නිවෙසේ අයට ඇඳුම් මහලා ටිකෙන් ටික පුරුදු වෙන්න

දෙසැම්බර් 13, 2021

 

තරුණී මැහුම් ඉස්කෝලෙට ගොඩ වදින ඔබ ආදරයෙන් පිළිගන්නවා. බොහෝ දෙනකුගේ ගෙදර මහන මැෂිමක් වරදින්නේ නැහැ. ගෙදර පැත්තකට දාලා තිබෙන මේ මහන මැෂිමෙන් නැතිනම් ඔබට රජයෙන් හෝ වෙනත් මාර්ගයකින් ලැබුණු මැෂිමෙන් මුදල් හම්බ කර ගැනීම ආරම්භ කරන්නේ කෙසේද කියා පසුගිය සතියේ අප ඔබ දැනුම්වත් කළා මතක ඇති.

එහිදී සරල මට්ටමින් මැසීම ඇරැඹිය හැකි අවස්ථා අතරින් හතරක් පිළිබඳ ඔබගේ අවධානය යොමු කරනවා. ඒ තමයි,

* චීත්ත මූට්ටු කිරීම

* සරොම් මූට්ටු කිරීම

* කොට්ටා උර මැසීම

* යට සාය මැසීම

මේවායේ තිබෙන්නේ සරල ක්‍රියාවක් වුවද නිෂ්පාදනයේ ප්‍රමිතිය ඉතාම උසස් මට්ටමෙන් තිබීම ඉතාම වැදගත්. දිගට ඇති මැහුම්, සරල රේඛාවක් සේ ඇද නොවී තිබීම, නූල් ගුලි ගැසී නොතිබීම, උඩ නූල සහ යට නූල අතර නිවැරැදි බැඳීම, මැහුම් රේඛාව ලිහිල් නොවී, නොඇදෙන ලෙස සවිවර ලෙස තිබීම, මැහුමෙන් මූට්ටුව මඟ නොහැරීම ආදිය පිළිබඳ දැඩි අවධානය යොමු කරන්න.

ඒ වගේම තමයි, එහෙන් මෙහෙන් නූල්

 

 

කෑලි එල්ලෙන්නට තබන්නට එපා. ඒවා කපා දමන්න. එසේම ඇඳුම් මැද ක්‍රමානුකුලව වෙළෙඳපොළට හෝ සේවා දායකයාට ලබා දෙන්න. කිසි විටෙකත් උපරිම ලාභය අරමුණු කර ගෙන බාල සහ අපිළිවෙළ නිෂ්පාදන කිරීමට පෙළඹෙන්නට එපා.

මැහුම් ඉස්කෝලේ ඉගෙන ගන්න අතරෙම කල් නොයවා (නෝමල් මැෂිමෙන්) මුදලක් අතට ගන්න ක්‍රමයක් හොයා ගන්න විදිහ තමයි ඉහතින් කියා දුන්නෙ.

 

මඳක් සිතන්න...

තව මාස තුන හතරකින් අලුත් අවුරුදු සමය උදා වෙනවා. අම්මා, තාත්තා ඇතුළු පවුලෙ හැමෝටම අලුතෙන් සරම්, චීත්ත ඕනෙ වෙනවා.

ඔබට වගේම අහල පහළ දන්නා කියන හැමෝටමත් මේ අවශ්‍යතාවය තිබෙනවා. ඒ විතරක්ද.?

කොට්ට උර, දොර රෙදි, ජනෙල් තිර රෙදි, මේස, ස්ටූල් සඳහා රෙදි ආදියත් ඒ සමඟම අලුතින් යොදනු දකින්නට පුළුවන්. ගෙදර අවශ්‍යතා මේ විදිහට ඔබේ අතින්ම මසා නිමකර ගතහොත් සැලකිය යුතු මුදලක් ඉතිරි කර ගැනීමට පුළුවන් නේද?

ඒ විතරක් නෙමෙයි, තව ටිකක් හිතුවොත් වැඩි දුර යන්නෙ නැතුවම සුළු ව්‍යාපාරික අවස්ථාවක් මතුකර ගන්නත් පුළුවන්. ඇඟලුම් ව්‍යාපාරයක් කරන්න රෙදි ගොඩක් යන බව ඔබ දන්නවා. මේ විදිහට මැහුම් කටයුතු කරන්න රෙදි යන්නෙ නැහැ. ගමේ නෑ හිතවතුන් දැනුවත් කරලා ඔවුන් ගේ එබඳු අවශ්‍යතා සපුරා දීලා සාධාරණ මුදලක් අය කරන්න පුළුවන්. මේ විදිහට ඔබෙන් මැහුම් වැඩ කරගන්න යම් පිරිසක් එනවා.

 

අන්න එයාලට පෙනෙන්න

* මේස රෙදි

* අත් පිස්නා

* පාපිසි

* බිත්ති සැරසිලි ( රෙදි)

 

ආදිය නිපදවා ලස්සනට පිළිවෙළකට නිවෙසට එන අය ඒවා දකින විට අවශ්‍යතා මතු වේවි. ඔබ තවත් දෙයක්කළ යුතුයි.

ඔබගේ සියලු අය කිරීම් වෙළෙඳපොළ මිලකට වඩා අඩුවෙන් සඳහන් කරන්න. ගමනට ගතවන කාලය, වැඩි මිල, නගරයට යාමට දරන වියදම ආදිය සේවා දායකයාට පැහැදිලි කර දෙන්න.

මෙවැනි දෑ සඳහා රෙදිවලට ලොකු මුදලක් වැයවන්නේ නැහැ. කැබැලි රෙදි වලින් මේ සියල්ල නිෂ්පාදනය කරන්න පුළුවන්. කැබැලි රෙදි මහරගම පමුණුව පාර, බියගම ආදි ප්‍රදේශවලින් අඩු මුදලට ලබා ගන්නට පුවළුන්. තරමක් විශාල (දොර / මේස රෙදි ප්‍රමාණයේ කැබැලිවල සිට පාපිසි සඳහා අවශ්‍ය තීරු දක්වා විවිධ ප්‍රමාණවලින් මිලදී ගත හැකියි.) මේ නිෂ්පාදන සඳහා ‘කොට්න්, මේස්, පිජාමා, සිංගල් පර්සි ආදී රෙදි තෝරා ගන්නට පුළුවන්.

ඇඳුම් මහන්න විධිමත් පුහුණුවක් නැති අය ඒ ගැන හිතලා කම්පා වෙන්න එපා. තරුණී මැහුම් ඉස්කෝලෙත් එක්ක එකතු වෙලා මහන්න ඉගෙන ගන්න අතරෙම ගෙදර මුල්ලකට දාලා තියෙන මහන මැෂිමෙන් දන්නා විදිහට වැඩක් ගන්න එක නේද නුවණක්කාරකම... හරි එහෙම නම් දැන්ම පටන් ගනිමු.

මැහුමක තියෙන්න ඕනෙ ප්‍රධානම ලක්ෂණය තමයි නිරවුල් බව. ඇද නැතිව, නූල් බුරුලට නැතිව, රැලි නොවැටි තිබීම ඉතාම වැදගත්. ගෙදර තියෙන පරණ රෙදි වලින් ඒ විදියට වාටි මහන්න පුරුදු වෙන්න.

ගෙදර අයට සරම්, චීත්ත මූට්ටු කරන්න... එතකොට මැස්ම ඇදයි කියලා ප්‍රශ්න කරන්න කෙනෙකුත් නැහැ, පුහුණුවකුත් ලැබෙනවා.

මේ විදිහට මුල පටන් ගත්තාම මැහුම් ඉස්කෝලෙන් පිට වෙනකොට ඔබ හොඳ මැහුම් ශිල්පිනියක් වෙලා ඉඳීවි. අන්න එදාට ඔබට පුළුවන් වේවි පුංචි පහේ ඇඟලුම් කම්හලක ආරම්භයක් ලබා ගන්න. මතක් කර ගන්න ඔබ පුංචි කාලෙ... අම්මා කළු මැෂිමෙන් ඇඳුම් මහපු හැටි. අම්මා ගොඩාක් ආදරයෙන් කිව්වා නේද?

“මගෙ දූත් මැහුම් ගෙතුම් ඉගෙන ගන්න ඕනෙ. ඒක ගැහැනු දරුවකුට ආභරණයක්.“

ඒත් ඔබ ඉගෙනීමත් එක්ක කරපු යුද්ධයත් එක්ක ඒ කාරණාව මඟ හැරුණා වෙන්න ඇති.

නැත්නම් ඒ ගැන වැඩිදුර නොසිතුවා වෙන්න ඇති. එහෙමනම් දැන්වත් ඇරැඹුමක් ගන්න පමා නොකර තරුණී ඉන්නවා ඔබේ සෙවණැල්ල වගේ... ඔබ අරමුණු ඉටු කර ගන්නා තුරුම...

දැන් අපි මහන්න පටන් ගනිමු.

මහන්න දන්න අයට මේ ලිපි තුළින් ගන්න දෙයක් නැහැ කියලා හිතන්න පුළුවන්. ඒත් ඕනම දෙයකට ආරම්භය ඉතාම සරලයි. අපේ උත්සාහය මැහුම් පිළිබඳ නොදන්නා අයත් දන්නා අය බවට පත්කරවා ඔබ සියලු දෙනාම ඉතා ඉහළ තැනකට ගෙන ඒමයි.

 

 

 

උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී

එරංග රණසිංහ ඔයාමා ෆැෂන්ස් සහ ග්‍රැෆික්ස්