බතික් නිර්මාණය කර අතමිට සරු කර ගන්න

පෙබරවාරි 10, 2021

 

බතික් කියන්නේ අපේ රට ජාත්‍යන්තරයේ පවා ප්‍රසිද්ධියට පත් කළ සුවිශේෂී කලාවක්.

නිර්මාණශීලී හැකියාවක් ඇති කාන්තාවකට ඉතාමත් පහසුවෙන් මේ කලාව ඉගෙන ගත හැකියි.

ඒ නිසාම ගෘහ කර්මාන්තයක් ලෙස බතික් නිර්මාණ කිරීමෙන් ඔබට ආර්ථිකය ලාභයක් ගන්න පුළුවන්. ඒ අනුව දැන් අපි බතික් නිර්මාණයක් කිරීමට අවශ්‍ය උපකරණ ගැනත් ඒ සඳහා අවශ්‍ය වර්ණ හා රසායනික සංයෝග ගැනත් පෙර පාඩම් වලදී ඔබව දැනුවත් කළා. අද එතැන් සිට දැනුවත් වෙමු.

බතික් නිර්මාණයක් සිදු කරන ප්‍රධාන කොටස් දෙක

බතික් කලාවේ වැදත්ම අංගය වන්නේ ඒ සඳහා යොදා ගන්නා විවිධ වර්ණ අඩංගු ඩයි වර්ගයි. මෙම ඩයි වර්ග යොදා ගැනීමේදී විවිධ ක්‍රම උපයෝගී කරගනු ලැබේ. අපි එම ක්‍රම එකින් එක විශ්ලේෂණය කර ගනිමු. බතික් ඩයි ක්‍රම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කර ඇත.

1 ප්‍රධාන බතික් ක්‍රමය

2 ද්විතියික බතික් ක්‍රමය

ප්‍රධාන බතික් ක්‍රමය

ප්‍රධාන බතික් ක්‍රමය අනු කොටස් තුනකට බෙදා වෙන් කරනු ලැබේ.

1 නැප්තෝල් බතික් ක්‍රමය -

නැප්තෝල් බතික් ක්‍රමය ලෙස දක්වා ඇත්තේ නැප්තෝල් සමඟ ඩයි එකතු කිරීමෙන් කරන බතික් කිරීමේ ක්‍රමයයි. මෙම ක්‍රමයේදී අලංකාර වර්ණ රාශියක් සාදා ගත හැකිය. නැප්තෝල් ක්‍රමය ගැන හොඳ අවබෝධයක් ඇතිකර ගැනීමෙන් ඔබට ඉතා අලංකාර බතික් නිර්මාණ කරගත හැකිවනු ඇත.

2 වැට් බතික් ක්‍රමය –

වැට් ඩයි ක්‍රමයේදී වර්ණ සමග නයිට්‍රෝ කෝස්ටික් සෝඩා භාවිතා කරනු ලබයි. ඇතැම් වර්ණ සඳහා සෝඩා ඈෂ් යොදාගනු ලබනවා. මෙම ක්‍රමයට කපු රෙදි පමණක් නොව සිල්ක් රෙදි ද බතික් කිරීමේ හැකියාව ඇත.

3 ගෝෂන් බතික් ක්‍රමය

ගෝෂන් බතික් ක්‍රමයේදී සෝඩා ඈෂ් ඩයි සහ කෝස්ටික් සෝඩා යොදා ගනියි. ඉතා අලංකාර වර්ණ රාශියක් මෙම ක්‍රමයේදී ද අපට ලබාගත හැකිය. ද්විතියික බතික් ක්‍රමයක් වන ටයි ඇන්ඩ් ඩයි ක්‍රමයට බතික් කිරීමේදී ද මෙම අලංකාර වර්ණ භාවිතා කරනු ලබයි. මෙම බතික් ක්‍රමය වානිජමය අතින් ද ලාභදායක් බතික් ක්‍රමයක් ලෙස දැක්විය හැකිය.

ද්විතියික බතික් ක්‍රමය

ද්විතියික බතික් ක්‍රමය ද ටයි ඇන්ඩ් ඩයි ක්‍රමය සහ ජාවා ක්‍රමය ලෙස කොටස් දෙකකට බෙදා වෙන්කර දැක්විය හැකිය.

1 ටයි ඇන්ඩ් ඩයි බතික් ක්‍රමය

ද්විතියික බතික් ක්‍රම අතරින් ටයි ඇන්ඩ් ඩයි ක්‍රමය ඉතා ජනප්‍රිය බතික් ක්‍රමයකි. ටයි ඇන්ඩ් ඩයි ක්‍රමය ජනප්‍රිය විමට හේතු වි ඇත්තේ එහි භාවිත කරන අලංකාරවත් වර්ණ හා ඩයි කිරීමට පහසු විමය. එසේම ටයි ඇන්ඩ් ඩයි බතික් ක්‍රමයේදී විවිධ ක්‍රම රාශියකට වර්ණ කළ හැකි විමත් විශේෂත්වයකි. එසේම මෙම ක්‍රමයට බතික් කිරීමේදී වැක්ස් කිරීම (ඉටි යෙදීම) අවශ්‍ය නොවෙයි. රෙදි කැබැල්ල විවිධ ක්‍රම භාවිතා කර නැවීම ගැට ගැසීම ඇඹරීම සිදු කරමින් වර්ණ ගන්වනු ලබයි.

2 ජාවා බතික් ක්‍රමය

මෙය ද වර්තමානයේ ජනප්‍රිය බතික් ක්‍රමයකි. එයට හේතුව පහසුවෙන් විවිධාකාර වර්ණ ගැන්වීමේ හැකියාවයි. ජාවා බතික් ක්‍රමයේදී ගෝෂන් ඩයි භාවිතා කරයි. ඊට අමතරව යූරියා, වේටින් ඒජන්ට් (Wetting agent),, ලෙවල් ඒජන්ට්  (Leveling agent)  යොදාගනු ලබයි.

මෙම බතික් පාඩම් මාලාව හොඳින් අධ්‍යයනය කරන්න. අභ්‍යාසයේ යෙදෙන්න. අවසානයේ ඔබ සාර්ථක බතික් නිර්මාණ ශිල්පිනියක වන බව ස්ථිරය. එහිදී පාඨමාලාව සාර්ථකව නිමකරන තරුණී පාඨක ඔබට වටිනා සහතිකයක් පිරිනැමීමට අප සූදානම්.

ඒ සඳහා ඔබ කළ යුත්තේ මේ පාඩම් මාලාව පලකෙරෙන තරුණී පිටුව කපා එකතු කිරිමත්, අවසානයේ පවත්වන පරීක්ෂණයට ඔබගේ නිර්මාණශීලී හැකියාව පෙන්වීමත් පමණයි. ඒ පිළිබඳව වැඩිදුර විස්තර ඉදිරි කලාපවලින් බලාපොරොත්තු වන්න.

ඉහත අප විසින් දක්වන ලද ක්‍රම වලට බතික් නිර්මාණ කරගන්නා ආකාරය පියවරෙන් පියවර ඉදිරිපත් කිරීමට අප අදහස් කරන අතර බතික් කිරීමේදී ඔබ ඇතිවන ගැටලු තරුණි වෙත ලියා එවන්න. එම ගැටලු වලට පිළිතුරු ලබාදීම ද මෙම පාඩම් මාලාව අතරම සිදු කිරීමට අප කැමැත්තෙන් සිටින්නෙමු.

ලබන සතියේ පහසු ටයි ඇන්ඩ් ඩයි ක්‍රමයට ඔබගේ විසිත්ත කාමරය අලංකාර කරගැනීමේ නැවුම් අදහසක්. සහ ටයි ඩයි ක්‍රමයට කුෂන් කවර නිර්මාණයක් නිර්මාණය කරගන්නා අන්දම

 

ඉදිරිපත් කිරීම kenuri batik  ආයතනයේ අධිපතිනි

එච්. චන්දිමා ද සිල්වා

 

ඡායා -ආසිරි උපේන්ද්‍ර ඩයස්