මස් මාංස අනුභවය පවක්ද?

සැප්තැම්බර් 4, 2023

සූත්‍ර පිටකයෙහි මජ්ඣිම නිකායේ ඇති සම්මා දිට්ඨි සූත්‍රය බෞද්ධයාට ඉතාම වැදගත් සුවිශේෂී සූත්‍ර දේශනාවකි. එය දේශනා කොට ඇත්තේ සම්බුද්ධ ශාසනයේ මහා ප්‍රඥාවන්තයින් අතර අග්‍ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසිනි. එම සූත්‍රයෙහි 'සම්මා දිට්ඨිය' දහසය ආකාරයකට විස්තර කොට තිබේ.

පෘතග්ජනයෙකු ආර්ය මාර්ගයට, ආර්ය උතුමෙකු අයුරින් පිවිසෙන්නේ ආර්ය සම්මා දිට්ඨිය ලැබීමෙන් පසුවය. පෘතග්ජන මිනිසුනට මෙම ආර්ය සම්මා දිට්ඨිය පිහිටා නොමැත.

ශ්‍රී සද්ධර්මය තුළට පැමිණි ප්‍රඥාවන්ත ආර්ය ශ්‍රාවකයෙකුගේ සම්මා දිට්ඨිය කෙසේදැයි සම්මා දිට්ඨි සූත්‍රයේ විස්තර කොට ඇති ආකාරයක් මෙසේය.

"යතො ඛො ආවුසො අරියසාවකො අකුසලඤ‍්ච පජානාති, අකුසලමූලඤ‍්ච පජානාති. කුසලඤ‍්ච පජානාති, කුසලමූලඤ‍්ච පජානාති. එත‍්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස‍් සස දිට්ඨි. ධම්මෙ අවෙච්චප‍්පසාදෙන සමන‍්නාගතො ආගතො ඉමං සද‍්ධම්මන‍්ති."

"ඇවැත්නි, යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ අකුසලය හා අකුසලමූලයන් නුවණින් අවබෝධ කරගනීද, කුසලය හා කුසල මූලයන් නුවණින් අවබෝධ කරගනීද, ඇවැත්නි, මෙපමණකින් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වූවා වෙයි. ඔහුගේ අවබෝධය ඍජු වූවා වෙයි. ධර්මයෙහි ගුණ දැන නොසැලෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. මේ නිර්වාණ ධර්මයට (සෝවාන්ව) පැමිණියේ වෙයි."

මෙහිදී පෘතග්ජන හා ආර්ය දෙපිරිසගේ අවබෝධයේ වෙනස අපට පැහැදිලිවම වටහා ගත හැකිය.

සාමාන්‍ය පෘතග්ජනයින් ලෝකයෙහි හොඳ හෝ නරක සිද්ධි වශයෙන් හඳුනා ගනී. නමුත් ආර්ය ශ්‍රාවකයින් හොඳ නරක හඳුනා ගන්නේ සිද්ධීන්ට පදනම් වූ චෛතසික (සිතිවිලි) මූලයන් පදනම් කරගෙනය.

මේ කරුණ තවදුරටත් මෙසේ පැහැදිලි කරගත හැකිය.

මිනිසෙකුගේ කකුලක් කපා දැමීමක් යනු සිද්ධියකි. ලෝකයෙහි හොඳ හෝ නරක, සිද්ධි වශයෙන් පමණක් දකින පෘතග්ජනයාට මෙය නරක කරුණකි. අයහපතකි. වරදකි.

නමුත් ආර්ය ශ්‍රාවකයෙකු මෙවැනි සිද්ධියක් අකුසල කර්මයක් ද? නැතිනම් කුසල කර්මයක් දැයි විනිශ්චය කිරීමට කලබල නොවේ. ආර්ය ශ්‍රාවකයා සොයා බලන්නේ එම සිද්ධියට පදනම් වන චෛතසික මූලයන් පිළිබඳවය.

පෘතග්ජනයෙක් වරදක් පාපයක් ලෙස දකින, කකුලක් කපා දැමීමේ සිද්ධිය ( ක්‍රියාව) දෙවිදියකින් සිදුවන අයුරු විමසා බලමු.

මිනිසෙකු සමග දැඩි වෛරයකින් පෙළෙන සතුරෙකු එම මිනිසාගේ කකුල ද්වේශයෙන් කපා වෙන් කිරීම එක් විදිහකි.

කකුලක තුවාලයක් උඩු දුවන දියවැඩියා රෝගියෙකුගේ ජීවිතය බේරා ගැනීමට කකුල ඉවත් නොකර බැරි වූ විට, ජීවිතය බේරා ගැනීමේ අරමුණින් කරුණා මෛත්‍රියෙන් වෛද්‍යවරයෙකු විසින් කකුල කපා වෙන්කිරීම තවත් විදියකි.

මෙහි පළමුවැන්න සඳහා අකුසල මූලයන් හේතු වූ නිසා එය අකුසලයකි. දෙවැන්න සඳහා කුසල මූලයන් හේතු වූ නිසා එය කුසලයකි.

මේ පෘතග්ජනයෙකු ලෝකයෙහි හොඳ නරක නිගමනය කරනවාට වඩා ආර්ය ශ්‍රාවකයෙකු තුළ ඇති අවබෝධ කරගැනීමේ ප්‍රබල වෙනසකි.

යම් ක්‍රියාවකට ලෝභ, ද්වේශ , මෝහ සිතිවිලි මූල වේ නම් එය අකුසලයකි. අලෝභ , අද්වේශ, අමෝහ සිතිවිලි මූල වේ නම් එය කුසලයකි.

සිද්ධි හෝ ක්‍රියාවන් ඉදිරියට දමා පෘතග්ජනයන් මුළාවට පත් කිරීම ඉතා පහසුය. නමුත් ආර්ය ශ්‍රාවකයෙකු ඒවා දැක මුළාවට පත්වන්නේ නැත.

නිර්මාංස ප්‍රශ්නය යන නමුන් සර්වකාලීන ප්‍රශ්නයක්, අද දක්වා මිනිස් සමාජයේ පවතින්නේ සිද්ධි හා කර්ම වෙන්කර හඳුනා ගැනීමට නොහැකි පෘතජ්ජන මිනිසුන් නිසාය.

දේවදත්ත හිමියන් විසින් ආනන්තරිය පාපකර්මයක් වූ සංඝ භේදය සිදු කිරීම සඳහා ඉල්ලීම් පහක් යොදාගන්නා ලදි.

 

1. භික්ෂූන් වහන්සේලා දිවි ඇතිතෙක් ආරණ්‍යවාසී විය යුතුයි.

2. භික්ෂූන් වහන්සේලා දිවි ඇතිතෙක් වෘක්ෂ මූලයකම විසිය යුතුයි.

3. භික්ෂූන් වහන්සේලා දිවි ඇතිතෙක් පිණ්ඩපාතික විය යුතුයි.

4. භික්ෂූන් වහන්සේලා දිවි ඇතිතෙක් පාංශුකූලික සිවුරු දැරිය යුතුයි.

5. භික්ෂූන් වහන්සේලා දිවි ඇතිතෙක් නිර්මාංසික විය යුතුයි.

යනු ඒ ඉල්ලීම් පහයි.

 

නිර්මාංසික විය යුතුය යන ඉල්ලීමද මෙහි ඇතුළත් වෙයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කැමති අයෙක් ඒවා අනුගමනය කරන ලෙසත්, අනුගමනය නොකළාය කියා එහි වරදක් නැති බවත්ය.

 

හොඳ හෝ නරක, සිද්ධි අනුව පමණක් තීරණය කරන පෘතජ්ජන භික්ෂූන් වහන්සේලා මෙවැනි හොඳ දේවල් භික්ෂූන්ට අනිවාර්යය කළ යුතුයැයි සිතූහ. එයම ධර්මය යැයි සිතූහ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අතහැර දමා ඉක්මනින්ම නිවන් දැකීම පිණිස දේවදත්ත හිමි සමඟ එක්වූහ.

 

පසුව අග්‍රශාවකයන් වහන්සේලා විසින් ඒ නොමඟ ගිය භික්ෂූන් වහන්සේලාට ධර්මය දේශනා කොට සම්මා දිට්ඨිය ඇතිකළ සේක. එවිට මහ රහත් භාවයට පත් වූ ඒ භික්ෂූන් වහන්සේලා කර්ම මූලයන්ට අනුව හොඳ නරක විමසීමේ හැකියාව ලත් බැවින් නැවත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වෙතම වැඩම කළ සේක.

 

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් මාංස වර්ග 10 ක් වැළදීම තහනම් කොට වදාළ සේක. ඒ හේතු කාරණා පදනම් කරගෙනය.

 

1. මිනිස් මස්

2. ඇත් මස්

3. අශ්ව මස්

4. බලු මස්

5. සර්ප මස්

6. සිංහ මස්

7. ව්‍යාඝ්‍ර මස්

8. දිවි මස්

9. වලස් මස්

10. කරබානා වලස් මස්

 

යනු ඒ දහයයි.

 

මෙහි පළමු මාංසය වූ මිනිස් මස් පූජා කිරීම සිදුකළේ සෝවාන් වූ උපාසිකාවක් වන සුප්පියා උපාසිකාව විසිනුයි.

ගිලන් භික්ෂුවකට විරේක කර්මයකින් අනතුරුව මස් රසයක් අවශ්‍යයි කී විට එය පූජා කිරීමට ඇය පොරොන්දු වූ අතර වෙළඳසලේ කිසිදු තැනකින් ඇයට මස් සොයා ගැනීමට නොහැකි විය.

දුන් පොරොන්දුව ඉටුකළ යුතු බැවින් ඉතාමත් ශ්‍රද්ධාවන්ත වූ ඇය මස් කැත්තක් ගෙන ඇයගේම කලවයේ මස් කපා සේවිකාවක ලවා පිළියෙල කොට පූජා කළාය.

එය ගිලන් භික්ෂූන් වහන්සේ නොවිමසා වැළඳු සේක.

සුප්පියා උපාසිකාවගේ විශාල තුවාලය පසු දින එම නිෙවසට වැඩි ලොව්තුරා බුදුරජාණන් වහන්සේව දැකීමත් සමගම එකෙණෙහිම ආශ්චර්යවත් ලෙස බුදුබලයෙන් සුවපත් විය.

මෙම සිදුවීම නිමිති කොටගෙන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මිනිස් මස් වැළඳීමත්, කුමන මසක් දැයි නොවිමසා වැළඳීමත් යන දෙකම තහනම් කළ සේක.

ඇත් මස්, අශ්ව මස් භික්ෂූන්ට ලැබුණේ දුර්භික්ෂ කාලයේ දී පිණ්ඩපාතය වශයෙනි. ඒ දුර්භික්ෂයෙන් මරණයට පත් වූ සතුන්ගේ මස් මිනිසුන් පරිභෝග කරන අතරතුරේය.

භික්ෂූහූ ඒවා වැළඳුහ. සමහර මිනිසුන් 'රජුගේ සේනා අවයවයක් වූ ඇතුන්ගේ හා අශ්වයින්ගේ මස් භික්ෂූන් කෙසේනම් වළඳත් දැ'යි නින්දා කරන්නට වූයෙන් ඒවා වැළඳීම තහනම් කළ සේක.

ඒ නොපැහැදුන අයගේ පැහැදීම පිණිසත්, පැහැදුනු අයගේ පැහැදීම වැඩීම පිණිසත් නිසා බව විනය පිටකයේ මහා වග්ග පාළියේ පැහැදිලි ලෙසම සඳහන් වේ.

එකල නින්දිත සත්ත්වයෙකු ලෙස සැළකූ බල්ලන්ගේ මස් වැළඳීම තහනම් කෙරුණේ ද ඉහත අරමුණින්මය.

සර්ප මාංශ වැළඳීම තහනම් කෙරුණේ මිනිසුන්ගේ අප්‍රසාදය හා සර්පයන්ගේ උවදුරු වලින් වැළකීම අරමුණු කරගෙනය.

සිංහ, ව්‍යාඝ්‍ර, දිවි, වලස්, කරබානා වලස් යන සතුන්ගේ මස් පිණ්ඩපාතේ වඩින භික්ෂූන්ට වැද්දන්ගෙන් පූජා ලැබුණු අතර ඒ මස් වැළඳූ භික්ෂූන් අදාළ සත්ත්වයින් විසින් මස්ගඳ දැනී මරණයට පත් කරන ලදි. භික්ෂූන්ගේ ආරක්ෂාව පිණිස එම මස් වැළඳීම තහනම් කළ සේක.

මේ දශ මාංශයම කර්මයක් පිළිබඳව සළකා තහනම් කළ ඒවා නොවන අතර සංඝ සංස්ථාවේ දිගුකාලීන පැවැත්මම අරමුණු කොට තහනම් කළ ඒවා විය.

නිර්මාංශික විය යුතුයැයි එතැනදීද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නොවදාළ සේක.

මුලින් නිගණ්ඨ ශ්‍රාවකයෙකු වූ සීහ සේනාපතිතුමා පසුව ලොව්තුරා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා අවබෝධයට පත් විය. ඔහු විසින් ප්‍රවෘත්ත මාංශයෙන් යුක්තව දානයක් පිළියෙල කොට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පිරිණැමීය.

එවිට නිගණ්ඨ ශ්‍රාවකයින් තැන තැන රැස් වී , සීහ සේනාපති මහා සිව්පාවෙකු මරා මස්කොට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා පිදූ බවත්, එය දැන දැන බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා එය වළඳන බවත් කියමින් නින්දා කරන්නට විය.

එය අසන්නට ලැබුණු අවබෝධයට පත්ව සිටි සීහ සේනාපතිතුමා පැවසූයේ , අන්‍යතීර්ථකයින් ත්‍රිවිධ රත්නයට නින්දා කිරීමට කොහොමත් කැමති බවත්, නමුත් තමන් දැන දැන කවරදාකවත් ප්‍රාණඝාතය නොකරන බවත්ය.

අවබෝධයට පත් වූ ආර්ය ශ්‍රාවකයා නිර්මාංශික බව ශීලයක් ලෙස නොදුටු අතර ප්‍රාණඝාතය කිසි ලෙසකවත් අනුමත නොකළේය. මෙය ධර්මානුලෝම වන්නේ කෙසේදැයි බොහෝ දෙනෙකුට ගැටලු ඇතිවේ.

ඒ කලින් කී පරිදිම සිද්ධීන් හා කර්ම වෙන්කර හඳුනාගන්නට තරම් සම්මා දිට්ඨිය වැඩී නැති නිසාය.

"කන නිසානෙ මරන්නෙ. කවුරුත් නොකෑවොත් කවුරුත් සත්තු මරන්නෙ නෑනේ " යනු ඔවුන්ගේ තර්කයකි.

සැබවින්ම මිනිසුන් ප්‍රාණඝාතයන් සිදුකරන්නේ මස් කෑම පිණිසමද? බෙහෙත් ද්‍රව්‍යය සකස් කිරීමට, ගොවිතැන් කටයුතු කිරීමට, තම ආරක්ෂාව පිණිස, විනෝද ක්‍රිඩා පිණිස ආදී බොහෝ අරමුණු නිසා මිනිස්සු සතුන් මරති. මිනිසුන් මදුරුවන් මරන්නෙත් මස් ගැනීම පිණිසද? නැත.

එසේම ඊළඟට සියලු මිනිසුන්ව එක් මතයකට, එක් සීලයකට කවදාවත් පමුණුවා ගත නොහැකිය. මිනිස්සු විවිධාකාර අදහස් හා ආකල්ප වලින් පිරුණු අය වෙති. එබැවින් සියලු දෙනාම නිර්මාංශික කිරීම යනුද සිහිනයකි.

එබැවින් නොකළහැකි දෙයක් කළ හැකිය සිතීමම එවැන්නෙකුගේ පටු මානසිකත්වය විදහා දැක්වීමකි.

ඉල්ලුමට අනුව සැපයුම යනු සිද්ධියක් මිස කර්මය විදහා දක්වන්නක් නොවේ.

 

මාංශ වැළඳීම ප්‍රාණඝාතයට සම්බන්ධයක් ඇති වීමට නම් චේතනාත්මකව ඊට සම්බන්ධ විය යුතුය. එසේ සම්බන්ධයක් හෝ ඇති වේ නම් ඉන් වැළකිය යුතු බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

 

ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් අනුමත කොට වදාළේ එබැවිනි.

 

1. අදිට්ඨං - තමා උදෙසා මැරූ බව නොදුටු.

2. අසුතං - තමා උදෙසා මැරූ බව නොඇසූ.

3. අපරිසංකිතං - තමා උදෙසාම මරා පිළියෙල කළේ දැයි සැකයක් හෝ නොමැති මාංශ වැළඳීමට අනුමැතිය දුන් සේක.

 

අහම්බෙන් පිඬුසිඟා වඩින භික්ෂුවක් දකිනා අයෙකු, ඒ මොහොතේ සැදැහැ සිතක් උපදවා, නිවසේ පිළියෙල කොට තිබෙන මස් සහිත ආහාර පිදීමේ දී කිසිඳු අයුරකින් ඒ ආහාරය වළඳන භික්ෂුව ප්‍රාණඝාතයට සම්බන්ධ වී නොමැත.

එසේම භික්ෂුවකට දානය වැළඳීම යනු රස තෘෂ්ණාව සන්තර්පණය කිරීමක් නොවේ.

අයෙක් ඉතා ආශාවෙන් තෘෂ්ණාවෙන් එළවළු සමඟ බත වළඳයි.

තවත් අයෙක් ජීවිතය පවත්වා ගැනීමේ අරමුණ පමණක් තබාගෙන නුවණින් විමසා තෘෂ්ණා විරහිතව මාංශ සහිත බත වළඳයි.

මේ දෙකෙන් සිද්ධි අනුව ලෝකය දකින පෘතජ්ජනයාට දෙවැන්න වැරදිය.

නමුත් කර්ම මූල අනුව කුසලය අකුසලය විමසන විට පළමු නිර්මාංශික වැළඳීමම අකුසලය බව ආර්ය ශ්‍රාවකයෙකුට වටහා ගත හැකිය.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මග පෙන්වන්නේ ලෝකයා සමග ඔට්ටු වී ලෝකය වෙනස් කරන්නට තනන ධර්මයක් නොවන අතර, විසමාකාර ලෝකයක් තුළ අභ්‍යන්තර කෙලෙසුන් නැසීමට මග පෙන්වන උත්තරීතර ධර්මයකි.

බෞද්ධයින් වටහාගත යුතු වැදගත්ම කාරණයක් වන්නේ ලොව්තුරා බුදු දහම උගත යුත්තේ තම තමන්ගේ මතිමතාන්තර අනුව නොවන බවත්, එය හදාළ යුත්තේ පිරිසිදු ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය අනුවම බවත්ය.

අංගුත්තර නිකායේ , පංචක නිපාතයේ 'මනාප දායී' නම් සූත්‍රයක් වේ. එහි මෙසේ දැක්වේ.

“සම‍්මුඛා මෙතං භන‍්තෙ භගවතො සුතං සම‍්මුඛා පටිග‍්ගහීතං ‘මනාපදායී ලභතෙ මනාප’න‍්ති මනාපං මෙ භන‍්තෙ සම‍්පන‍්නකොලකං, සම‍්පන‍්නසූකරමංසං. තං මෙ භගවා පතිගණ‍්හාතු අනුකම‍්පං උපාදායා”ති. පටිග‍්ගහෙසි භගවා අනුකම‍්පං උපාදාය"

"භාග්‍යවතුන් වහන්ස, ‘මනාප දෑ දෙනුයේ මනාප දැය ලබා’යී යන මෙය මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදි. හමුයෙහි පිළිගන්නා ලදි. වහන්ස, මට ඩෙබරපල එක් කොට පිසූ ළපටි ඌරුමස් මනාප ය. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස මාගේ ඒ සූකරමාංසය පිළිගන්නා සේක්ව”යි. බුදුහු අනුකම්පා පිණිස පිළිගත්හ." යනුවෙන් දැක්වේ.

මෙසේ නොයෙක් තැන ලොව්තුරා බුදුරජාණන් වහන්සේත්, මහ රහතන් වහන්සේලාත්, රහත් තෙරණින් වහන්සේලාත් මාංශ පිළිගත් අවස්ථා දක්නට ලැබේ.

ඒ උතුමන් වහන්සේලා කරුණා මෛත්‍රීයෙන් පූර්ණව වැඩසිටි උතුමන් වහන්සේලාය.

දානය වැළඳූ අතර ප්‍රාණඝාතය අනුමත නොකළ සේක. එය සම්මා දිට්ඨියෙන් යුතු අයෙකුට පැහැදිලිව වටහා ගත හැකිය. එය එසේමදැයි යමෙකුට සිතේ නම් ඔහුට තවදුරටත් ධර්ම ඥානය දියුණු කරගත යුතුව තිබේ.

නමුත් කිසිම විටෙක ආහාරයෙහි රසයට නොඇලිය යුතුය. මස් රසයට ඇලීමත් සංසාර ගමනේදී බොහෝ අකුසල් රැස් වීමට හේතුවක් වේ. එබැවින් රස තෘෂ්ණාවෙන් මිදිය යුතුය.

ගිහි ශ්‍රාවකයින්ට ද ප්‍රවෘත්ත මාංශය කැපය. ප්‍රවෘත්ත මාංශය යනු තමන් විසින් නොමැරූ, නොමැරවූ, අනුබල නොදුන් මාංශයය. එනම් හදිසියේ වෙළඳසැලට යන විටක විකිණීම පිණිස තබා ඇති මසය. එම ප්‍රාණඝාතය කෙරෙහි කිසිඳු චේතනාත්මක බැඳීමක් ඔහුට නොමැත.

 

කෙනෙකුට නිර්මාංශික බව රුචි නම්, එය එසේම රැකගැනීම යහපති. එය ඔහුට හෝ ඇයට සුවයකි. සැපයකි. නමුත් එය සීලයක් යැයි වරදවා වටහා නොගත යුතුය. එය තම තමන්ගේ පෞද්ගලික තීරණයක් පමණි.

 

සෑම විටකම කුසලය හෝ අකුසලය එයට පදනම් වූ කර්ම මූලයන් අනුවන තීරණය කරන්නට පුහුණු වන්න. එය මාර්ගඵල අවබෝධය පිණිස වන ප්‍රඥාව උපදවා ගැනීමට ඒකාන්තෙන්ම හේතුවනු ඇත.

 

තෙරුවන් සරණයි !

 

 

ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද , සද්ධර්ම භාණක , අභිධර්ම භාණක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි .

සිරි උපාලි ධර්මාශ්‍රමය ,

ආණමඩුව,

කුඩාකිවුල , කොට්ටුකච්චිය