වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ලෝභකම නිසා තිරිසන් කුලයේ උපන් තෝද්‍යෙය සිටුවරයා
මිනිසාට ජීවත් වීමට ධනය අවශ්‍යයි. ධනය මිනිසුන්ගේ ජීවිත සැපවත් කරන්න මෙන්ම දුක්ඛිත කරන්නටත් හේතු වෙනවා. ඇතැම් මිනිස්සු තමන්ට ලැබුණු ධනය නිසි පරිදි පරිහරණය නොකොට එම ධනයට ආසාවෙන් මිය පරලොව ගොස් දුගති ආත්මභාවයන්හි උපත ලබනවා. එම නිසා ධනය නිසි කළමනාකරණයකින් යුතුව පරිභෝජනය කිරීම දෙලොව ජීවිතයම යහපත් කර ගැනීම සඳහා ඉවහල් වෙනවා.
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටින කාලයේ තෝදෙය්‍ය කියලා බ්‍රාහ්මණයෙක් ජීවත් වුණා. මේ සිටුවරයා කොසොල් මහා රජතුමාගේ ප්‍රධාන පුරෝහිතයෙක් ලෙස සේවය කළා. මේ සිටුවරයාට විශාල ධනයක් තිබුණත් ඔහු එම ධනය නිසි පරිදි පරිහරණය කළේ නැහැ. ලෝභීව කටයුතු කළ මෙම සිටුවරයා කිසිවෙකුට කිසිම දෙයක් කිසිම දවසක දුන්නේ නැහැ.
තෝදෙය්‍ය සිටුවරයාට ප්‍රියමනාප, මනා රූප සම්පත්තියක් තිබුණු පුතෙක් සිටියා. එම පුතාගේ නම සුභ. තමන්ගේ පුතාටවත් මෙම සිටුවරයා මේ විශාල ධනය නියමිත පරිදි පරිහරණය කරන්න, භාවිතා කරන්න අවස්ථාවක් දුන්නේ නෑ. තෝදෙය්‍ය සිටුවරයා සතු සියලුම ධනය ඔහු පොළොව යට තැම්පත් කළා. ඒ බව තමන්ගේ පුතාටවත් කිව්වේ නැහැ. මේ සිටුවරයා මෙහෙම ජීවත් වෙලා ඉඳලා මිය පරලොව යනවා.
දිනක් බුදුරජාණන් වහන්සේ මේ තෝදෙය්‍ය සිටුවරයාගේ නිවසට වැඩම කළා. එදා තෝදෙය්‍ය සියුවරයාගේ පුත් සුභ මානවකයා තම සිටු මැඳුරේ සිටියේ නැහැ. සිටු මැඳුරේ සේවය කරන සේවක සේවිකා පිරිස පමණයි සිටු මාලිගාවේ සිටියේ. බුදුන් වහන්සේ මෙම සිටු මැඳුරට වැඩම කරන අවස්ථාවේදී මේ මැඳුරේ ජීවත් වන බලු පැටියෙක් බුදුන් වහන්සේගේ ඉදිරියට බුරාගෙන ආවා. එම අවස්ථාවේදී බුදුන් වහන්සේ මේ බලු පැටියාට කියනවා, “තෝදෙයිය ඔබ මනුස්ස ලෝකේ ඉන්න විටත් මට බිරුවා. දැනුත් බුරනවා. ඔබ පැත්තකට වෙලා ඉන්න කියලා” බුදුන් වහන්සේ තමාගේ ඉදිරියට බුරාගෙන ආපු බලු පැටියට කිව්වා. එම අවස්ථාවේ දී මේ බලු පැටියට ලැජ්ජ හිතිලා වගේ ගිහිල්ලා කුස්සියේ තියෙන ලිපේ අළුගොඩේ ලැගලා හිටියා.
සුභ මානවකයා සිය නිවසින් බැහැරව ගොස් නැවත නිවසට පැමිණෙද්දි මුලින්ම සුභ මානවකය පිළිගන්නේ මේ බලු පැටියා. නමුත් එදා සුභ මානවකයා පිළිගන්න මේ බලු පැටියා ආවේ නෑ. සුභ මානවකයා මේ ගැන සේවක කාරකාදීන්ගෙන් විමසුවා.
ඒ වෙලාවෙදි සිටු මැඳුරේ ජීවත් වන එක සේවකයෙක්, උදෑසන බුදුන් වහන්සේ සිටු මාළිගාවට වැඩම කළ බවත් බුදුන් වහන්සේ මෙම බලු පැටියාට ඔබේ පියාගේ නම කියා කතා කළ බවත් ඉන්පසු බලු පැටියා කුස්සියේ අළුගොඩේ සිටින බවත් සුභ මානවකයාට පැවසුවා.
මෙය ඇසූ සැණින් කෝපයට පත් සුභ මානවකයා බුදුන් වහන්සේ මුණ ගැසීමට ජේතවනාරාමයට ගොස් කිසිම ගරු සරුවක් නැතුව මේ පිළිබඳව බුදුන් වහන්සේගෙන් විමසුවා. ඒ වෙලාවේදී බුදුන් වහන්සේ සුභ මානවකයාගෙන් විමසනවා, මානවකය, ඔබේ පියා කොසොල් මහා රජතුමාගේ පුරෝහිත බමුණා. ඔහුට විශාල ධනයක් තිබුණා. ලක්ෂයක් වටින රන් බන්දේසියක් තිබුණා. ලක්ෂයක් වටින රන් පාවහන් යුගලක් තිබුණා. ලක්ෂයක් වටින රන් මාලයක් තිබුණා. කෝ ඒවා පියා ඔබට ඒවා දුන්නද? නැහැ. එහෙනම් ගෙදර තියෙනවද? නැහැ. එහෙනම් කෝ ඒ වස්තුව?
බුදුන් වහන්සේ නැවත විමසනවා, ඒ වස්තුව ඔබට ලැබෙනවා නම් කැමතිද? ඒ වෙලාවෙදි සුභ මානවකයා එක්වරම පිළිතුරක් නොදී බුදුන් වහන්සේට කියනවා “එම වස්තුව ලැබුණොත් හොඳයි” කියලා. ඒ වෙලාවෙදි බුදුහාමුදුරුවෝ කියනවා ඔබේ පියා තමයි ඔය නිවසේ බලු පැටිය වෙලා ඉපදිලා තියෙන්නේ. සුභ මානවකයා මේක පිළිගන්න කැමතිම නැහැ. එම අවස්ථාවේදී බුදුන් වහන්සේ කියනවා මට ඒක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. සුභ මානවකය කියනවා, එහෙනම් ඔබවහන්සේ ඒක ඔප්පු කරලා පෙන්නන්න.
බුදුරජාණන් වහන්සේ සුබ මානවකයාට කියනවා “ ඔබ බලු පැටියාව හොඳට ඇල් දියෙන් නාවා දිය නුමුසු කිරිබතක් උයා, බලු පැටියාට කන්න දෙන්න. සුළු වෙලාවකින් බල්ලට නින්ද ගිය පසු උගේ ඔලුව අත ගා “තාත්තේ ඔබේ ධනය ගොඩක් තිබුණා ඒ ධනය ඔබ මට දුන්නේ නැහැ. අනේ තාත්තේ ඒ වස්තුව මට ලබා දෙන්න” එතකොට වස්තුව ලැබේවි කියලා.
බුදුන් වහන්සේ සඳහන් කළ ආකාරයට කළ පසු, මේ සුනඛයා අඩ නින්දෙන් වගේ ඇහැරී සිටු මැඳුර වටේ රවුම් කිහිපයක් ගොස් උගේ දෑතින් තැන් කීපයක් හෑරුවා. සුභ මානවකයා මෙම ස්ථාන හාරා බලන විට සඟවා තිබූ වස්තුව හමුවුණා.
සුභ මානවකයාට සඟවා තිබූ විශාල වස්තුව ලැබුණු නිසා සතුටකුත් තම පියාණන් තිරිසන් ආත්මභාවයේ උපන් නිසා දුකකුත් ඇති වුණා. පසුව සුභ මානවකයා බුදුන් වහන්සේ හමුවට ගොස් මිනිසුන් අතර විවිධත්වයක් ඇතිව උපදින්නට හේතුවන කාරණාවන් 14ක් පිළිබඳව විමසුවා .එම ප්‍රශ්න 14 හා පිළිතුරු 14 මජ්ඣිම නිකායේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ සඳහන් වෙනවා.
මිනිසුන්ගේ ජීවිත ආලෝකමත් කරන්නට මෙන්ම අඳුර කරන්නට ද තම තමන් සිදු කරනු ලබන ක්‍රියාවන් හේතු වන බව මෙම කතා පුවතින් පැහැදිලි වෙනවා. විශාල ධනයක් තිබුණත් තුමන තනතුරක් දැරුවත් දරුවන් සිටියත් ඒ කිසිවෙකුටවත් ඔබ සුගතිගාමී හෝ දුගතිගාමී කරන්නට හැකියාවක් නැහැ. එම නිසා ජීවත් වන කෙටි කාලය තුළදී තමාට ලැබුණු වස්තුව, ධනය නිසි පරිදි පරිහරණය කරමින් ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න ඔබ උත්සාහ කරන්න. කෙතරම් ධනය තිබුණත් ඔබට ඒ ධනයෙන් කළ හැක්කේ දත්වා ච - දීම හා භුත්වා ච අනුභව කිරීම පමණයි. අනුභව කළ දෙයින් එම මොහොතේ යම් තෘප්තියක් ලැබූව ද ඒ පිළිබඳ සිතා සතුටු විය නොහැක. එම නිසා හැකි සෑම අවස්ථාවකම පරිත්‍යාගය හෙවත් දන් දීම පුරුද කරන්න. එය ඔබට මෙලොව ජීවිතයේ සතුටට හේතු වන්නාක් මෙන්ම පරලොව සුගතිගාමීව උපදින්නට ද හේතු වේ. දානය හෙවත් අත්හැරීම පුරුදු පුහුණු කිරීම බෞද්ධ වන ඔබට නිවන ළඟා කර ගැනීමට ද උපකාරී වේ.