වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
අහේතුකව නින්දා ලබන්නට වන්නේ ඇයි?
සතුටින්, සැනසීමෙන් කීර්තිමත්ව සිටීමට අපි සැවොම කැමති වෙමු. කිසිවිටකත් නින්දා අපහාස ලැබීමට කැමැති නොවෙමු. නමුත් අටලෝ දහමට යටත් වූ අප සැමට ප්‍රශංසාව මෙන්ම නින්දාවද පොදු වූ ධර්මතා වන්නේය.
' ලෝකයෙහි නින්දා නොලැබූවෙක් නම් නැත' යනුවෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට තිබේ.
නින්දා ලැබීම් ආකාර දෙකකි. ඒ සහේතුකව නින්දා ලැබීම හා අහේතුකව නින්දා ලැබීම වශයෙනි.
සහේතුකව නින්දා ලැබීමටත් වඩා අහේතුකව නින්දා ලැබෙන විට දැනෙනා පීඩාව වැඩිය. නොකළ වරදකට නින්දා අපහාස ලැබීම දුක්බර කාරණයකි.
එසේ නොකළ වරදකට නින්දා අපහාස අවලාද වරින්වර හෝ නිරතුරුවම ලබන්නට වූ විට සාමාන්‍ය ප්‍රතිචාරය වන්නේ ගැටීම ද්වේශය ඇතිකර ගැනීමයි. එවිට නින්දා කළ අයට පෙරළා නින්දා කරන්නට පුද්ගලයා ක්‍රියාත්මක වෙයි. පළිගැනීමට හෝ සිතයි. නැතිනම් හඬයි වැලපෙයි. ජීවිතය නැතිකර ගැනීමට හෝ සිතයි.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයට අනුව මෙවැනි දේකට හේතු වන්නේ කුමක්ද ? එයට මුහුණ දිය යුත්තේ කෙසේද? යන කරුණු අපි විමසා බලමු.
ලොව්තුරා ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශ්වයේ පහළ වීමට පෙර කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහළ වී වදාළා. ඒ යුගයේ ඉතාමත් සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා දෙනමක් ආරණ්‍යගතව භාවනා වඩමින් කළ්‍යාණ මිත්‍රත්වයෙන් වාසය කළා.
ලොව්තුරා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අවුරුදු විසිදහසකට පූර්ණායුෂ ඇති කාලයක පහළ වී සිටි නිසා අද කාලයේ වගේ නොවෙයි ප්රාතිමෝක්ෂ දේශනාව සහ පොහොය කිරීම මාස හයකට වරකුයි පනවා වදාළේ.
ඒ උපෝසථ දිනය කිට්ටු වෙද්දි මේ මිත්‍ර භික්ෂූන් වහන්සේලා දෙනම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හමුවෙහි පොහොය කරන්නට බලාපොරොත්තුවෙන් ආරණ්‍යයෙන් පිටත් වී බුදුරජාණන් වහන්සේ වැඩසිටි විහාරයට වඩින්නට තීරණය කළා.
මේ වනාන්තරයේ භූමාටු ( පොළොව ඇසුරු කරගත් ) දේවතාවෙක් වාසය කළා. කාලයක් තිස්සෙ එම දේවතාවා විසින් මේ දෙනමගේ කළ්‍යාණ මිත්‍රත්වය පිළිබඳව හරිම වුවමනාවෙන් නිරීක්ෂණය කළා. මේ දේවතාවට ඒ අතරෙ මෙහෙම සිතිවිල්ලක් සිතුණා.
'මේ භික්ෂූන් වහන්සේලා දෙනමගෙ මිත්‍රත්වය ලේසියෙන් බිඳදාන්න පුළුවන් එකක් ද? නැතිනම් ඉතා බලවත් එකක්ද? කියලා පරීක්ෂා කරන්න ඕනේ' කියලා.
එහෙම හිතපු දේවතාවා මේ දෙනම පසුපසින් ගියා. භික්ෂූන් වහන්සේලාට වැඩම කරන්න තිබුණෙත් වනාන්තර සහිත මාර්ගයකිනුයි.
මේ අතරතුරේ ජල පහසුකම සහිත ප්‍රදේශයකදී එක් භික්ෂූන් වහන්සේ නමක් වැසිකිළි කැසිකිලි අවශ්‍යතාවයක් සඳහා වනාන්තරය තුළට පිවිසුණා. අනෙක් භික්ෂූන් වහන්සේ මාර්ගයට වී මඳක් නැවතී සිටියා. ශරීර කෘත්‍ය සඳහා වැඩම කළ භික්ෂුව තරමක් ප්‍රමාද වුණා.
ඒ අතරෙ අර දේවතාවා සුන්දර කාන්තාවකගේ වේශයක් මවා ගත්තා. ශරීර කෘත්‍ය සිදුකොට වැඩමකරන භික්ෂූන් වහන්සේලා පසුපසින් වැලි පිසිමින්, ඇඳිවත සකසමින්, කොණ්ඩය සකසමින් කලබලයෙන් මෙන් පැමිණ කැලයට දිවගියා.
මාර්ගයේ බලා සිටි භික්ෂුව මේ සියල්ල දුටුවා. උන් වහන්සේට අනෙක් භික්ෂුව පිළිබඳව දැඩි සැකයක් සහ පිළිකුලක් ඇතිවුණා. ඒ මොහොතෙම මිත්‍රත්වය අත්හැරියා.
අනෙක් භික්ෂුව මේ කිසිවක් දන්නෙ නෑ. උන් වහන්සේ නැවත නැවත පැහැදිලි කළා තමන් වහන්සේ ඉතා කුඩා හෝ ඇවතක් සිදුකොට නැති බව. නමුත් දේවතාවා මවා පෙන්වූ කාන්තා රුව දුටු භික්ෂුව ඒ මොහොතේම වෙන්ව වැඩම කරන්නට වුණා.
මේ දෙනම නැවතත් පොහොය කරන්නට ගිය විට සීමාවේදී එකිනෙකා දැක අඳුනාගත්තා. එවිටම මෙවැනි පාපී දුශ්ශීලයෙකු සමඟ මම පොහොය කරන්නෙ නැතැයි සිතූ අනෙක් භික්ෂුව සීමාවෙන් පිටතට පැමිණියා.
දේවතාවාට තමන් සිදුකළ කටයුත්තේ බරපතළකම මේ වෙද්දි වැටහිලයි තිබුණේ. කොහොම හරි නැවත දෙදෙනා වහන්සේලාව මිත්‍ර කරන්නට දේවතාවාට අවශ්‍ය වුණා.
උපාසක වේශයක් මවාගත් දේවතාවා සීමාවෙන් පිටත සිටි භික්ෂුවගෙන් පිටතට පැමිණ සිටීමට හේතුව විමසුවා. එසේම තමන් අතින් වූ වරදට සමාව ඉල්ලුවා. තමන්ගේ දේව ස්වරූපය පෙන්වා එම ස්ත්‍රී රූපයෙන් සිට මිත්‍රත්වය පරීක්ෂා කළේ තමන් බවද පැහැදිලි කළා.
එවිට එම භික්ෂුව කාරණය වටහාගෙන නැවත සීමාවට ගොස් පොහොය කරන්නට කටයුතු කළා. නමුත් නැවත කවමදාකවත් අර කළ්යාණමිත්රත්වය ගොඩනැඟුණේ නම් නෑ.
චෝදනා ලැබූ භික්ෂුව ඒ ජීවිතයේම භාවනා වඩලා අර්හත්වයට පත්වුණා. අනෙක් භික්ෂුව කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියා. දේවතාවා දේවත්වයෙන් චුත වෙලා නිරයේ උපත ලැබුවා.
එයට හේතු වුණේ ඉතාම සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේ නමකට අභූත චෝදනාවක් ඇති කිරීම. බුද්ධාන්තරයක් පුරා නිරා දුක් විඳලා යම් ජීවිතයක මිනිසත් බව ලැබුවනම් ඒ සෑම ජීවිතයකදීම අනුන් කළ වැරදිත් ඔහු පිටම වැටුණා. නිරන්තරයෙන් අභූතයෙන් නින්දා අපහාස ලබන්නට සිදු වුණා. හඬන්නට වැලපෙන්නට සිදු වුණා.
ලොව්තුරා ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වුණාම කුණ්ඩධාන තෙරුන් වහන්සේ නමින් පැවිදි ජීවිතයට පත්වුණේ මොහුයි.
පැවිදි වූ දින සිට ඉතා පුදුම සහගත දෙයක් සිදුවෙන්නට පටන් ගත්තා. ඉතා සුන්දර ස්ත්‍රී රූපයක් කර්මජව නිර්මාණය වුණා. ඈ තෙරුන් වහන්සේ සමඟම තැනින් තැන ගමන් කරනවා. නමුත් තෙරුන් වහන්සේට මේ රුව පේන්නේ නෑ.
හැමෝම නින්දා අපහාස කරන්න ගත්තා. ගල්මුල්වලින් පහර දුන්නා. තරුණ භික්ෂූන් වහන්සේලා බොහෝම දෝෂාරෝපණය කරන්නට වුණා. දුශ්ශීලයෙක් විදියට හංවඩු ගැහුවා.
මේක දරාගන්න බැරි වූ කුණ්ඩධාන තෙරුන් වහන්සේ පෙරළා තමන්ට නින්දා කරන්නන්ට නින්දා කරන්නට පටන් ගත්තා. දෝෂාරෝපණ කළා.
ඒ පිළිබඳව දැනුවත් වූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කුණ්ඩධාන තෙරුන් වහන්සේව තමන් වහන්සේ වෙත ගෙන්වා වදාළ.
"මාවොච ඵරුසං කඤ්චි,
වුත්තා පටිවදෙය්‍යු තං.
දුක්ඛා හි සාරම්භකථා,
පටිදණ්ඩා ඵුසෙය්‍යු තං"
නින්දා කරන්නවුන්ට නැවත නින්දා නොකරන ලෙසත් ,මේ තමන්ගේ පූර්ව කර්මයක් බවත්, තමන් කරන නින්දාවලට තමන්ටම විපාක ලැබෙන බවත් පැහැදිලි කරමින් අනුශාසනා කරනු ලැබුවා.
කොසොල් මහ රජුටත් මේ පිළිබඳව ආරංචි වෙලා කුණ්ඩධාන තෙරුන් වහන්සේ ඇත්තටම දුශ්ශීල භික්ෂුවක් දැයි පරීක්ෂා කරන්නට පැමිණියා.
ඈතින් ස්ත්‍රී රුව පෙනුණත්, ළං වූ විට අතුරුදහන්ව යන බව නිරීක්ෂණය කළ රජතුමා එය කර්ම විපාකයක් වන්නට ඇතැයි තීරණය කළා. නින්දා අපහාස කරදර ලබමින් පිණ්ඩපාතය නොවඩින්න යැයි ඉල්ලීමක් කොට සියලු ප්‍රත්‍ය පහසුකම් විහාරයටම සලසා දුන්නා.
ඒ නිසා කුණ්ඩධාන තෙරුන් වහන්සේට සුවසේ භාවනා කරන්නට ඉඩකඩ ලැබුණ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා සියලු කෙලෙස් නසා උතුම් අර්හත්වයට පත්වෙලා සසර දුක කෙළවර කොට වදාො.
මේ ජීවිතය තුළ අපි නොකළ වැරැදිවලට නින්දා ලබන්න පුළුවන්. නිරතුරුවම අපහාස ලබන්න පුළුවන්. ඊට හේතුව පෙර භවයක අප විසින්ම අනුන්ට නින්දා අපහාස කරමින් රැස්කළ කර්මයක් වෙන්නට පුළුවන්.
ඒ නිසා ඉතා ඉවසීමෙන් බුද්ධිමත්ව ඒවාට මුහුණ දෙන්නට ඕනේ.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දෙන්නෙ පූර්ව කර්මයන්හි විපාක ලැබෙද්දි, අනාගතයේ තවතවත් දුක් විඳින්න නව අකුසල කර්ම රැස්කරගන්න එපා කියලයි.
අටලෝ දහම තේරුම් ගන්න. අධ්‍යාත්මිකව ශක්තිමත් වෙන්න. තේරුම් ගන්නෙ නැති, ඇහුන්කන් නොදෙන අයට නැවත නැවත අපි නිවැරැදියි කියලා පැහැදිලි කරන්න වෙහෙසෙන්න අවශ්‍ය නෑ. ඔබට ඔබ විශ්වාස නම් ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න.
ඒ කර්මය දැන් ගෙවී අවසන් වෙනවනෙ කියා සැනසෙන්න. නව අකුසල කර්ම රැස් වන්නට නොදී ඉවසීමෙන් මෛත්‍රී සිතිවිල්ලෙන් ජීවිතය ගත කරන්න.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අපිට උපදෙස් දෙන්නෙ එකටෙක කරන්න එපා. තළන්න තළන්න මුවහත් වෙන ලෝහයක් වගේ අටලෝ දහමින් නොසැලී ජීවිතයේ පන්නරය ලබමින් දෙලොවම දියුණුව සලසා ගන්නා ලෙසටයි.
එය උතුම් සැනසිල්ලට මාර්ගයයි.
තෙරුවන් සරණයි !
අනුශාසනාව
(ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද , සද්ධර්ම භාණක , අභිධර්ම භාණක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි .
සිරි උපාලි ධර්මාශ්‍රමය , කුඩා කිවුල, කොට්ටුකච්චිය)