කඳුළු නොසලපු නන්දමාතා උපාසිකාව

අගෝස්තු 7, 2023

 බෞද්ධයන් අතර ගිහි ස්ත්‍රී පුරුෂයන් හැඳින්වීමට 'උපාසක' 'උපාසිකා' යන ව්‍යවහාරයන් භාවිත කරනු ලැබේ.

 

මෙලොව පරලොව යන දෙලොවම සියලු අභියෝග ජයගෙන දියුණුවට පත්වීම පිණිසත්, සියලු දුක්වලින් නිදහස්වීම පිණිසත්, බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය පිළිසරණ කොට ගත් තැනැත්තා 'උපාසක' නමින් හැඳින්වෙන අතර, එම අරමුණින්ම තිසරණය සරණ කොටගත් ප්‍රඥාවන්ත තැනැත්තියට උපාසිකා යන නාමය භාවිත වේ.

 

භික්ෂු, භික්ෂුණී දෙපිරිසෙන් සමන්විත පැවිදි පක්ෂය ඒකායන ලෙසින් ම නිර්වාණය අපේක්ෂා කොටගෙන නිවන් මඟ ප්‍රගුණ කරන පිරිසක් බවට පත්ව සිටී. උපාසක උපාසිකාවන්ගේ ද පරමාර්ථය වන්නේ ගිහි ජීවිතය ගත කරන අතරතුරම උතුම් නිර්වාණාවබෝධය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනයකර ගැනීමයි.

 

බෞද්ධ කාන්තාවක විසින් තම ජීවනාදර්ශය බවට පත්කරගත යුත්තේ කවුරුන්ව දැයි, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකාය තුළ පෙන්වා දේශනා කොට තිබේ.

 

"මහණෙනි, සැදැහැති උපාසිකාව මෙසේ මනාව ප්‍රාර්ථනා කරන්නී, ඛුජ්ජුත්තරා උපාසිකාව හා වේළුකණ්ටකි නන්ද මාතාව යම් සේ වෙත් නම්, එසේ වෙම්ව යි ප්‍රාර්ථනා කරන්නීය.

(කුමක් නිසාද?) මහණෙනි, ඛුජ්ජුත්තරා උපාසිකාව ද වෙළුකණ්ටකී නන්‍දමාතාව ද යන දෙදෙන මාගේ ශ්‍රාවිකා උපාසිකාවනට තෙල තුලාව වේ. තෙල ප්‍රමාණය යි"යනුවෙනි.

 

සම්බුද්ධ ශාසනයක් තුළ ගිහි උපාසිකාවකගේ ආදර්ශය බවට පත්විය යුත්තේ ඛුජ්ජුත්තරා උපාසිකාව හෝ වේළුකණ්ටකී නන්ද මාතා උපාසිකාවයි.

 

ලොව්තුරා බුදු මුවින් ද ප්‍රශංසා ලැබූ වේළුකණ්ටකී නන්ද මාතාවගේ චරිතය පිළිබඳව බෞද්ධ උපාසිකාවක් ඒකාන්තයෙන්ම දැනගත යුතුය. එතුමිය වාසය කළ නගරය වේළුකණ්ටයයි. 'වේළුකණ්ටය' යන නාමය එම නගරයට ව්‍යවහාර වූයේ නගරය වටේට ප්‍රාකාර බැඳ, ඒ ප්‍රාකාරයේ සහ නගරයේ ආරක්ෂාවට උණ පඳුරු රෝපණය කොට තිබූ නිසාවෙනි. එතුමියගේ සැබෑ නාමය අප්‍රකට වූ අතර, නන්ද නම් ප්‍රියමනාප පුතකු සිටි නිසා නන්ද මාතා නමින් එතුමිය ප්‍රසිද්ධ වීය.

 

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසන්නට ලැබුණු දා සිට වේළුකණ්ටකී නන්ද මාතාව ගත කළේ ඉතාමත්ම සීලවන්ත හා ගුණවන්ත ජීවිතයකි. ඇයගේ ජීවිතය රහත් තෙරණින් වහන්සේ කෙනකුගේ ජීවිතයක් හා සමාන වූ බවක් පෙනේ. ඇය එතරම්ම ශ්‍රේෂ්ඨ තැනැත්තියක බවට පත්ව සිටියාය.

 

දිනක් රාත්‍රියේ පැසුළු යාමයෙහි අවදි වූ ඇය එම යාමය ධර්මානුකූලව ගත කරන්නේ කෙසේදැයි කල්පනා කළාය. සමහර දිනක ඇය රහත් තෙරණින් වහන්සේ කෙනකු මෙන් සමාධි සුවයෙන් භාවනාවේ යෙදෙමින් රාත්‍රිය ගත කරන්නීය. තවත් දිනෙක ධර්ම මනසිකාරයේ යෙදෙමින් ධර්මානුකූල සිතිවිලි පවත්වන්නීය. මෙදින ඇය තමන්ගේ මතකයේ දරාගෙන සිටි ශ්‍රී සද්ධර්ම කොට්ඨාසයක් වන පරායන ධර්මය මිහිරි හඬින් ගායනා කිරීමට ආරම්භ කළාය.

 

මේ මොහොතේදී චාතුර්මහාරාජික දෙව්ලොවට අධිපති වෛශ්‍රවණ දිව්‍යරාජයා කිසියම් කටයුත්තක් සඳහා උතුරු දිගින් දකුණු දිගට අහසින් ගමන් කරමින් සිටි අතර, එතුමාට සත්බුමුපායේ ඉහළින් ඇසෙන සදහම් ගායනයේ හඬ දෙසවන වැකුණි.

 

සම්‍යක්දෘෂ්ටික දෙවිවරුනට ශ්‍රී සද්ධර්මය මෙන් මිහිරි වූ ප්‍රිය වූ වෙනත් දෙයක් මෙලොව තවත් නැත. දිව්‍යරාජයා යන ගමන නවතා ඒ මිහිරි සද්ධර්ම ගායනය අසමින් අහස් තලයේ නැවතී සිටියේ එහෙයිනි.

 

මෙම පරායන ධර්මය ( නිවන් මඟ හෙළි කෙරෙන ගාථාමය දේශනාව) ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ අයුරින්ම අඩුවක් නැතිව නන්ද මාතාවනුත් කියවනු අැසීමෙන් දිව්‍යරාජයා මහත් සතුටට පත් විය.

 

දේශනාව අවසානයේදී දිව්‍යරාජයා සාදු නාද දුන් අතර, වේළුකණ්ටකී නන්ද මාතාව සාදු නාද දුන්නේ කවුරුන්දැයි විමසීය.

 

" නැඟනියෙනි, මම ඔබගේ සොහොයුරා , වෙසමුණි දෙව් රජතුමා. ඔබේ දේශනාව ඉතාම මැනවි."

යනුවෙන් දිව්‍යරාජයා පිළිවදන් දුනි.

 

"දෙව් රජතුමනි, මා දෙසූ ඒ දහම ඔබතුමාට ආගන්තුක සංග්‍රහයක්ම වේවා!" යනුවෙන් ඈ කිසිදු පැකිළීමකින් තොරව දම් දෙසුමේ පින දිව්‍යරාජයාට අනුමෝදන් කළාය.

 

එයින් වඩාත් සතුටට පත්වූ වෛශ්‍රවණ දිව්‍යරාජයා ඇයට තවත් උසස් කුසල කර්මයකට මං විවර කරන්නට කටයුතු කළේය.

 

" නැඟණියෙනි , හෙට දිනයේ දී සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මහා සංඝයා පිරිවාරා ගෙන දක්ෂිණා ගිරියට වඩිනා ගමනේ මේ වේළුකණ්ට නගරයටත් වැඩම කරනවා.

 

ඒ උතුමන් වහන්සේලා උදෑසන දානය නොවළඳාමයි වැඩම කරන්නෙ.

 

ඒ ආර්ය මහා සංඝයාට හෙට උදෑසන දානය පිරිනමා මටත් ඒ පින අනුමෝදන් කරන්න" යනුවෙන් පැවසූ දිව්‍යරාජයා සමුගෙන පිටමන්ව ගියේය.

ඈ එදා අලුයමින්ම විවිධ ආහාර පාන සූදානම් කොට පහන් වූ පසු අගසව් මහරහතන් වහන්සේලාට ආරාධනා කොට නිෙවසට මහා සංඝරත්නය වඩමවා ගත්තාය.

 

සියතින්ම දන් පිරිනමා මහා කුසලයක් රැස්කර ගත්තාය.

 

සාරිපුත්ත මහරහතන් වහන්සේ දන් වළඳා අවසානයේ ඇයගේ ගුණයන් ලොවට ප්‍රකාශ කරවනු පිණිස ඇගෙන් මෙසේ විමසා සිටි සේක.

 

" මහා සංඝයා වේළුකණ්ට නගරයට වැඩම කරනා බව නුඹ දැනගත්තේ කෙසේද ?"

 

එවිට කලින් දින රාත්‍රියේ සිදුවූ සියලුම සිදුවීම් ඈ මහා සංඝයා ඉදිරියේ නොඅඩුවම ප්‍රකාශ කළාය.

 

" උපාසිකාවනි, මිනිස් කාන්තාවක්ව සිට, වෛශ්‍රවණ දිව්‍යරාජයා වැනි මහානුභාව සම්පන්න දෙවි රජෙකු සමඟ කතාබස් කිරීම ඉතාම දුර්ලභ ආශ්චර්යමත් දෙයක්. ඉතා අද්භූත දෙයක්." සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇයගේ ගුණයන් ඉස්මතු කරන්නට විය.

 

එහිදී ඈ තම ජීවිතයේ විද්‍යමානව පවතින තවත් ආශ්චර්යමත් අත්භූත කරුණු සයක් ප්‍රකාශ කළාය.

 

1. ස්වාමීනී, මට ඉතා ප්‍රියමනාප වූ නන්ද නම් පුතෙකු සිටියා. ඒ පුතුව කිසියම් කරුණක් නිසා රජු අල්ලාගෙන ගොස් දඟගෙයි ලවා පසුව මරණයට පත් කරනු ලැබුවා.

 

නමුත් ස්වාමීනී, ඒ කිසිම විටෙක මගෙ සිතෙහි දුකක් ශෝකයක් හෝ ද්වේශයක් හටගත්තේ නෑ. එය ආශ්චර්යක්.

 

2. ස්වාමීනී, මගෙ සැමියා මියගොස් යක්ෂ නිකායක උපත ලැබුවා. එසේ ඉපදිලා කලින් සිටි ස්වරූපයෙන්ම මා හමුවට එනවා.

 

ඉන් මට කිසිදු බියක් තැති ගැනීමක් ඇති වෙන්නෙ නෑ. එය ආශ්චර්යයක්.

 

3. ස්වාමීනී, මාව විවාහ කොට දුන්නෙ ඉතාම කුඩා වයසේදී. නමුත් විවාහ වූ දා පටන් සැමියා හැර අන් කිසිවකු ගැන මා ප්‍රාර්ථනා කළේ නෑ. කිසිවිටෙක සිහිනෙන්වත් මා සැමියාව ඉක්මවා සිතුවේ නෑ. එය ආශ්චර්යයක් ස්වාමීනී.

 

4. ස්වාමීනී, යම් දිනෙක ලොව්තුරා බුදු බණ අසා උපාසිකා භාවයට පත් වූයෙම්ද, එදා සිට මේ දක්වා එකම ශික්ෂාපදයක්වත් මා බිඳගෙන නෑ. සමාදන් වූ සියලු ශික්ෂාපද මා ආරක්ෂා කළා. එය ආශ්චර්යක්.

 

5. ස්වාමීනී, ආර්ය උතුමකු සේ රූපාවචර පළමු ධ්‍යානයට, දෙවැනි ධ්‍යානයට, තුන් වැනි ධ්‍යානයට හෝ සිවුවැනි ධ්‍යානයට මට වහා සමවැදෙන්න පුළුවන්. කැමති කාලයක් ඒ සමාධියේ සමවැදී සිටින්නටත් පුළුවන්. එය ආශ්චර්යයක්.

 

6. ස්වාමීනී , ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් කාමලෝකයේ උපතට හේතු වන ඕරම්භාගීය සංයෝජන පහක් දේශනා කොට වදාළා. ඒ සියලු සංයෝජන මා දුරුකොට අනාගාමී මාර්ගඵලය ලැබගෙනයි වාසය කරන්නෙ. එය ආශ්චර්යයක්.

 

ආදී වශයෙන් තම ජීවිතයේ ඇති අනෙක් ආශ්චර්යමත් කරුණු හයත් ඈ ප්‍රකාශ කළාය.

 

ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලා අතර අග්‍ර වූ දකුණත්සව් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ සියලු ආශ්චර්යමත් කරුණුවලට ප්‍රශංසා කොට වදාළා.

 

ඇයගේ උතුම් ගුණ නාමය ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනය තුළ ඉරහඳ සේ ප්‍රචලිත වුණා.

 

වේළුකණ්ටකී නන්ද මාතාව

ආර්යමය වූ මහා පෞරුෂයකින් යුතු උතුම් කාන්තා රත්නයකි. සුළු දෙයකිනුත් කලබල වී හඬන වැළපෙන, පසුබසින කාන්තාවනට ඈ මනා ආදර්ශයකි.

 

ජීවිතයේ යථාර්ථය ලොව්තුරා බුදුදහමින් පසක් කළ ඇය, තම එකම පුතුගේ හදිසි මරණයෙන්වත් දුකට ශෝකයට පත් නොවීය. සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවයෙන් යුක්ත යැයි ඈ තමා තුළින්ම ප්‍රත්‍යක්ෂ කොට සිටියාය.

 

එසේම තම මියගිය සැමියා සමඟ නැවත එම ස්වරූපයෙන්ම දැක කතාබස් කරන්නට ලැබුණත් කිසිදු තැති ගැන්මක් ඈ තුළ ඇති නොවීය. ඒ නිර්භය බව සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස, කාමරාග, පටීඝ යන ඕරම්භාගීය සංයෝජන දුරු කිරීමෙන් ඈ හට ලැබී තිබුණි.

 

උත්තරීතර මනුෂ්‍ය ධර්මයන් වන ධ්‍යාන මාර්ග ඵල පවා ලැබීමට තරම් ඈ ප්‍රඥාවන්ත, වීර්යවන්ත හා භාග්‍යවන්ත විය.

 

ත්‍රිවිධ රත්නයේ පිළිසරණ තුළ ඈ දෙලොවම දිනූ අකම්පිත තැනැත්තියක් බවට පත් වීය.

 

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුවින් හොඳම උපාසිකාවන් දෙදෙනාගෙන් එක් උපාසිකාවකි යැයි ප්‍රශංසාවටද පත්විය.

 

මරණින් පසු සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ මහානුභාව සම්පන්න බ්‍රහ්ම රාජයකුව ඉපිද එහිම අර්හත්වයට පත්ව පිරිනි වෙන සුලුව තවමත් එහි ජීවමානව සිටින්නීය.

 

උතුම් වූ ඇයගේ චරිතය සියලුම කාන්තාවෝ තම ආදර්ශය කොටගනිත්වා! දෙලොවම ජය ගෙන නිවනින්ම නිවී සැනසෙත්වා !

 

තෙරුවන් සරණයි !

 

 

අනුශාසනාව

(ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද , සද්ධර්ම භාණක , අභිධර්ම භාණක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි .

සිරි උපාලි ධර්මාශ්‍රමය ,

කුඩා කිවුල, කොට්ටුකච්චිය .