ඔබත් මල් වගාකරුවෙක් ද කුඩා ව්‍යාපාරිකයෙක් ද? හොඳ ආදායමක් උපයාගන්න මෙන්න අවස්ථාව

දෙසැම්බර් 20, 2021
  • ඔබේ විනෝදාංශයෙන් අතමිට සරුකර ගන්න
  • කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහනට සම්බන්ධවන ආකාරය

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන (SAPP) පිළිබඳ අප පසුගිය සතියේ පලකළ ලිපියට ලැබෙන්නේ අති විශාල ප්‍රතිචාරයකි. දිවයිනේ දසතින් මේ පිළිබඳ විමසීම් ගලා ආවේ මේ ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුරටත් තොරතුරු දැනගැනීමටය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුයුක්ත වූ මේ ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය විසින් ඔවුන් සිදු කරන සේවාව පිළිබඳව කළ විස්තරයට අනුව කාන්තාවන් මූලික කරගත් ව්‍යාපෘති ගණනාවක් පිළිබඳව තොරතුරු පල කළාය. දැනට මේ ව්‍යාපෘතිය යටතේ සාර්ථකම කෘෂි ව්‍යාපාරයන් ලෙස බිම්මල් වගාව, විසිතුරු පත්‍ර හා මල් වගාව (ඕකිඩ් සහ ඇන්තූරියම් මල් වගාව), ගෘහස්ථ කුකුළු පාලනය (කුකුළන් 25ක් පමණ ප්‍රමාණයක්) , කහ, ඉඟුරු, ගම්මිරිස්, එනසාල් හා කළුබඩු වර්ග සඳහා වූ භෝග වගාව, ගෘහස්ථ විදුලි බුබුළු නිෂ්පාදනය, කෝපි වගාව, කිතුල් කර්මාන්තය වැනි ක්ෂේත්‍ර ගණනාවක් සඳහා මඟ පෙන්වීම සිදු කරනු ලබයි.

විශේෂයෙන් නිවෙසේ විනෝදාංශයක් ලෙස හෝ කුඩා ව්‍යාපාරයක් ලෙස හෝ මල් වැවීම, පැළ තවාන්, වගාවන් වැනි කුඩා පරිමාණයේ කෘෂි ව්‍යාපාරික කටයුතු වල නිරත වන ගෘහණියන් හා තරුණ තරුණියන් ප්‍රමුඛ කරගත් එම වැඩසටහන හරහා ව්‍යාපෘති 35ක් ක්‍රියාත්මක වේ. මේ වැඩසටහනේ මුලිකම අරමුණ වන්නේ කුඩා පරිමාණයේ කෘෂි ව්‍යාපෘතියක් සවිබල ගැන්වීමය.

එසේම වගා ක්ෂේත්‍රෙය් නියැලි කුඩා පරිමාණයේ වගාකරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන විකුණා ගැනීම සඳහා වෙළෙඳපොළ සොයා ගැනීමට එම ආයතනය මඟින් මඟ පෙන්වීම සපයයි.

එසේම වෙළෙඳපොළට අවශ්‍ය වූ නිෂ්පාදන පිළිබඳ දැනුවත් කිරීම ද ඔවුන් විසින් සිදු කරනු ලබයි. තවද තම ආයතනය මඟින් කෘෂි ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා තරුණ තරුණියන්ට ප්‍රාග්ධනය සපයා ගැනීම සඳහා ලෝක බැංකු ආධාර යටතේ ණය ලබාදීමේ වැඩසටනක් ද ආරම්භ කර තිබේ.

මේ යටතේ ණය මුදල් සැපයීම ප්‍රාදේශීය මට්ටමින් සිදු කරන අතර 6.5% පමණ පොළී අනුපාතයකට ලක්ෂ 5ක් දක්වා වූ ණය මුදල් ලබාදීම ලංකාවේ ප්‍රධාන බැංකු 08ක් මඟින් සිදුකෙරේ.

මේ ව්‍යාපෘතියට සම්බන්ධ වී දැනුම, මඟ පෙන්වීම ලබාගැනීමට හෝ ණය මුදලක් ලබාගැනීමට ඕනෑම අයෙකුට අවස්ථාව හිමි වේ. ඒ සඳහා ඔබ කළ යුත්තේ මෙහි පළකරන ඉල්ලුම්පත්‍රය පුරවා අප වෙත එවීමයි. එසේ ඔබ යොමු කරන අයැදුම්පත්‍රය කුඩා පරිමාණ කෘෂි ව්‍යාපෘති සහභාගිත්ව වැඩසටහනට මඟින් අධීක්ෂණය කර ඔබට අවශ්‍ය මඟ පෙන්වීම සහ ණය මුදල් ලබාදීමට කටයුතු කරනු ඇත.

අයදුම්පත්‍රය එවිය යුතු ලිපිනය:-

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර වැඩසටහන,

තරුණී,

ලේක්හවුස්,

කොළඹ - 10.

වැඩි විස්තර සඳහා

0112429591 - 92

අමතන්න.