ව්‍යාපාරික වගාවට පිවිසීම සඳහා තිබිය යුතු ගුණාංග

මාර්තු 21, 2022

නෙත් සිත් පිනවන හැඩකාර ඇන්තූරියම් ගෙමිදුලට සිරියාවකි. මෙය සාර්ථක වගාවක් ලෙස කිරීමට ද කදිම ස්වයං රැකියාවකි. එහෙත් ව්‍යාපාරික වශයෙන් ඇන්තූරියම් වගාවට පිවිසීමට අදහස් කරන්නේ නම් ඔබ සතුව ගුණාංග කිහිපයක් පැවතිය යුතුයි. අද අපි එම ගුණාංග හඳුනාගනිමු.

 

කැපවීම හා කාලය

ඒ සඳහා අවශ්‍ය තරම් කැපවීමට කාලයක් තිබිය යුතුයි. ඔබේ වගාව දිනපතා පරීක්ෂා කළ යුතුයි. වැලඳී ඇති රෝග, ගසක් වැඩෙන ආකාරය, සිදුව ඇති වෙනස්කම් හඳුනාගත හැක්කේ නිතර වගාව නිරීක්ෂණය කරන අයකුටයි. අප සුරතල් සතෙක් රැකබලා ගන්නා ආකාරයට වගාව රැකබලා ගත යුතුයි. වගාවේ වර්ධනය රැඳී පවතින්නේ ඔබේ එම රැකබලා ගැනීමේ ප්‍රමාණය අනුවයි. මේ නිසා දිනකට එක වරක්වත් ඔබට වගාව සමඟ රැඳීමට කාලය තිබිය යුතුමයි. නිතර වගාවත් සමඟ රැදෙන අයකුට ගසකට වෙනස්කමක් සිදු වී ඇත්නම් එය ඉක්මනින් ඇස ගැටේ. රෝගයක් වැලඳී ඇත්නම් හඳුනා ගත හැකි අතර වහා ප්‍රතිකාර ඇරැඹිය හැකියි. ඔබ වගාව නිරීක්ෂණය කරන්නේ ඉඳහිට නම් සමහර විට ගස්වලට රෝග වැලඳී මැරී තිබිය හැකියි. එපමණක් නොව රෝගය වගාවටම හෝ යම් ප්‍රමාණයකට ව්‍යාප්ත වී තිබිය ගැකියි.

 

මුදලක් දැරීමේ හැකියාව

අපි වගාව ආරම්භ කිරීමට පැළ මිල දී ගත යුතුයි. එමෙන්ම අවශ්‍ය පොහොර, දිලීර නාශක, කෘමිනාශක ආදිය ද ලබා ගැනීමට මුදල් වැය වේ. වගාවේ ආරක්ෂාව වෙනුවෙන් දැල් ගෘහයක් ඉදිකළ යුතුයි. පැළ සිටුවීම ට බඳුන්, වැලි, පොල්ලෙලි කැබැලි ආදී අමුද්‍රව්‍ය මිල දී ගත යුතුයි. මේ සියල්ල සඳහා මුදල් වැය වේ.

මේ සඳහා වැයවන මුදල ගණන් බලා ඔබ ළඟ ඇති මුදල් ඒ සඳහා සෑහෙන්නේ දැයි විමසා බැලිය යුතුයි. ඉන්පසු මුලින්ම අතේ ඇති මුදලින් පමණක් වගාව ඇරැඹීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා සැලසුමක් සකසා මාස කිහිපයක් පුරා එකතුකරමින් මුදල් රැස්කර ගන්න.

එම වගාව සාර්ථකව කරගෙන අත්දැකීම් ලබා ගෙන තරමක් ස්ථාවර වූවාට පසු ණය මුදලක් ඉල්ලුම් කර වගාව විශාල කරගත හැකිය.

 

පාඩු දරා ගැනීමේ හැකියාව

 

අප මිල දී ගන්නා පැළ ලෙඩරෝග වැලඳී මිය යා හැකියි. මේ පැළ මිල දී ගැනීමට විශාල මුදලක් වැය කර තිබුණා විය හැකියි. එමෙන්ම සමහර විට ලබාගත් ශාකවලින් සිතූ තරම් පැළ සංඛ්‍යාවක් ලබාගැනීමට නොහැකියි. මේ නිසා මෙලෙස සිදුවන පාඩු දරාගැනීමට හැකියාවක් තිබිය යුතුය.ි

ඉවසීම

 

ඇන්තූරියම් වගාවේ නියැළීමට අපේක්ෂා කරන්නේ නම් ඔබට මනා ඉවසීමක් තිබිය යුතුමයි. මේ සඳහා සෑහෙන කාලයක් වැයවනවාක් මෙන්ම පැළයක් සිටුවීම, එය නඩත්තු කිරීම, එයට අවශ්‍ය පොහොර හා බෙහෙත් යෙදීම ආදිය ක්‍රමානුකූලව කළ යුතුයි. මේ කටයුතු පියවරෙන් පියවර නිවැරැදිව කළ යුතුයි. එමෙන්ම මේ සඳහා සෑහෙන වේලාවක් ද වැය වේ. ගසක් සිටවූ පමණින් ප්‍රතිඵල නොලැබේ. ඒ සඳහා සෑහෙන කාලයක් ඉවසීමෙන් බලාසිටිය යුතුයි.

කාලය වැය නොකර, නිවැරැදි පිළිවෙත් අනුගමනය නොකරමින් සිටුවන පැළ හොඳින් වැඩේ යැයි නිගමනය කළ නොහැකියි. ඒවා මිය යාමටත් ලෙඩ රෝග වැලඳීමටත් ඇති ඉඩකඩ වැඩියි. ඒ නිසා මනා ඉවසීමක් නොවේ නම් ස්වයං රැකියාවක් ලෙස මෙය තෝරා නොගන්න.

 

පොහොර හා බෙහෙත්

මීට අමතරව ඇන්තූරියම් වගා කිරීමට තරම් ඉඩකඩක් ඔබේ ගෙවත්තේ තිබිය යුතුයි. ඇන්තූරියම් වගාකිරීම පිළිබඳ යම් අවබෝධයක් තිබිය යුතුයි. පොහොර හා බෙහෙත් යෙදීමට දැනුමක් අවශ්‍ය වේ. ඔබේ පිරිසුදුකම, පිළිවෙළ හා ප්‍රියමනාප බව ද මේ සඳහා තිබිය යුතු ගුණාංගයන් ය.

 

 

 

උපදෙස් - මාතලේ

යෝ ෆ්ලවර්ස් හි හිමිකරු

යොහාන් තේමිය මීගහගේ