්, පරලොවත් දියුණු වන පුද්ගලයා හා පිරිහීමට පත්වන පුද්ගලයා ද දැන ගැනීම හා හඳුනා ගැනීම පහසුය.

තවද ධර්මයට කැමැති පුද්ගලයා දෙලොවම දියුණු වන අතර ධර්මයට විරුද්ධ වන පුද්ගලයා දෙලොවින්ම පිරිහෙන්නේය.

සතුන් මැරීම, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය, බොරු කීම, කේලම් කීම, ක්‍රෝධය, වැරැදි විශ්වාසය යන අකුසලයන්ගෙන් වැළකිය යුතුය.

මෙම අකුසල කර්මයන්ට කැමැති පුද්ගල තෙමේ මෙලොව තමා සතු වත් පොහොසත්කම්, ගුණ නුවණ, නිරෝගීකම, කීර්තිය හා පිරිවර යන හැම කරුණකින්ම පිරිහේ. පරලොව නිරයාදී සතර අපායෙහි දුකට ද පැමිණෙයි.

වර්තමාන සමාජය බොහෝ සෙයින්ම අකුසලයට බරය.

පෘථග්ජන මිනිසාගේ සිත පවට ඇදී යන්නේ කාන්දමට ඇදෙන ඉඳිකටුවක් මෙනි. එබඳු පවට නැමී ඇති සිතක් යහපතට, සුචරිතයට හරවා ගත යුත්තේ බලවත් වීර්යයකිනි.

අධිෂ්ඨානයකිනි.

මිනිස් සිත පවට නැමෙන කරුණු සතරකි. දැඩි ආශාව නිසා නොයෙක් විට පව්කම්වලට හැරෙයි. ද්වේෂය, තරහ අධික පුද්ගලයාගේ ද සිත නිතරම පවට ඇදෙයි.

අසත්පුරුෂයයන්ට ප්‍රිය කිරීම ද දෙලොවටම පිරිහීමට හේතුවකි.

මේ ලෝකය ගැන පමණක් සිතා වැඩ කිරීමෙන් ධර්මය, යුක්තිය, සත්‍ය, කුසලය ඔහුට නොපෙනේ.

අජාසත් රජු සෝවාන් වීමට පවා පින් ඇතිව සිටියේ නමුදු බාලයකු වූ දේවදත්තයන් ආශ්‍රයෙන් තමාගේ පියාණන් මැරුවේය.

එබැවින් කුඩා කල සිටම නරක අයගෙන් වෙන්ව වාසය සුදුසු බව ඔබට වැටහෙනවා ඇති.