වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
බුදුරජාණන් වහන්සේටත් විපාක දුන් අකුසල කර්ම
කර්මය යනු සිතාමතා කරන ක්‍රියාවයි. සිතාමතා හෙවත් සචේතනිකව කයින් වචනයෙන් මනසින් කර්ම රැස් කරනු ලැබේ. ක්‍රියාවට සම්බන්ධ වූ සිතිවිලි ලෝභ ද්වේශ මෝහ සහගත වූ විට එය අකුසල කර්මයක් බවට පත් වේ. එසේ නොවී අලෝභ අදෝස අමෝහ යන කුසල මූල සිතිවිලි වලින් කර්මය කරන්නේ නම් එය කුසල කර්මයක් බවට පත් වේ.
කුසල කර්මයට විපාකය සැප සහිත වූවකි. අකුසල කර්මයට විපාකය දුක් සහිත වූවකි. මෙය විශ්වය තුළ පවත්නා වූ කර්මය පිළිබඳව නියාම ධර්මයේ ස්වභාවයයි. සත්ත්වයන් කෙරෙහි අපමණ කරුණාවෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් කම්මවිපාක ඤාණයෙන් මෙම නියාම ධර්මය අවබෝධ කොටගෙන ලෝකයාට දේශනා කොට වදාළ සේක. සියලු පව් දුරු කරන්නටත් කුසල් දහම් දියුණු කරන්නටත් සත්ත්වයන්ට මහා කරුණාවෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළ සේක.
අනන්ත අප්‍රමාණ අධ්‍යාත්මික ශක්තියකින් යුතු වුවත්, විශ්ව නියාම ධර්මයන්ට එරෙහි වීමට නිකෙලෙස් බුදුවරුන් වහන්සේලා කිසිවිටක කටයුතු නොකරති. සැප හෝ දුක යන දෙකෙහිම කිසිදු ඇලීමක් ගැටීමක් නොමැති පාරිශුද්ධ නිකෙලෙස් හදමඬලකට එවැනි අවශ්‍යතාවයක් ද නැත. ලෝකයාට ආදර්ශය පිණිස හෙවත් දෘෂ්ටානුගතිය පිණිස පූර්ව අකුසල කර්මයන්ගේ විපාකයනටද ලොව්තුරා බුදුවරු තාදී ගුණයෙන් මුහුණ දෙති.
අප ගෞතම ලොව්තුරා බුදුරජාණන් වහන්සේටද පූර්ව අකුසල කර්ම විපාක 12ක් විපාක දුන් බව සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් අපදාන පාලියේ පුබ්බ කම්ම පිලෝතික අපදානයේ සඳහන් වේ. ඒ මෙසේය.
1. සුන්දරී පරිබ්‍රාජිකාව නිසා ලැබූ නින්දාව.
අන්‍යතීර්ථකයන් විසින් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ යසකීර්තියට හානි කොට නින්දා පැමිණවීමට උත්සාහ කළහ. ඒ සඳහා සුන්දරී නම් පරිබ්‍රාජිකාවක නිතර දෙවෙලේ සැක උපදින අයුරින් විහාරයට හා ඒ ආසන්නයට එවා ඈව මරා මෘත ශරීරය විහාරයේම සඟවා තබන ලදි. ඉන්පසු ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කාමභෝගී අයෙකු හා මිනීමරුවෙකු යැයි පතුරවා හරිනු ලදි.
සතියක් පුරා ලොව්තුරා බුදුරජාණන් වහන්සේටත් ශ්‍රාවකයන්ටත් බොහෝ නින්දා අපහාස ලැබුණි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඒ සියල්ල තාදී ගුණයෙන් ඉවසා වදාළ සේක.
සතියකට පසු බීමත් කුමන්ත්‍රණ කරුවන් දබරයක් ඇතිකරගෙන සුරාහලේ දී එකිනෙකාට බැණ ගනිමින් තම කුමන්ත්‍රණය හෙළිදරව් කරද්දී රාජ පුරුෂයන් විසින් අල්ලාගන්නා ලදි.
මෙසේ නොකළ වරදකට නින්දා ලබන්නට වූයේ බොහෝ කාලයකට පෙර ශුද්‍ර කුලයේ මුනාළි නම් ධූර්තයෙකුව ඉපිද සිට , සරභූ නම් පසේබුදු රජාණන් වහන්සේ නමකට කරන ලද අභූත නින්දාවක් නිසාවෙනුයි. ඒ පාප කර්මයේ විපාක වශයෙන් නිරයේ ඉපිද දුක්විඳ ඉතිරි වූ කර්ම ශේෂයකින් සුන්දරී පරිබ්‍රාජිකාව නිසාද නින්දා ලබන්නට සිදු විය.
2. චිංචිමානවිකාව නිසා ලැබූ නින්දාව.
ධර්ම දේශනා කරමින් සිටි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඉදිරියට දැවයෙන් කළ දරුගැබක් බැඳගෙන පැමිණි චිංචිමානවිකාව ලොව්තුරා බුදුරජාණන් වහන්සේට තම සැමියාට මෙන් කතා කරමින් නින්දා කරන්නට විය. මෙහිදී සක්දෙවියන්ගේ උපක්‍රමයෙන් දරුගැබ ගැලවී බිම වැටුණි. එයින්ම කළ බොරුව හෙළිදරව් විය.
මෙසේ නින්දා ලබන්නට සිදු වූයේ කල්ප අසංඛ්‍ය ගණනකටත් පෙර සබ්බාභිභූ නමින් පහළ වී සිටි ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ කළ කර්මයක ඉතිරි කර්ම ශේෂයක් නිසාවෙනි. එම භවයේ දී නන්ද නම් රහතන් වහන්සේ නමකට අභූත චෝදනාව නැඟූ කර්මය මීට හේතු විය.
3. සුන්දරී පරිබ්‍රාජිකාව නිසා බුද්ධ ශ්‍රාවක භික්ෂූන් 500 ක් නින්දා ලැබීම.
පෙර අසංඛ්‍ය කල්ප ගණනකට පෙර මහ බෝසතාණන් වහන්සේ පන්සීයක් සිසුන්ට මන්ත්‍ර හදාරවන බහුශ්‍රැත බ්‍රාහ්මණයෙකුව සිටියදී ඍද්ධිමත් භීම නම් ඍෂිවරයෙකුට කාමභෝගියෙකු යැයි අභූත නින්දාවක් ශිෂ්‍යයන් ඉදිරියේ කරන ලදි.
ඒ ශිෂ්‍යයන් ද ගෙයක් ගෙයක් පාසා පිඬුසිඟා යමින් ඒ නින්දාව පතුරුවන ලදි. එම කර්මයට විපාක වශයෙන් එම භික්ෂූන් වහන්සේලා පන්සියයක් දෙනා සුන්දරීගේ කරුණින් නින්දා ලබන ලදි.
4. ගල්පතුරකින් ශ්‍රී පාදය තැළී යෑම.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛර බැඳගත් දෙව්දත් හිමි විසින් ගිජුකුළු පව්ව පාමුල සක්මන් කරමින් සිටියදී පර්වතයක් පෙරළවන ලදි. එය පොළොවෙන් මතු වූ මහ ගල් දෙකකින් නැවැත්වූ මුත්, ගල්පතුරක් ගැලවී විත් ශ්‍රී පාදයේ මහපටැඟිල්ලේ හැපී තැලීමක් ඇති විය.
මෙයට හේතු වූයේ කල්ප අසංඛ්‍ය ගණනකට පෙර සිදුකළ කර්මයකි. එයට නිරයේ ද දුක් විඳ ඉතිරි සුළු විපාකය වශයෙන් මෙය ලබන ලදි. එම කර්මය නම් ධනය දේපළ ලබාගැනීමේ අදහසින් තම වේමාතික ( එක් පියෙකුට දාව දෙමව්කුසින් උපන්) සොයුරා ගිරි දුර්ගයකින් හෙළා , ගලකින් තළා මැරීමේ කර්මයයි.
5. දුනුවායන් යොදා මැරීමට කුමන්ත්‍රණය කිරීම.
මෙය ද දේවදත්ත හිමි විසින් සිදුකළ කුමන්ත්‍රණයකි. ඒ සියලු දුනුවායන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ධර්මය අසා අවබෝධයට පත්විය.
එම විපාකයට හේතු වූයේ පෙර කුල දරුවෙකුව ඉපිද සිට, මාර්ගයේ ක්‍රීඩා කරමින් සිටියදී , මාර්ගයේම වැඩම කරමින් සිටි පසේබුදු කෙනෙකු දෙසට ගල් කැබැල්ලක් වීසි කිරීමේ අකුසල කර්මයයි.
6. නාලාගිරි ඇතා ඉදිරියට එවීම.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මරවන්නට සිතා අජාසත් රජු හා එක්වූ දේව්දත් හිමි නාලාගිරි ඇතා රා පොවා මාර්ගයේ ඉදිරියට එවන ලදි. නාලාගිරි ඇතා මහා කරුණාව නිසා දමනයට පත්විය. එම විපාකය ලැබුණේ බොහෝ කාලයකට පෙර ඇත්ගොව්වෙකුව වී සිට සිදුකළ අකුසලයකුයි. ඒ පිඬුසිඟා වඩින පසේබුදු කෙනෙකුන්ව ඇතු මෙහෙයවමින් වෙහෙසට පත් කිරීමේ අකුසලයයි.
7. තැළීමට ලක් වූ ශ්‍රී පාදයේ සිවිය ප්‍රදූශ්‍ය වීම.
දෙව්දත් හිමි විසින් පෙරළන ලද ගල්පර්වතයෙන් ගැළවී ආ ගල් පතුර හැපි තැළුණු ස්ථානයේ සම නරක් වීම සිදුවිය.
එයට හේතු වූයේ මහා කල්ප අසංඛ්‍ය ගාණකට පෙර රජෙකුව සිට මිනිසෙකු සැතකින් ගසා මරාදැමීමේ කර්මයයි. එයට බොහෝ සසර දුක් විඳ ඉතිරි වූ කර්මයෙන් මෙය සිදු වුණි.
8. හිස රදයක් ඇති වීම හා ශාක්‍යන් නැසී යෑම
ලොව්තුරා බුදුරජාණන් වහන්සේට දුක් වේදනා සහිත හිසරදයක් වැලඳී තිබුණි. එසේම විඪූඩභ යුධ කොට ශාක්‍ය වංශිකයන් ඝාතනය කරන ලදි.
පෙර කෙවුල් (ධීවර) ගමක ඉපිද සිටියදි දිනක් තම නෑයන් ඇල්ලූ මත්ස්‍යයන් දැක, ඒ සත්ත්ව හිංසාව නොසලකා මත්ස්‍ය අස්වැන්න ගැන සතුටු විය. මෙම කර්මය නිසා ඉහත විපාකය ලැබුණි.
9. වේරඤ්ජාවේ තුන් මසක් යව වළඳන්නට වීම
වේරඤඦ බමුණාගේ ආරාධනාවෙන් වේරඤ්ජාවේ වස් වාසය කළත් බමුණා විසින් කිසිදු ප්‍රත්‍ය පහසුකමක් නොම සැලසීය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට හා භික්ෂූන්ට අස්වෙළඳුන්ගෙන් ලැබුණු යව ධාන්‍ය වළඳන්නට සිදුවිය. එහිදී තාදි ගුණයෙන් අකම්පිතව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වස්කාලය ගතකොට වස් අවසානයේ වේරඤඦ බමුණාද දැනුවත් කොට ආපසු වැඩම කළහ.
ඵුස්ස බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි ශ්‍රාවකයන්ට හැල් නොවළඳා යව කව් යැයි සිදුකළ නින්දාවක් එම සිදුවීමට හේතු විය.
10. පිට කොන්දේ වේදනාවක් ඇති වීම.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේට වරින්වර ඉස්මතු වූ කොන්දේ රුදාවක් විය.
එයට හේතු වූයේ ඉතා ඈත භවයක මල්ලවපොර සූරයෙකු වී සිට ප්‍රතිමල්ලවයා බිමදමා පිඩාවට පත්කිරීම නිසා ඇති වූ අකුසලයයි.
11. ලේ අතීසාරය වැලඳීම
ලොව්තුරා බුදුරජාණන් වහන්සේට පරිනිර්වාණයට ආසන්න සමයේ ලෝහිත පක්ඛන්දිකා හෙවත් ලේ අතීසාරය වැළඳුනි.
එයට හේතු වූයේ පෙර වෙදෙකුව සිටිය දී ධන ලෝභයෙන් යුතුව සිටු පුත්‍රයෙකුට විරේක බෙහෙත් දී විරේක කරවීමයි. පසුව ඔහු විසින්ම සිටුපුත්‍රයා සුවපත් කොට තිබේ.
12. ලොව්තුරා බුද්ධත්වය පිණිස වසර සයක් දුෂ්කර ක්‍රියා කරන්නට වීම.
මහ බෝසතාණන් වහන්සේට ලොව්තුරා බුදුබව ලැබීම පිණිස අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්නට සිදු විය. වසර 6 කට පසු අත්ථකිලමථානු යෝගය අතහැර මැදුම් පිළිවෙතින් ලොව්තුරා සම්මාසම්බෝධිය සාක්ෂාත් කරගත් සේක.
මෙසේ සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන්නට සිදු වූයේ පෙර කාශ්‍යප ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ ජෝතිපාල නම් මානවකව ඉපිද සිට "ඔය මුඬුමහණුන්ට සම්බුදු ඤාණයක් කොයින්දැයි" යන නින්දා වචනය සවරක් කීමයි.
(මජ්ඣිම නිකාය, ඝටීකාර සූත්‍රය තුළ විස්තර දැක්වේ.)
පසුව තම මිතුරා නිසා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වෙත ගොස් ධර්මය අසා පැවිදිව පාරමිතා සම්පූර්ණ කරන ලදි.
මෙසේ කර්ම විපාක 12 ක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේටද විපාක විඳින්නට සිදු වුණි. මේ අකුසල කර්ම බොහෝමයක් නියත විවරණය ලබන්නටත් පෙර කාලයේ කළ ඒවා බව පැහැදිලිය.
අපටත් විඳීමට හා විඳවීමට අසංඛ්‍ය ගණන් ජීවතවල කොතරම් කර්ම රැස් වී තිබේද? එබැවින් කර්ම සකස්වන ක්‍රමය නැතිකොට සසරින් මිදී උතුම් සත්‍යාවබෝධයට පත් වීමට වෙරදැරිය යුතුය. තිසරණය හැර මෙකරුණෙහිලා අපට වෙනත් සරණක් නම් නැත.
තෙරුවන් සරණයි !
අනුශාසනාව
(ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද , සද්ධර්ම භාණක , අභිධර්ම භාණක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි .
සිරි උපාලි ධර්මාශ්‍රමය , කුඩා කිවුල, කොට්ටුකච්චිය .)