වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
බුද්ධිය තිබෙනවා නම් නිර්මාණශීලී කාන්තාවකට ස්වයං රැකියාවකින් දියුණු වෙන්න පුළුවන්
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනී කේෂලා ජයවර්ධන
සතෙන් සතේ එකතු කරලා එකතු කරලා ඉතිරි කිරීමේ ගිණුමක දාමු. මීට දශක කිහිපයකට පෙර අපේ රටේ ජනතාවට ඉතිරිකිරීමේ වටිනාකම කියාදුන් ජාතික ඉතිරි කිරීමේ බැංකුව ප්‍රචාරය කළ වෙළෙඳ දැන්වීමක ජනප්‍රිය දෙබසකි. එදා එලෙස ජනතාවට ඉතිරිකිරීමේ වටිනාකම කියාදෙමින් ජාතික මෙහෙවරක නියැළුණු ඉතිරි කිරීමේ බැංකුව මේ වනවිට අපේ රටේ ජනතාවට මූල්‍ය සෙවණ දෙන දැවැන්ත වනස්පතියක ලෙස වැඩී සිටී. පවුලක දියුණුවේ රහස වන්නේ මවකගේ නැතිනම් ගෘහණියකගේ එසේත් නැතිනම් කාන්තාවගේ අරපරෙස්සම සහ ඉතිරි කිරීමේ ගුණයයි. පවුලක දියුණුව රටේ දියුණුවයි. ඉතිරි කිරීමේ ගුණය ඇති මවක, ගෘහණියක ලෙස ජීවිතයේ සාර්ථකත්වය සොයා ගිය ඇය අද ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මුල් පුටුව හොබවන්නීය. විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරියක, දේශපානඥවරියක ලෙසත් බැංකු ක්ෂේත්‍ර යේ සාර්ථක පරිපාලකවරියක ලෙසත් අත්දැකීම් සම්භාරයකින් පරිපූර්ණවූ කේෂලා ජයවර්ධන නම් වූ ඇය අපේ රටේ කාන්තාවන්ගේ ජීවිත නඟා සිටුවීමේ අභියෝගාත්මක කාර්ය භාරය පිළිබඳව ‘ජීවිතය අර්ථවත් කළ ඇය‘ විශේෂාංගයෙන් තරුණී පාඨක ඔබ අමතන්නීය.
මුලින්ම ඔබ කවුද කියලා හඳුන්වා දෙමින් කතාව ආරම්භ කරමු.
මම ඉපදුණේ සාමාන්‍ය පවුලක. මම ගියේ ගමේ පාසලට. පාසල් ගියේ සෙරෙප්පු සපත්තු නැතුව. මගේ තාත්තා වෘත්තියෙන් රියැදුරෙක්. මගේ අම්මා ඉතාමත්ම හොඳ පෞරුෂයක් තියෙන ගෘහණියක්. මගේ පවුලේ සහෝදර සහෝදරියෝ දහ දෙනයි. දෙන්නෙක් පිරිමි. අටදෙනෙක් ගැහැනු. මගේ තාත්තා මට වයස අවුරුදු 14 දී මියයනවා. එතකොට අපි ඉතාමත්ම පුංචි ළමයි. අපිට ලස්සන ගෙයක් දොරක් තිබුණා. එච්චරයි අපිට ඉතුරුවෙලා තිබුණේ. තාත්තාට පැන්ෂන් එකක්වත් තිබුණේ නැහැ. සුවිශේෂත්වය කියන්නේ මගේ අම්මා හරිම දිරිය කාන්තාවක්. අම්මාගෙන් තමයි අපිටත් ඒ ධෛර්යවන්තකම ලැබුණේ. අපිට ඉතිරි කරන්න සල්ලි තිබුණේ නැහැ. අඩුම තරමේ හාල් මිටක් වත් ඉතිරි කරන්න තිබුණේ නැහැ. මම හරිම ආසයි මගේ ඒ ජීවිත කතාව එළියට යනවට. එය තමයි කාන්තාවකට අභිමානයක් එකතුවෙන තැන. මට අද කියන්න පුළුවන් මම ආවේ අරහෙන් මෙහෙන් කුරුඳු වත්තෙන් කියලා. අද මම කොළඹ හතේ තිබෙන නිළ නිවාසයක හිටියට මම ජීවිතය පටන් ගත්තේ ඉතාම පහළ තැනකින්. මම බොහොම අමාරුවෙන් අකුරු කළේ. නමුත් ඉතාමත් අමාරුවෙන් ඉගෙන ගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරෙනවා. අවසානයේ මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව විශේෂවේදී උපාධිය හදාරනවා. ඊට පස්සේ මම ශාස්ත්‍රපති උපාධිය හදාරනවා. මට එතැන්ට යන්න මුදල් තිබුණේ නැහැ. මට මගේ වත්මන් ස්වාමි පුරුෂයා හම්බවෙන්නේ ඒ වෙලාවේ. මට අවුරුදු 17යි එයාට 18යි. එයා මම හින්දාම අධ්‍යාපන කටයුතු අතහැරලා රැකියාවක් කරන්න පටන් ගන්නවා. එයා ඒ රැකියාව කරමින් මාව පෝෂණය කළා. මට අධ්‍යාපනය ලබලා දුන්නා. මාව හැම තිස්සෙම පාඩම් කරන්න උනන්දු කළා. එහෙම යන ගමනෙදි මට පුළුවන් වුණා මේ රටේ ඉහළම තැනකට එන්න. ඒක ලෙහෙසියෙන් ආව ගමනක් නෙමෙයි.
මම උපාධි දෙකක් සමත්වෙලා හැම තැනම රස්සාවල් හොයාගෙන ගියා. ලංකාවේ මම නොගිය තැනක් නැහැ රස්සාවල් හොයාගෙන. මන්ත්‍රීවරු ගාවට ගියා. ඒත් මට රැකියාවක් සොයාගන්න බැරිවුණා. හැබැයි මම හැම වෙලේම ගියේ මගේ අම්මාත් එක්ක. එහෙම නැත්නම් මගේ පෙම්වතා එක්ක. අවසානයේදී මම ජාතික ඉතිරි කිරීමේ බැංකුවටත් ආවා විධායක ශ්‍රේණියේ තනතුරක් සඳහා සම්මුඛ පරීක්ෂණයට. ඒක තමයි අභියෝගය. සුදුසුකම් සියල්ල සම්පූර්ණ කළ නිසා මුල් පරීක්ෂයෙන් සමත්වෙලා මම දෙවැනි පරික්ෂණයටත් මුහුණ දුන්නා. එතැනදීත් මම සාර්ථකව ප්‍රශ්නවලට පිළිතුරු දුන්නා. ඒත් අවසානයේ මට ඒ අවස්ථාව හිමිවෙන්නේ නැහැ. නමුත් දෛවය කියන්නේ සුදුසුකම් තිබිලා හොඳීන් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නත් කැපිලා ගිය මම අද ඒ බැංකුවේම සභාපතිත්වයට පත්වීමයි.
මේ ගමනේදී මම වින්ද දුක් අපමණයි. මගේ සහෝදර සහෝදරියෝ විවාහ වෙලා ගියාට පස්සේ මට අම්මා විතරයි හිටියේ. හැබැයි එතැනින් පස්සේ මගේ දුප්පත්කම ගැන හරියට හිතුවා. ඇයි මට මෙහෙම වුණේ කියලා හිතුවා. මම ගොඩක් පොත් පත් ලිව්වා. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් වුණා. වසර 14ක් මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය තනතුර දැරුවා. මම කඳුරට සංවර්ධන බැංකුවේ සභාපති තනතුරට පත්වුණේ ඉන් පස්සේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මට ඉවත්වෙන්න සිද්ධවෙන්නේ කාන්තාවන්ට සිදුවන ප්‍රචණ්ඩත්වය හේතුවෙන්. අවුරුදු 14ක් රැකියාව කරලත් ඒ වගේ දේවල්වලට මුහුණ දෙන්න සිදුවුණා කියන දේ හිතා ගන්නත් අමාරු ඇති. ඒත් ඒක තමයි ඇත්ත. එතැනින් මම කඳුරට සංවර්ධන බැංකුවට ගිහින් වැඩ කරන්න පටන් ගත්තා. මගේ බල ප්‍රදේශයේ ඉන්න කාන්තාවන් මූලික කරගෙන විශාල වැඩ කොටසක් කරන්න මට හැකිවුණා. වෙළෙඳ පොළේ තිබුණු ජින්ජර් බියර් පානයට අවශ්‍ය ඉඟුරු ටික ඒ ප්‍රදේශයේ කාන්තාවන්ගෙන් සපයන්න පුළුවන් වුණා. බඩ ඉරිඟු වවලා තායිවානයට යැව්වා.
ඡායා - රංජිත් අසංක
2020/02/05 තරුණි බලන්න