කරුණාවේ එළිදැක්වීම වචනයයි

ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් දක්වන කරුණාව නිෂ්ඵලයි
ඔක්තෝබර් 14, 2020

අනුශාසනාව පූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ

 

ම යම්කිසි දෙයකින් දුකට පත් වෙනවා නම් එවැනි " අත්තානං උපමං කත්වා " සෑම විටම තමන් උපමා කරගෙන අනෙකා කෙරෙහි යහපත්ව ජීවත් විය යුතුයි.

තවත් පුද්ගලයකු කෙරෙහි කාරුණිකවීම කිසිදු විටෙක මවාපෑමක් නොවිය යුතුයි. එය ඕනෑම අවස්ථාවක ඕනෑම පුද්ගලයකු ජාති, කුලමල, උස් පහත් වයසභේදයකින් තොරව, වෘත්තීය මට්ටම් ගැන නොසිතා, ප්‍රිය අප්‍රිය යන මේ සියලු දෙනාට එක හා සමාන කාරුණික බවක් විය යුතුමයි. ධර්මය කෙරෙහි නිසි අවබෝධයක් ඇත්තා හදවතින්ම කුළුණ ගුණයෙන් යුක්ත අයෙකි. මෙවැනි පුද්ගලයාට පින් රැස්කර ගැනීම ඉතාම පහසු කටයුත්තකි.

ඔහු සියල්ලන්ට මෛත්‍රී සහගත, වෛරය, තරහව, ඊර්ෂ්‍යාව නැත්තෙකි. එබැවින් හෙතෙම දුක් පීඩා අවමව සුවෙසේ ජීවත් වේ. මරණින් මතු ශාන්ත සුවයට පත් වේ. බලන්න අකාරුණික සිතුවිලි හසුරන පුද්ගලයා දෙස. ඔහු විසින් කිසියම් පුද්ගලයකු වෙත වෛරය, තරහව සහ ඊර්ෂ්‍යාව ඇත්නම් පෙරළා ඒ පුද්ගලයා එය දුකක්ම වෙයි. කොහේ කොතනක සිටියත් තවකකු සමඟ කේන්තියෙන් පසුවන බැවින් තමාටම පීඩාවක්ම සිදුවෙයි. අපේ වත්මන් සමාජයට නම් මෙය වැටහෙන්නේම නැති තරම්. ඒ අය කාරුණික බව එතරම් ගණන් ගන්නේ නැත.

බුදුරජාණන්වහන්සේ එක් අවස්ථාවක මෙසේ දේශනා කර තිබෙනවා. යම් කෙනකු ළඟ දෙපැත්ත කැපෙන තියුණු කඩුවක් තියෙනවා නම් ඔහු ගේ විරුද්ධවාදියකු පැමිණ මේ කඩුව එකවරම ඇල්ලුවා වුණත් හානිකක් සිදුවන්නේ කඩුව හිමිකරුට නොවේ. ඒ විරුද්ධවාදියාටම බව. මෙන්න මේ ආකාරයටම මෙත් සිත වඩන කරුණා ගුණයෙන් යුත් පුද්ගලයකුට හිංසා කිරීමට සැරසෙන පුද්ගලයාටම හෝ බලවේගයටමයි පීඩාවට පත්වන්නට සිදුවන්නේ. බලන්න මේ උදාහරණය දෙස. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් කැලෑවෙන් පිටතට එන්නට සූදානම් වූ විට කිසිවකු හඬන ශබ්දයක් ඇසෙන්නට වුණා. ඒ හැඩුවේ කිසිවකු නොවේ. ඒ අසල වෘක්ෂයේ වාසය කළ දෙව්දුවයි. ඈ මෙසේ කියා සිටියා. ඔබ වහන්සේ මේ ප්‍රදේශයට වඩින්නට පෙර මෙතැන යුද පිටියක් වාගෙයි තිබුණේ මේ අවට අමනුෂ්‍යයන් බොහෝමයක් සිටිනවා. මොවුන් එකිනෙකා හා වෛරයෙන් දැවෙනවා. අරගල කරනවා. ඒත් ඔබ වහන්සේ මෙහි පැමිණ සතා සිවුපාවාට, ගහ, කොළ, මල්වලට කරුණාව පැතිරවීම පටන් ගත්විට එහි ආනුභාවයෙන් මොවුන් සමනය වුණා. දැන් හැම දෙනාම සාමයෙන් සන්හිදියාවෙන් වාසය කරනවා. මා මේ හඬා වැටෙන්නේ ඔබ වහන්සේ පිට වී ගිය විට යළිත් පෙර තත්ත්වයම උදාවේවි යැයි බියෙන්.

මේ බව ඇසු ඒ ස්වාමීන් වහන්සේ මේ අය කෙරෙහි මහත් කරුණාවෙන් මීළඟ වස් කාලයත් ඒ වනයෙහි ම ගතකළා.

මේ විදිහට දිගින් දිගටම මේ දෙවිවරුන් එක්ව උන්වහන්සේ ඒ වනයෙහි ම රඳවා ගත්තා. එම වනයේ පරිසරය සැබෑ ලෙසම අප මහා සම්බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා අසත්පුරුෂයා ජය ගත යුත්තේ සත් පුරුෂ ගුණවලින් බව. බොරුව කෝපාවිෂ්ඨයන් ජයගත යුත්තේ මෛත්‍රීයෙන් හෙවත් කරුණාවන්තකමින් බව.

කරුණාවේ ප්‍රධානම එළිදැක්වීම වචනයයි. දෙවැන්න ක්‍රියාවයි. කරුණාව එක්තරා අතකින් වංචක ධර්මයක් වන අවස්ථාත් තියෙනවා. එනම් කරුණාවේ විලාශයෙන් අකුසල් කිරීමටයි. එනම් අසල්වැසි නිවෙසක ස්වාමියා මළ ස්ත්‍රිය වෙනුවෙන් තවත් ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් උදව් උපකාර කරන පිරිමි අද සමාජයේ ඕනෑතරම් ඉන්නවා. මෙවැනි අයගේ කරුණාවේ යටි රෝපණ අරුත් තිබෙනවා. අන්න එවැනි දේ වංචක ධර්මයට ගැනේ. සාමාන්‍යයෙන් ජන සමාජය තුළ ජීවිත්වීමේදී ස්වාමියාගෙන් සේවකයාට, සැමියාගෙන් සේවකයාට කරුණාබරිත වැඩ පැවරීමෙන් සේවකයා එය මැනවින් ඉටු කිරීමට උත්සාහ ගනී.

සංයුක්ත නිකායේ කකචූපම සූත්‍රයේ දේශනාකර ඇති පරිදි

1. කාලයේ හෝ අකාලයේ කතා කිරීම.

2. ඇති දෙයක් හෝ නැති දෙයක් ගැන කතා කිරීම.

3. රළු ලෙස හෝ මොළොක් ලෙස කතා කිරීම.

4. අර්ථවත්ව හෝ අනර්ථවත් ලෙස කතා කිරීම.

5. මෛත්‍රීයෙන් හෝ වෛරී සිතින් කතා කිරීම.

යන දේ ඔබට අනුන් විසින් කළ හැකියි. තථාගතයාණන් වහන්සේ දේශනා කර ඇත්තේ එවැනි අවස්ථාවලදී පෙර සඳහන් කළ වචන පහරවල්වලින් තමන්ට කිසිවකු පහරදුන්නේ නම් ඔබ හිත විපරිත නොකර ගත යුතු බවයි. මෙත් සිතින් ඉතා කාරුණිකව හිත හික්මවාගෙන වාසය කරන ලෙසිනි. අප්‍රමාදව කාරුණිකව ලෙස සුජීවත්වන පුද්ගලයාගේ සිත, කය දෙකම නිවී සැනසෙන බවත් උන්වහන්සේ තවදුරටත් දේශනා කළ සේක.

" කරුණාකරලා..." මේ වචනය අද ඉතා සුලබයි. ඒත් එහි තේරුම ගැන වටහාගෙන කතාබහ කරන්නේ කීයෙන් කී දෙනාද කියලා හිතෙනවා සමාජය දෙස බැලීමේදී.

බලන්න, අපේ ලොව්තුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේ, ජේසුස් වහන්සේ, ඇතුළු සියලුම ආගමික ශාත්තෲවරුන් තමන්ගේ අනුගාමිකයන් ලෝක සත්ත්වයා කෙරෙහි පුදුමාකාර කාරුණික බවක් දැක්වූ උතුමන්ය. බුදුරජාණන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවේ අන් කිසිවක් නිසා නොවේ ලෝක සත්ත්වයා වෙනුවෙන් උපදී මහා කරුණාව නිසාවෙනි.

" කරුණු පාය කෝසල්ල පරිග්ග හිතා ද්‍රනාදී ගුණා පාරමියෝ "

මහණෙනි, කරුණාවත් උපයා කෞෂල්‍යයන් විසින් පිරිවරණ ලද ත්‍රිවිධ දොරටුවෙන් නිකුත් කෙරෙන දාන, ශීල, නෙක්කම්ම ආදී ධර්මතාවෝ මම පාරමී ලෙස හඳුන්වමි.

ඉන් පැහැදිලි වන්නේ බුදු, පසේ බුදු, මහරහත් වීමට හැකි අසීමිත බලයක් කරුණාව තුළ ඇති බවයි. ක්‍රිස්තුස් වහන්සේව තම අනුගාමිකයන් පවා දෙන මොහොතේදීත් කුරුසය මත ඇණගසන මොහොතේදීත් පීඩා විඳ විඳ ඉවසාලුයේ උන්වහන්සේ තුළ පැවැති මහා කරුණාව නිසාවෙනි.අප බෝසතාණෝ ද පාරමිතා දම් පුරන අවධියේ කරුණාව සමඟ ඉවසීමේ ගුණය පෙර දැරිකරගත්තා. අපි සමාජය සමඟ ගනුදෙනු කරද්දී කරුණාව ප්‍රගුණ කර ගත යුතුයි. එහෙත් තවදුරටත් කරුණාව තුළින් අපි කිසිවක් අනෙකාගෙන් බලාපොරොත්තු නොවිය යුතුයි.

කරුණාව ගැන කතා කිරීමෙන් සිහි ගැන්වෙන තවත් පැතිකඩක් වන්නේ කරුණාව අනුකම්පා භූමිකම්පාවක් වූ සිදුවීම් මතකයට නැගෙන විටදීය.

' නයින්ට කිරි පෙව්වා වගේ ' කියමන ජන සමාජයට එකතුවන්නේ එවැනි සිදුවීම්වලිනි.

" කොතරම් ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් " එසේ නම් අපි කරුණාවන්ත වෙද්දි එය පාරමිතාවක් ලෙස මිසක එයින් කිසිදු විටෙක ප්‍රතිලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොවිය යුතුයි. ප්‍රත්‍ය උපකාර බලාපොරොත්තු නොවී කරුණාවෙන් යමෙක් අයුතු ප්‍රයෝජන ගත්තේ නම් ඔවුන්ට උපනූපන් ආත්මවල එම විපාක විඳීන්නට සිදුවේ. අපි කිසිවකුට කරුණාවන්තව උදවූ උපකාරයක් සිදුකර ඉන් යමක් බලාපොරොත්තු නොවුයේ නම් එය නිවනට මඟකි. පෙර සඳහන් කළ පරිදි සේවකයකුගෙන් ස්වාමියා බලාපොරොත්තු වන මෙහෙවර කාරුණික වදන් හමුවේ මනාව ඉෂ්ට වෙනවා. ඔහු ආත්ම තෘප්තියකින් රාජකාරිය සිදුකරයි. බලාපොරොත්තුවන හෘදයාංගම සේවාව ඉටු කරයි.ඇත්තෙන්ම කරුණාවේ බල මහිමයට ජීවිතය වෙනස් කිරීමේ පුදුමාකාර බලයක් තියෙනවා. මෛත්‍රීය වැඩීමෙන් ලැබෙන ආනිසංස සියල්ල කරුද් වැඩීමෙන් නියත වශයෙන්ම ලැබේ. කරුණාව හා මෛත්‍රීය එකම කාසියේ දෙපැත්ත මෙනි. අපට ජීවිතයේ ලැබිය හැකි විශිෂ්ට බව කරුණාවෙන් ලද හැකියි. එතරම්ම විශිෂ්ටයි. කරුණාවේ බලය.

මතු දවසක ගිලන් ඇඳෙහි සිටින විට අප හදවතින්ම කාරුණිකව උදවු කළ යමක් සිහිපත් වුයේ නම් නිරායාසයෙන්ම සුවපත් වේ. එහෙත් අකාරුණික හදවතකට මෙවැනි බල මහිමයක් උරුම වන්නේ නැත. ඔවුන් නිරතුරුවම සමාජයේ දෝෂ දර්ශනයට, පීඩාවට ලක්වේ. දියුණු යැයි සිතුවද දිනෙන් දින පරිහානියට පත් වේ. පිළිකා, හෘද රෝග ආදී අතිශය බියකරු රෝගාබාධ වැළදේ. මිනිස් හදවත තලා පෙළා පීඩා කරන ද්වේශ සහගත ගති ඇත්තෝ මරණින් මතු නිරයේ උපත ලබයි.

ලොවම සුවපත් කරන ඔබට මිලක් වැය නොවන හදවතෙහි කාරුණික බව ඇතිකර ගන්න අදම හිතට ගන්න. එවිට ඔබට මෙලොවත් පරලොවත් සුවපසන්ව වාසය කිරීමට හැකියි.