වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ඇයි මිනිසුන් මේ තරම් පිරිහෙන්නේ
සංඛාර ලෝකය, සත්ත්ව ලෝකය, අවකාශ ලෝකය යන ත්‍රිවිධාකාර වූ ලෝකයන් නිරවශේෂයෙන් අවබෝධ කොට වදාළ ලෝකවිදූ වූ අසමසම මහා පුරුෂයාණන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේය. ඒ සර්වඥ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වනාහී අතීත වර්තමාන අනාගත යන තුන්කල්හිම විශ්වයෙහි පැවැත්ම, ස්වාභාවය අවබෝධ කොට වදාළහ.
අද වර්තමානයේ මනුෂ්‍ය සමාජය තුළ වෙනදාට වඩා අසහනය, අතෘප්තිය, ද්වේශ බහුලබව වර්ධනය වී තිබේ.
සමාජ අපරාධ, වෛරී පලිගැනීම්, මනුෂ්‍ය ඝාතන නිරතුරුවම වාගේ ලෝකය තුළ අසන්නට දකින්නට ලැබේ. ඉවසීම, කරුණාව, මුදිතාව ආදී ගුණදහම් මනුෂ්‍ය වර්ගයා කෙරෙන් දිනෙන් දින ඈත් වනුද දක්නට ලැබේ.
මෙයට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක්ද ? ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව දේශනා කොට ඇත්තේ කෙසේද ? අද ලිපියෙන් අපි ඒ පිළිබඳව විමසා බලමු.
චක්කවත්ති සීහනාද සූත්‍රය ආදී සූත්‍රයන්හි දී හේතුඵල දහම ඉස්මතු කරමින් රජුගේ හෙවත් පාලන තන්ත්රයේ අදැහැමි බව හා පාලිතයන්ගේ යහපත සඳහා පාලකයින් යුතුකම් ඉටු නොකිරීම මත ක්‍රමක්‍රමයෙන් සමාජ අසහනය වැඩි දියුණු වන ආකාරය පැහැදිලි කොට දී තිබේ.
පාලකයින්ගේ අදූරදර්ශී ආත්මාර්ථකාමි හැසිරීම් රටාව මත පොදු මහජනතාවට තම අවශ්‍යතා හා වුවමනාවන් ඉටුකර ගැනීමට ප්‍රමාණවත් මූල්‍ය පසුබිමක් නොලබන අතර එය අතෘප්තිකර අසහනශීලී බව ඇතිවීමට ප්‍රධාන හේතුවකි. ඒ මත ඊළඟට මානසික නොඉවසිල්ල, ද්වේශ අධික බවට හේතු වී අපරාධ බහුල වූ සමාජ පසුබිමක් නිර්මාණය වේ. මේ ආසන්න හේතුවයි. නමුත් විශ්වයේ මූලික ධර්මතා අනුව මීටත් එහා ගැඹුරු පසුබිමක්, අපරාධ බහුල, ද්වේශ බහුල පසුබිමක් ඇතිවීම පිණිස හේතු වෙයි. එය නම් කාල විපත්තියයි.
මෙය වටහා ගැනීම සඳහා කල්ප විනාශය යන මාතෘකාව පිළිබඳව දැනගත යුතුයි. එහිලා 'කල්පය' යන ප්රස්තුතයත් විමසා බැලිය යුතු වේ.
කල්පය යනු සිතාමතා විමසා දතයුතු කාලය යන්නයි. එනම් නිශ්චිතව අරුත් සීමාකොට දැක්විය නොහැකි බුද්ධිමය චින්තනය අනුව විමසා වටහා ගත යුතු කාල පරිච්ඡේදය යන්නයි.
බෞද්ධ සාහිත්‍යයේ ඉගැන්වෙන කල්ප හතරකි.
1. මහා කල්පය
2.වට්ට (අසංඛ්‍ය) කල්පය
3.අන්තර් කල්පය
4.ආයු කල්පය
යනු ඒ කල්ප හතරයි.
මෙහි මහා කල්පය යනු ගණනකින් දැක්විය අපරිමිත කාලයකි. එය බොහෝ විට විශ්ව පුඤ්ජයක ආයු කාලයට සමාන වේ.
සහශ්‍රී ලෝක ධාතුව හෙවත් මෙම චක්‍රාවාටය විශ්වය පිළිබඳව කතා කිරීමේදී කුඩාම ඒකකය ලෙස බුදුරජාණන් වහන්සේ භාවිතා කොට තිබේ. චූලනිකා ලෝක ධාතුව යනුද ඊට නමකි. එවැනි චක්‍රාවාට දහසකට පමණ ද්විසහශ්‍රී ලෝක ධාතුව හෙවත් මධ්‍යම ප්‍රමාණයයේ ලෝක ධාතුවකැයි ව්‍යවහාර කොට තිබේ.
එවැනි මධ්‍යම ප්‍රමාණයේ ලෝක ධාතු දහසකට පමණ මහා සහශ්‍රී ලෝක ධාතුව හෙවත් මහා ලෝක ධාතුව යැයි ව්‍යවහාර කොට තිබේ.
මෙම මහා සහශ්‍රී ලෝක ධාතුවත් ඇතුළත්ව ඉන් එහාටත් ඇති කොටස චක්‍රාවාට පුඤ්ජයකට අයත් වේ.
වැනසෙන විට මේ චක්‍රාවාට පුඤ්ජයම ක්‍රමක්‍රමයෙන් වැනසී යයි. මෙවැනි චක්‍රාවාට පුඤ්ජ අනන්ත ප්‍රමාණයකින් විශ්වය සෑදී තිබේ.
චක්‍රාවාට පුඤ්ජයක ආයු කාලය මහා කල්පයක් යැයි කී විට එය නැවත 'වට්ට' හෙවත් අසංඛ්‍ය කල්ප හතරකට බෙදා දැක්වේ. ඒවා නම්,
1. සංවට්ට - ලෝක ධාතුව වැනසෙමින් පවතින අති දීර්ඝ කාලය.
2. සංවට්ඨායි - ලෝක ධාතුක වැනසී ශුන්‍යව පවතින කාලය.
3. විවට්ට - ලෝක ධාතුව නැවත හේතුඵල දහමින් නිර්මාණය වෙමින් පවතින කාලය.
4. විවට්ඨායි - ලෝක ධාතුව නිර්මාණය වී ජීවයට හිතකරව පවතින කාලය.වශයෙනි.
මෙම කාල පරිච්ඡේදයන් නිශ්චිතවම සංඛ්‍යාවලින් ගණනය කොට දැක්වීම කළ නොහැකි නිසා අසංඛ්‍ය කල්ප නාමය ඒවාට ව්‍යවහාර වේ.
අන්තර් කල්පය යනු ඉහත දැක්වූ අසංඛ්‍ය කල්පයක් නැවත බෙදෙන අතුරු කාලවකවානුය. විවට්ඨායි හෙවත් ලෝක ධාතුව ජීවයට සුදුසුව නිර්මාණය වී පවතින කාල වකවානුව අන්තර් කල්ප 64කට බෙදේ. (සමහර බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථයක අන්තර් කල්ප 20කැයි දක්වා තිබේ.) එවිට මහා කල්පයට අන්තර් කල්ප 256 කි.
ආයු කල්පයක් යනු අන්තර් කල්පයක් තුළ ඒ ඒ කාලවකවානු තුළ මනුශ්‍ය වර්ගයාට පූර්ණායුශ යැයි හිමිවෙන කාල සීමාවයි.
අන්තර් කල්පයක් උත්සර්පණී යුග හතරකින් හා අපසර්පණී යුග හතරකින් සමන්විත වේ. ඒ මෙසේය.
අපසර්පණී යුග හතර.
1. සත්‍යය යුගය
2.කෘත (ත්‍රෙට) යුගය
3.ද්වාපර යුගය
4.කලි යුගය.
උත්සර්පණී යුග හතර
1. කලි යුගය
2. ද්වාපර යුගය
3. කෘත ( ත්‍රෙට) යුගය
4. සත්‍යය යුගය
වශයෙනි.
අපසර්පණී යුගවල දී මිනිස් ගුණධර්ම ක්‍රමක්‍රමයෙන් පිරිහී යන අතර උත්සර්පණී යුගවලදී මිනිස් ගුණධර්ම ක්‍රමක්‍රමයෙන් වැඩීමට පත්වේ. සත්‍යය යුගයේ දී මනුෂ්‍ය වර්ගයා තුළ ගුණධර්ම ඉහළය. දස කුසල් වැඩි දියුණු කෙරේ. මිනිසාගේ පූර්ණායු කාලයද ඉතා ඉහළ මට්ටමක පවතී. මේ අන්තර් කල්පයක් තුළ මනුෂ්‍ය වර්ගයාගේ වඩාත් සංවර්ධිතම කාල පරිච්ඡේදයයි.
එම යුගයේ මිනිසුන්ගේ ගුණධර්ම පිරිහීමෙන් කෘත හෙවත් ත්‍රෙට යුගය උදාවේ. එම යුගයේ මිනිසුන් 75% පමණ ගුණධර්ම සහිත වේ.
එම යුගයද පිරිහීමෙන් ද්වාපර යුගය උදාවේ. යහපත හා අයහපත සමසමව පවතින කාලවකවානුවයි. එම යුගයෙන් පසු ගුණ දහම් ශුන්‍යව යන යුගය හෙවත් කලි යුගය ආරම්භ වේ. මෙම යුගයේ දී මිනිසා ක්‍රමක්‍රමයෙන් තාක්ෂණයෙන් දියුණු වන අතර අධ්‍යාත්මික දියුණුවට එතරම් නැඹුරු නොවේ. දස කුසල් කිරීමට ද නැඹුරු නොවේ. අධර්මයට ප්‍රිය වේ. ක්‍රමක්‍රමයෙන් ගුණධර්ම පිරිහීමට පත්වේ.
එය නතර වන්නේ මිනිසුන් තිරිසන් මෘගයන් වැනි මට්ටමට පත්වීමෙන් අනතුරුව සිදුවන මහා විනාශයකිනි. එම විනාශය මහා සත්ත්ව විනාශය යනුවෙන් බුදුදහමේ හඳුන්වා තිබේ. එයටම අන්තර් කල්ප විනාශය යන නාමයද ව්‍යවහාර කෙරේ.
මෙය මහා කල්ප විනාශය නොවන අතර, මහා කල්ප විනාශයේ දී චක්‍රාවාට පුඤ්ජයම විනාශවන අතර අන්තර් කල්ප විනාශයේ දී මනුෂ්‍ය වර්ගයා පමණක් මහා විනාශයකට පත් වේ.
මහා සත්ත්ව විනාශයකට පසු ඉතිරිවන මිනිසුන් කිහිපදෙනා අධර්මය පිළිබඳව කලකිරී එකින් එක ගුණධර්ම දියුණු කිරීමට පටන් ගැනීමෙන් ක්‍රමක්‍රමයෙන් නැවත සත්‍යය යුගය දක්වාම දියුණුව ඇතිවේ.
අද අප ජීවත් වන්නේ කලි යුගය තුළයි. කලි යුගය තුළ මැද භාගයේදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විශ්වයට පහළ වී වදාළහ. ඉන් අනතුරුව අප දැන් කලි යුගයේ අඳුරු භාගයට තල්ලු වෙමින් පවති.
පසුගිය කාලයේ ලෝක විනාශය පිළිබඳව වරින් වර මිනිස් වර්ගයා අතර කතාබහක් ඇති විය. දියුණුයැයි සිතා සිටින මිනිසුන් එය දෙස බැලුයේ වපර ඇසිනි. සැබවින්ම එය පෘථිවියේ විනාශය සිදුවන මහා කල්ප විනාශය පිළිබඳව දැනුම් දීමක් නොවන අතර මනුෂ්‍ය වර්ගයාගේ පරිහානියෙහි එක් සංධිස්ථානයක් ඉක්මවාලීම පිළිබඳව දැනුම්වත් කළ සංඥාවකි.
දැන් කලි යුගයේ මධ්‍යයෙන් කෙළවරට අපි ගමන් කරමින් සිටින්නෙමු. එනම් ක්‍රමක්‍රමයෙන් සත්ත්ව විනාශය ආසන්න වෙමින් පවතී.
සෑම අන්තර් කල්ප විනාශයක්ම සිදුවන්නේ එකම ආකාරයකින් නොවේ. විනාශය සිදුවන ආකාරය, මිනිසුන් අතර උත්සන්න වන ක්ලේශ ධර්මය අනුව තීරණය වේ. මිනිස් වර්ගයා තුළ සාපේක්ෂව ලෝභය අධික වී නම් මහා දුර්භික්ෂයකින් අන්තර් කල්ප විනාශය සිදුවේ.
මෝහය අධික වී නම් වසංගතයකින් මහා සත්ත්ව විනාශය සිදු වේ. ද්වේශය අධික වී නම් මහා ලෝක යුද්ධයකින් මහා සත්ත්ව විනාශය සිදුවේ.
මෙවර මනුෂ්‍ය වර්ගයා විනාශයට පත්වන්නේ ද්වේශය අධික වී මහා යුද්ධයකින් බව චක්කවත්ති සීහනාද සූත්‍රය හා එහි අටුවාවේ දක්වා තිබේ.
මින් ඉදිරියට කොපමණ තාක්ෂණය දියුණු වුවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දෙසූ පරිදිම අපරාධ බහුල වෙමින් මිනිස් වර්ගයාගේ ආයු කාලය අඩු වී යනු ඇති. තවත් අවුරුදු හය දහසකට අධික කාලයක් ඉක්මී ගිය පසු මිනිසාගේ ආයු කාලය වසර දහයකට අඩු වනු ඇති. ඒ යුගයේ නොවටින තෘණ පත්‍රයකින් පවා මිනිසුන් මැරිය හැකි නාශක අවියක් නිර්මාණය කෙරෙන තාක්ෂණයක් මිනිසුන් අතර පවතිනු නොඅනුමානය. තෘණ පත්, මිනිසුන් නසන කඩුපත් වේයැයි අටුවාවේ පවසා ඇත්තේ එහෙයිනි.
ඉන්පසු මිනිසාගේ මනස විපරීත කෙරෙන මුරුගසන් වර්ෂාවෙන් අනතුරුව සතියක මහා යුද්ධයක් සිදුවන බව ධර්මයෙහි දක්වා තිබේ. ආරක්ෂිතව ඉතිරි වන මිනිසුන් ස්වල්පයක් හැර සමස්ත මනුෂ්‍ය වර්ගයාම එකම මස් ගොඩක් බවට පත් වී විනාශ වී යනු ඇත. ඒ ඉතිරි වන පිරිස ගුණධර්ම දියුණු කිරීම ආරම්භ කොට මනුශ්‍ය වර්ගයා ගුණයෙන්, සැපයෙන්, ආයුෂයෙන් වැඩුණු කළෙක නැවතත් ලෝකයේ මෛත්‍රී ලොව්තුරා සම්බුදුරජාණන් වහන්සේ පහළ වන බව චක්කවත්ති සීහනාද සූත්‍රයෙහි දේශනා කොට තිබේ.
එබැවින් මේ පරිහානි කාලයේ දී දියුණු කළයුතු සුදුසුම දෙය වන්නේ ධර්මානුකූල බවයි. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව යන උතුම් බඹ විහරණ දියුණු කිරීම භාවිතයට ගැනීම මේ මහා විනාශය මොහොතකින් හෝ ප්‍රමාද කිරීමට උපකාරී වන්නකි.
ඒ කෙසේ වෙතත් අධර්මයේ සැඩ පහරට හසු නොවී මෙලොව පරලොව යන දෙලොවින්ම සැනසීමට, දියුණුවට පත්වීමට සිව්බඹ විහරණ දියුණු කිරීම හා ප්‍රතිපදාව වැඩීම ඔබට මට ඒකාන්තයෙන්ම හේතු වාසනා වනු ඇත.
එබැවින් නිත්‍ය ශීලය වූ පංච ශීලය ආරක්ෂා කරන්න. දිනපතා මෛත්‍රී භාවනාවෙයි යෙදෙන්න. වෛරී ප්‍රතිපදාවෙන් මිදී මෛත්‍රී ප්‍රතිපදාවට පැමිණ දෙලොවින්ම සැනසෙන්න.
තෙරුවන් සරණයි !