වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
කසාදය හරිම සුන්දර බැඳීමක්
අනුශාසනාව: පූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ
අතීතය සිදුවී අවසන්. අනාගතය අවිනිශ්චිතයි. මේ මොහොත සජීවීයි. ඔබ මා සෑම විටම උත්සාහ දැරිය යුත්තේ ගත වන මේ මොහොත යහපත් කර ගැනීම උදෙසායි.
එහෙත් අපේ වැඩිහිටියෝ එකතු වූ තැනක් ගැන බලන්න. ඔවුන් වැඩිපුරම කතා බහ කරන්නේ අතීත සිදුවීම් පිළිබඳවයි. ඒ වගේම ඔවුන් අනාගතය ගැන එතරම් කතාබහ කරන්නෙත් නැහැ. ඔබේ අත්තම්මා, සීයා කවදාවත් අනාගතය ගැන සිහින, බලාපොරොත්තු පොඳී බඳීන්නේ නැහැ.
දියණියනි, විවාහ වී ගිය ගෙදර අම්මා, තාත්තාත් මෙවැනිමයි. ඔවුන් අනාගතයට වඩා අතීතයට බැඳී අයයි. අතීතයට ආදරය කරන අයයි. ඔබේ ස්වාමි පුරුෂයා දැන් හැඩි දැඩි භද්‍ර යෞවනයෙක්. එහෙත් ඒ අම්මා තාත්තා ඔහුව දකින්නේ අතීතයේ ඔවුන් තුරුලේ සිටි පොඩි පුතු ලෙසටමයි. ඔහු මේ වන විට වෛද්‍යවරයෙක්, ගුරුවරයෙක්, ඉංජිනේරුවෙක් වන්නට පුළුවන්. එවන් ප්රතාපවත් චරිතයකින් තමන්ගේ පුතා දෙස ඔවුන් නෙත් යොමු කරන්නේ නැහැ. ඒ වගේමයි පුතාගෙ දරු මුණුබුරන් ගැනත්. ඒ අයගේ ඇසුරට ආත්තම්මලා, සීයලා ප්‍රියයි. ඒ ඇසුරින් ඔවුන් තමන්ගේ පුතාගේ අතීතය විනිවිද දකිනවා. නමුත් මේ බැඳීමට ඇතැම් ලේළියන් කැමැති නැහැ. මේ ළෙන්ගතු ලේ ඥාතිකම තර කරන්නට ඉඩ තබන්නේ නැහැ. හැකි සෑම විටම උත්සාහ දරන්නේ ඇයගේ අම්මා, තාත්තා ළඟ දරුවා තියන්නයි. සැමියාගේ ඥාතීන්ට දරුවා හුරු පුරුදු කරන්නේ නැහැ.
මේක වර්තමානයේ සාමාන්‍ය දෙයක් වෙලා.
"අද හවස ඔෆිස් ඇරිලා මම අම්මලාගෙ ගෙදර යනවා. පුතා ක්ලාස් එකෙන් මම අරන් යන්නම්. ඔයත් ඕෆ් වෙලා අපේ මහ ගෙදර එන්න."
මේ බිරියගේ වදන් පෙළට සැමියා අවනත වෙයි.
"හෙට ඉරිදානේ. අපි හෙට හවසම යමු. දරුවා එකපාරටම එක්කගෙන ගියාම අපේ අම්මටයි තාත්තටයි සාංකාව. අපි උදේට මාර්කට් ගිහින් බඩු ටිකක් ගෙනත් දාලාම යමු."
දැන් අර ගෙදර සැමියාගෙ අම්මයි, තාත්තයි තනියම. උයා පිහාගෙන කන්න දෙයක් තියෙනවා ද දන්නෙත් නැහැ. බිරියගෙ ගෙදර පැල පදියම් වෙලා දවස් ගාණක් ඉන්න අකැමැති ස්වාමිපුරුෂයෙක් එක දවසකින් දෙකකින් දරුවයි බිරියයි එක්ක යන්න එන්නම් කියලා නැවත තමන්ගේ ගෙදර යනවා. එහෙම යන ඔහුට කන්න බොන්න දෙයක්වත් අර ගෙදර නැහැ.
"කෝ නෑනෙ මොකුත් ගෙදර. හාල් තුනපහ ඉවර වෙලා. ඔයා මට කිව්වේ නෑනේ."
"අර උඩ කබඩ් එකේ නූඩ්ල්ස් පැකැට් එකක් ඇති. ටූ මිනිට්ස් යන්නෙ. ඔයා හදලා ඔයාගෙ අම්මටයි තාත්තටයි දෙන්නකෝ අදට"
මේ වත්මන් බිරියගෙ ආදරයේ අපූර්වත්වයයි. ඇගේ මහගෙදරට ගිය පසු ඇයට සැමියෙක්, නැන්දා, මාමා කෙනෙක් ගැන සිහියක් නැහැ. මහ ගෙදර සතියක් ඉඳලා ආපසු ආවාම මිරිස් බෝතලේ කැට ගැහිලා. තුනපහ පුස් කාලා. මේ ඔක්කොම කුණු කූඩෙට හලන්න ඇය දෙපාරක් හිතන්නේ නැහැ.
"අපි කුස්සියට බඩු ටිකක් ගේන්න මාර්කට් යමු."
මේ ඇසිල්ලෙන්ම දෙන්නම සුපිරි වෙළෙඳසලකට තුන් හාරදාහක් පූජාකරනවා. නැවතත් සති අන්තයේ පෙර චක්‍රයම ක්‍රියාත්මකයි.
"අපේ ගෙදරට හරියට වියදම්. අම්මෝ අපි දෙන්නගෙම පඩි දෙකම මදි. හස්බන්ඩ්ගෙ අම්මා තාත්තත් අපි ළඟනේ ඉන්නේ."
ලේලියගෙ අය වැය සීට්ටුව කියැවෙන්නේ එලෙසයි. තවත් ස්වාමිපුරුෂයන් තමන්ගෙ සහෝදරියන් ළඟට ගොස් කෑම වේලක් කාලා එන්න හුරු පුරුදු වෙලා ඉන්නවා.
"අනේ මල්ලි අපේ ගෙදර ආපු එක කොච්චර හොඳද? බෙදපු ඔක්කොම බත් ටික කෑවා. මල්ලි හිටියයින් බාගයයි. අම්මා නැතිවුණාට පස්සේ කිරි කොස් ටිකක් කෑවමද කොහෙද? මම මේ අම්මා හදන විදිහටමයි හැදුවේ. මල්ලි ඉතින් පඩිය අරන් එළවළු ටිකක් ගෙනත් දානවනම් මට උයලා දෙන්න බැරිකමක් නෑ. මල්ලි අපේ ගෙදර එනවට අපේ පුතාලත් කැමැතියි."
මේ වගේ ලොකු අක්කලත් නැතුවාම නොවෙයි. නෑනගෙ වැරැදි නොකියාම හීන් නූලෙන් මල්ලිව හූරං කන්න හදනවා. මේක මහ පවක්. පවුලක් පන්සලක් වෙනවා කියන්නේ ලෙහෙසි පහසු කටයුත්තක් නොවන්නේ මෙන්න මේ කාරණා නිසයි.
හොඳ සාර්ථක පවුල් ජීවිතයකට තිබිය යුතුම දේ මනා අවබෝධයයි. ඔබ හැම වෙලාවකම මේ මොහොත ගැන හිතන්න. විමසිලිමත් වන්න. එවිට ජීවත් වීම පහසුයි. මේ මොහොතේ විමසිලිමත් වන බුද්ධිය ජීවිතය යහපත් කරවයි.
කසාදය හරිම සුන්දර බැඳීමක්. ඒක සුන්දර කර ගන්න ඔබේ අවබෝධය තිබිය යුතුමයි. බලන්න මාතර පදිංචි අය පවුල කියන්නේ තමන්ගේ නෝනාට. ගම්පහ, කොළඹ අය පවුලක් කියන්නේ අම්මා, තාත්තා, දුව, පුතා මේ ඔක්කොමටම. වචනවල අරුත් බැලුවොත් පවුල කියන්නේ සිවුරට. කොහොම වුණත් පවුලක්, පන්සලක් වගේ බොහොම සරල ඇවැතුම් පැවැතුම් ඇතිව ගොඩනගා ගෙන යා යුතු ගමනක්. ඔබට ජීවත් වීමට මහ මන්දිරයක්ම අවශ්‍යම නැත. එය පැල් කොටසක් විය හැකියි. එහෙමත් නැත්නම් යාන්තමින් ගොඩනගාගත් පුංචි ගේ කෑල්ලක් විය හැකියි. මේ මොන තත්ත්වයේ ගෙයක් වුණත් ප්‍රිය බිරිය ප්‍රිය සැමියාගේ ආදරණීය බවට එය පන්සලක් වන් නිසසල තැනක් කළ හැකියි. ගෙයි තරම ඔබේ ආදරය කියා පාන්නක් නොවිය යුතුයි. ගෙය නාය යා හැකියි. ගංවතුරට අසු විය හැකියි. සුළි සුළං ආ හැකියි. මොන දේ වුණත් කසාද ජීවිතය අත් නොහැරිය යුතුයි. කසාදෙ කඩාගෙන ගෙදර දුවන්න හදන දියණිවරුනුත් කසාදෙ කඩාන ඊට වඩා හොඳ බිරියන් හොයන පුතණුවනුත් මේක මතක තබා ගත යුතුයි. ඔබ නිවැරැදි නම්, ඔබ ශක්තිමත් නම් බැඳීම ශක්තිමත්.
බිරිය සැමියා දරු පැටවු සමඟ දුක සැප දරාගෙන ජීවත් විය යුතුයි.
ඔබ අසා ඇති අපේ සමාජයේ මෙහෙම කතාවක්.
"පවුලක් පන්සලක් වුණදාට ඔය දඟකාරකම් මඟ හැරෙයි."
ඒකට හේතුව කසාදය කියන්නෙ හික්මීමක්, තැන්පත් බවත් ඇති කරන බැඳීමක් නිසයි.
2020/07/15 තරුණි පුවත්පත බලන්න.