එනසාල් හරියට වගා කළොත් ගොඩ යන්න පුළුවන්

නොවැම්බර් 29, 2021

අපේ මුළුතැන්ගෙය රසයෙන් මෙන්ම සුවඳින් ද පුරවාලන තවත් රසකාරකයකි එනසාල්. ආහාර රසගන්වන්නට නැතිවම බැරි මේ එනසාල් එහෙමත් නැතිනම් වැඩි දෙනකු දන්නා හඳුනන කරදමුංගු ජනප්‍රියව ඇත්තේ කුළුබඩු ලොව අග රැජන ලෙසිනි.

මසාලා මිශ්‍රණයට ආවේණික රසය සුවඳ එකතු කරන මේ කරදමුංගු මස් ව්‍යංජනයේ රසය දෙගුණ තෙගුණ කරලයි. ඒවාගේම ඕනෑම රස කැවිල්ලක රස වැඩි කරන්නත් කරදමුංගු කරල පේවී සිටින්නේ එයා මිරිස් රසට වාගේම පැණි රසටත් ඔට්ටුයි කියලා අපට කියන්න වාගෙයි.

කුළුබඩු ලොව අග රැජන කියන නමට ගැළපෙන්න වාගේ ලොව වටිනාම කුළුබඩු අතර ඉහළම ස්ථානයක වැජඹෙන්න එනසාල්වලට හැකියාව ලැබී තිබෙනවා. ඒ කොහොමද කියලා කියනවා නම් මේ දිනවල වියළි එනසාල් කිලෝ එකක වෙළෙඳපොළ වටිනාකම රුපියල් 10000ට වැඩි මිස අඩුවක් නැහැ.

ඒ නිසාම කාන්තා ඔබේ අතමිට සරුකර ගන්න මේ එනසාල් කදිම අපනයන කෘෂි භෝගයක් ලෙසින් හඳුන්වා දිය හැකියි. අවම තරමේ එක් කරදමුංගු පඳුරක් හෝ ඔබේ ගෙමිදුලට එකතු කරගත හැකි නම් මුළුතැන්ගෙයි රසකාරක උදෙසා වැයවන මුදල තරමක් හෝ අඩු කරගත හැකියි නේද?

 

පාරිසරික සාධක

එනසාල් භෝගය ලංකාව තුළ හොඳින් ස්ථාපනය වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම සමඟ ලැබුණු දේශගුණික, පාරිසරික සහ පාංශු සාධක නිසාවෙනි. හරියටම කියනවා නම් මුහුදු මට්ටමේ සිට මීටර හයසියයකට වඩා උස මධ්‍යම කඳුකරයේ තෙත් සහ අතරමැදි කලාප තම රජදහන කරගැනීමට ඇයට හැකියාව ලැබී තිබෙනවා. ඔබට මතක නම් කාලයකට පෙර නකල්ස් කඳුවැටිය කියද්දි ඒ එක්කම කියැවෙන අනිත් වචනය වුණේ එනසාල්. ඒ තරමටම මේ රැජන තම අණසක වනදහන පුරාම පතුරවාගෙන හිටියා. නමුත් කාලයත් එක්කම මේ රැජනට වාසයට සුදුසු වෙනත් රාජධානි හොයාගන්න සිදුවුණේ පාරිසරික කරුණු හේතු කරගෙන නකල්ස් කඳුවටියේ එනසාල් වගාවට තහංචි වැටුණ නිසා.

 

වනය අහිමි වූ අග රැජින අපේ ගෙවත්තට

දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළේ ඉහළ මිලක් ලැබෙන නිසාම එනසාල් භෝගයට තියෙන ඉල්ලුම දිනෙන් දිනම ඉහළ ගියා. ඒ අතර ඉල්ලුමට සරිලන සැපයුමක් නැතිවීම ගැටලුවක්. ඉතින් ඒ නිසාම දැන් ඔබටත් පුළුවනි එනසාල් නිෂ්පාදනයට එකතුවන්න. ඔබට තිබෙන්නෙ නාගරික පෙදෙසක කුඩා ගෙවත්තක් වෙන්න පුළුවනි. එහෙමත් නැත්නම් ග්‍රාමීය පෙදෙසක වැඩි ඉඩක් සහිත තරමක විශාල ගෙවත්තක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ ඕනෑම ගෙවත්තක ගෙවතු වගාවක්, තනි වගාවක් හෝ අතුරු භෝග වගාවක් වශයෙන් එනසාල් වවන්න ඔබට හැකියි. “දැන ගියොත් කතරගම ,නොදැන ගියොත් අතරමග” කියලා ඔබ අහලා ඇති. එහෙනම් වගාවට කලින්ම ඒ ගැන දැනගෙනම අපි මේ ගමන යමු .

 

ගෙවත්තට ගැළපෙන එනසාල්

ඔබ වගාකරන ප්‍රදේශයට ගැළපෙනම එනසාල් වර්ගය තෝරාගැනීම තමයි එනසාල් වගාවේ ප්‍රධානම රහස. එහෙම නැති වුණොත් ශාක හොඳින් හැදුණට කරල් ගන්න එක නම් හීනයක්. රැජනක් වුණාම එහෙම තමයි. නොගැළපෙන රාජධානියක පූදින්න එයා වුණත් අකැමැති ඇති.

ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන එනසාල් වර්ග තුනක් දැකිය හැකියි. එනම් මලබාර්, මයිසූර් සහ වාසුක්කා වශයෙන්.

 

මලබාර් වර්ගය

මුහුදු මට්ටමේ සිට මීටර 600-900 ත් අතර උසක වගා කළ හැකියි. මෙහි මල් කිනිත්ත පොළොවට සමාන්තරව තිරස්ව වැඩෙන අතර කරල රවුම් වේ. මලබාර් එනසාල් පඳුර මීටර් 2.5 සිට 3 දක්වා උසින් යුක්තයි. ඔබ මේ ලක්ෂණ දැනගත්තට විතරක් මදි. හිටවන්න ගන්න පොඩි පැළයක මල් හෝ කරල් නැහැ. ඒ නිසා පත්‍රවල එහෙම නැත්නම් කොළේ යටි පැත්ත ඔබට අතගාල බලන්නම වෙනවා. මලබාර් වර්ගයේ එනසාල් කොළේ යටිපැත්ත සිනිඳු බූව සහිත ස්වභාවයක් ගන්නවා.

 

මයිසූර් වර්ගය

මුහුදු මට්ටමේ සිට මීටර 900- 1350 අතර උසක් මේ වර්ගයට සුදුසුයි. මල් කිනිත්ත පොළොවෙන් සිරස්ව සෘජුව ඉහළට වැඩෙන අතර කරල දිගටි හැඩයෙන් යුක්තයි. කොලේ යටි පැත්ත රළු ස්වභාවයෙන් යුක්තයි. සාමාන්‍යයෙන් මේ වර්ගය ටිකක් වැඩියෙන් උස යන අතර එය මීටර් 3.5 සිට 4.5 දක්වා විය හැකියි.

උඩරට කඳුකරයේ සිරි නරඹන්න ගිය වෙලාවක දකින්න ලැබුණ හොඳ පෙනුමට හැදුණු මයිසුර් වර්ගයේ එනසාල් පැළයක් කුරුණෑගල පැත්තෙ ගෙවත්තක ආසාවට ගෙනැවිත් හැදුව කියමුකෝ.... පැළය සරුවට හැදෙයි. හැබැයි කරල් හැදෙන්නේ නැහැ. මතකනේ කලින්ම කිව්වා රැජනට ගැළපෙන රාජධානිය නොලැබුණොත් එයා ඵල දරන්නේ නැහැ කියලා.

 

වාසුක්කා වර්ගය

මීටර 800 -1300 දක්වා උසකට සුදුසු මේ වර්ගයේ මල් කිනිත්ත පොළවට ආනතව වැඩෙන අතර කරල දිගටි හැඩයෙන් යුක්තයි. පත්‍ර යටි පැත්ත රළුවන අතර මලබාර්, මයිසූර් දෙකෙහිම අතරමැදි ලක්ෂණ පෙන්වන මේ එනසාල් වර්ගයත් මිටර 3-4 උසට වැඩෙනවා.

ඉන්න හිතෙන තැනක්

එනසාල් වගාව ආරම්භය සිද්ධ වුණේ ස්වාභාවික වනාන්තර ආශ්‍රිතව කියලා ඔබට දැන් මතක ඇති. ඒ හින්දමද කොහෙද අග රැජන තාමත් සෙවණේ ඉන්න මනාප තමයි. සෙවණ සහිත පරිසරයක, කාබනික ද්‍රව්‍ය වැස්මක් සහිත, ජලය හොඳින් බැස යන පසක් එනසාල් වගාවට ඉතාම සුදුසුයි.

එනසාල් වගාවට අවශ්‍ය නිවැරදි පැළයක් තෝරාගැනීම, පැළ සිටුවීම, නඩත්තු කිරීම, අස්වනු නෙළීම, අස්වැන්න සැකසීම සහ තවත් කරුණු සමඟ අපි ලබන සතියේ හමුවෙමු.

 

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (මාතලේ)

සමන්මලී අමරවංශ

 

විශේෂ ස්තූතිය - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සන්නිවේදන අංශයේ දිශාන්ති කොඩිතුවක්කු

ඡායා - ලසන්ත අබේරත්න