එනසාල් වගාවට අවශ්‍ය සාධක

දෙසැම්බර් 13, 2021
  • දේශීය රසකාරක භෝග වගාව
  • තුරු වදුලක සැඟවුණු නිධානයෙන් ප්‍රයෝජන ගන්න
  • නිසි ලෙස වගා කර සරු ඵල ලබමු

සෙවණ ප්‍රිය කරන රසකාරක භෝගයක් වන එනසාල් තුරු වදුලක සැඟවුණු නිධානයක් ලෙස හැඳන්විය හැකියි. කුළුබඩු ලොවේ රැජින ලෙස සැලකෙන මේ එනසාල් වගාවට තව දුරටත් එලෙස සැඟවී ඉන්නට ඉඩ නොදී අපේ ගෙවත්තේ වගා කර ගැනීමෙන් අතමිට සරු කර ගත හැකි බව ඔබ දැන් දන්නවා.

මුහුදු මට්ටමේ සිට මීටර් 600ට වඩා උසින් පිහිටි මධ්‍යම කඳුකර ප්‍රදේශයන්හි එනසාල් හෙවත් කරඳමුංගු ප්‍රධාන වශයෙන් වගාකළ හැකියි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ උඩරට තෙත් සහ අතරමැදි කලාපවලට මෙම භෝගය වඩාත් සුදුසුයි. ඔබ මහනුවර, මාතලේ, කෑගල්ල, නුවරළිය, රත්නපුර සහ ගාල්ල වැනි දිස්ත්‍රික්කවල ජීවත්වන කෙනකු නම් පහසුවෙන්ම මෙම එනසාල් වගාව කළ හැකියි. නමුත් අනෙකුත් ප්‍රදේශවල වෙසෙන අයටත් උත්සාහ කළොත් නිවෙසේ එදිනෙදා පරිභෝජනයට වගේම ව්‍යාපාරයක් ලෙසත් එනසාල් කර්මාන්තයේ යෙදිය හැකිය. එහෙම නම් අද අපි එනසාල් වගාවට අවශ්‍ය සාධක මොනවාදැයි බලමු.

පාංශු සහ දේශගුණික අවශ්‍යතා

සරුසාර එනසාල් වගාවකට කාබනික ද්‍රව්‍යය එනම් කොළ රොඩු වැස්මක් සහිත කාබනික ද්‍රව්‍යයන්ගෙන් පොහොසත් වූ එමෙන්ම හොඳින් ජලය බැස යන ගැඹුරු ලෝම හා ලෝම මැටි පස් වඩාත් සුදුසුයි. ඒ වගේම ජලය රැඳෙන හෝ පාංශුඛාදනයට ලක් වූ පස් සහිත ඉඩම් මෙම වගාවට සුදුසු නැහැ. වගා බිමේ පාංශු pH අගය 4.5 සිට 6.0 දක්වා ප්‍රමාණයක පැතිරී තිබෙනවා නම් වඩාත් යහපත්. ඒ වාගේම එනසාල් සඳහා 60%කට ආසන්න සෙවණ තත්ත්වයක් අත්‍යවශ්‍යමයි. බොහෝ විට ඒ තත්ත්වය කඳුකර ස්වාභාවික වනාන්තර තුළ දක්නට ලැබෙන අතර එම නිසා වනාන්තර තුළ මෙම වගාව සුලබව දක්නට ලැබේ. කෙසේ වෙතත් උඩරට ගෙවත්ත ද මේ සඳහා හොඳ තෝතැන්නකි. ඔබ තෝරා ගන්නා වගා ප්‍රදේශය තුළ වසරපුරා මිලි මීටර් 1500ත් 2500ත් අතර හොඳින් ව්‍යාප්ත වූ වර්ෂාපතනයක් තිබීම ද ඉතා වැදගත් .

රෝපණ ද්‍රව්‍යය

සාමාන්‍යයෙන් එනසාල් වගාව සඳහා ඔබට මොරෙයියන්, බීජ පැළ හා පටක රෝපණයෙන් ලබාගත් පැළ යොදාගත හැකියි. ඒ පිළිබඳ අපි පසුගිය සතියේදී ඔබව දැනුවත් කළා මතක ඇති. නමුත් මොරෙයියන් වගාවන් සඳහා වැඩි වශයෙන් යොදා ගනු ලබයි. මෙයට හේතුව මොරෙයියන් පැළ දැනට පවතින වගාවලින් සුලබව ලබාගත හැකිවීමයි. එමෙන්ම ඔබේ ප්‍රදේශයට ගැළපෙන එනසාල් වර්ගය තෝරා ගත යුතු බවත් අපි මීට පෙර සඳහන් කළා. එහිදී වගාබිමට ආසන්න එනසාල් වගාවකින් මොරෙයියන් ලබා ගත හැකි නම් එයත් ඔබට පහසුවක් වනු ඇති. මෙලෙස යොදා ගන්නා මොරෙයියන් පැළ සෙන්ටිමීටර් 6 -10 ක් දිග රෛසෝම හෙවත් අල සහිත වීම අත්‍යවශ්‍යවන අතර කුඩා අංකුරයක් තිබීම සුදුසුයි. එසේම දිලීර රෝගවලින් ආරක්ෂා කර ගැනීම සඳහා වගා බිමේ සිටුවීමට පෙර ඒවා තඹ මිශ්‍ර දිලීර නාශකයක ගිල්වා තබන්න.

වගාබිමේ සිටුවීම

එනසාල් පැළ සිටුවීම සඳහා ඔබ විසින් තෝරාගත් වගා භුමිය සමතලා එකක් නම් පැළ දෙකක් අතර පරතරය මීටර්

2.0 x 2.5 විය යුතුයි. එමෙන්ම වගා බිම බෑවුම් සහිත ඉඩමක් නම් එම පරතරය මීටර් 1.25 x 2.5 සුදුසු වේ. මේ අනුව වගා බිම් හෙක්ටයාර එකක් තුළ ඔබට පැළ 2,000ක් වගා කරන්නට පුළුවනි.

මෙලෙස පැළ සිටුවීමට ගන්නා එක් වළක ප්‍රමාණය සෙන්ටිමීටර් 60 x 60 x 45 විය යුතුයි. එලෙස සකස් කරගත් සෑම වළක්ම කොම්පෝස්ට් හා මතුපිට පස් මිශ්‍රණයෙන් පුරවා ගන්න. එනසාල් පැළ සිටුවීමේ දී සෑම වළකටම රොක් පොස්පේට් ග්‍රෑම් 100 බැගින් එක් කරන්නත් අමතක කරන්න එපා . එමෙන්ම මතුපිට බිම් මට්ටමේ සිට සෙන්ටිමීටර 5 ක් පමණ පහතින් මොරෙයියන් සිටුවීමද වැදගත් වේ.

උපදෙස් -  අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සන්නිවේදන අංශයේ පර්යේෂණ හා සංවර්ධන සහකාර

රුවන් බස්නායක

විශේෂ ස්තූතිය - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සන්නිවේදන අංශයේ දිශාන්ති කොඩිතුවක්කු

සටහන චම්පා වරුසප්පෙරුම

ඡායා ලසන්ත අබේරත්න