මැස්මක යට පැත්තේ නූල් බුරුල් වීමට හේතු

මාර්තු 28, 2022

 

 

අපි පුංචි සන්දියේ ‘වෘත්තීමය මැහුම් ශිල්පය‘ අද කාලෙ වගේ පුළුල් පරාසයක විහිදී තිබුණේ නැහැ. අද වගේ විච්චූර්ණ ඇඳුම් තිබුණෙත් නැහැ.

 

බොහොමයක් ගෘහණියන්ට සරමක්, චීත්තයක් මූට්ටු කරන්න. දරුවන්ට ගෙදරට අඳින කලිසම්, කමිස, ගවුම් මසා ගැනීමේ හැකියාව තිබුණා. සමහර මව්වරුන්ට පාසල් නිල ඇඳුම්, සාරි හැට්ට පවා මැසීමේ හැකියාව තිබුණා. ඒ විදිහට මැහුවෙත් අවුරුද්දටම වතාවක් හෝ දෙවතාවක්. අද බොහෝ දරුවන්ට වගේ ඇඳුම් පුරවපු අල්මාරි තිබු‍ණේ නැහැ. කොහොම නමුත් ගම් දෙක තුනකට එක්කෙනෙක් වගේ ප්‍රවීණ මැහුම් ශිල්පිනියක් වෘත්තීමය වශයෙන් ඇඳුම් මැසීමේ යෙදී සිටියා.

 

මේ සියල්ල උඩු යටිකුරු වුණේ විවෘත ආර්ථිකයේ ආගමනයත් සමඟ අසූව දශකයේ ආරම්භයේ සිට. දේශීය ඇඟලුම් ව්‍යාපාරය මෙයට වඩා බොහෝ සෙයින් ප්‍රබල ස්ථාවරයකට පැමිණීමට හැකියාව ලැබෙනවා විදේශීය නිමි ඇඳුම් ආනයනය සීමා වූවා නම්... කොහොම නමුත් කාන්තාවන්ගේ ජානගත උරුමය බඳු මැහුම් කලාවෙන් ව්‍යාපාරික අවස්ථා මෙන්ම රැකියා අවස්ථා ද බහුලවීම සතුටට කරුණක්.

පසුගිය සතියේ අපි අවධානය යොමු කළේ මැෂිමට බොබිනය සහ ෂටල් එක සම්බන්ධකර ගන්නේ කෙලෙසද කියායි. බොබින් එකට නූල් පුරවා ගැනීම, එය ෂටලයට සවි කිරීම, ෂටලය මැසීමට සවි කර ගැනීම, ත්‍රෙඩ් ස්ටැක්ට් එකේ සිට ඉඳිකටුවට නූල නිවැරැදිව අමුණා ගැනීම පිළිබඳ නිරවුල් අවබෝධයක් නැතිනම්, මොන තරම් ඉහළ තාක්ෂණයෙන් යුතු මැෂිමක් ඔබ සතුව තිබුණත් පලක් නැහැ.

දැන් අවධානය යොමු කරමු මැෂිමේ යට නූල් උඩට ගන්නේ කෙසේද කියා.

මහන යන්ත්‍රයට බොබිනය සවි කිරීමේදී නූල අඟලක් හෝ දෙකක් එළියට ගෙන සවිකළ යුතුය. ඉන්පසු ඉඳිකටුවේ නූල නිසියාකාරව දමා ඉඳිකටු සිදුරෙන් අඟල් 4 - 5ක් පමණ ඉදිරියට අදින්න. එලෙස ඇදගත් නුල කෙළවර තම අතින් අල්ලාගෙන, හෑන්ඩ්වීල් එක තම දිශාවට කරකැවීමෙන් යට නූල් ප්‍රෙෂර් ෆුට් එකට යටින් ඉදිරියෙන් තබා ගන්න. දැන් ඔබ මැසීම සඳහා සූදානම්.

උඩ යට නූල් දමා ගත්තාට මදි ප්‍රමිතිගත මැස්මක් සඳහා නිවැරැදි කර ගත යුතු, ඔබට අවබෝධය තිබිය යුතු කරුණු කීපයක් තිබෙනවා. ඒ ගැනත් කියන්නම්.

එරංග රණසිංහයන් තවදුරටත් පැහැදිලි කිරීමක් කරනවා.

* මුලින්ම මෙයට මැස්මක යට පැත්තේ නූල් බුරුල් වීමට හේතු හඳුනා ගන්න ඕනෑ.

මේ සඳහා බලපාන ප්‍රධාන කරුණු හතරක් (04) තිබෙනවා.

* උඩ නූල නිවැරැදිව අමුණා නොතිබීම.

* නූල හරියාකාරව අමුණා තිබියදී කොටස්වලින් පහකට ඇදෙන වේගය වැඩි කිරීම.

* උඩ නූලත්, යට නූලත් එක ප්‍රමාණයෙන් තදකර නොතිබීම.

* ප්‍රෙෂර් ෆුට් එක නිවැරැදි ලෙස සවි නොකිරීම.

ඒ වගේම තවත් දැනගත යුතු කාරණයක් තමයි මැස්මක උඩ පැත්තේ නූල් බුරුල්වීමට හේතු.

01. බොබිනයේ නූල් බුරුලට ඔතා තිබීම.

02. බොබින් කෝෂයෙන් නිවැරැදිව නූල පිටතට ගෙන නොතිබීම.

03. බොබින් කෝෂයේ ත්‍රෙඩ් ස්ප්‍රින් එක බුරුල්ව තිබීම.

04. බොබින් කෝෂය තුළ බොබිනය වමට කරකැවෙන ලෙස සකස් කරතිබීම.

එහෙම නම්

* නූල් බුරුල්වීම වළක්වා ගන්නේ කෙසේද කියාත් දැනගනිමු.

යම් මැස්මකදී එහි යට පැත්තේ නූල් බුරුලට තිබේනම් එය නිවැරැදි කර නොගෙන ඉදිරියට යන්න එපා. නූල ඉඳිකටුවට නිවැරැදිව ඇමිනූ පසු බුරුල් වී ඇති විටෙක එය නිවැරැදි කර ගැනීම සඳහා ටෙන්ෂන් පෝස්ට් භාවිත කළ යුතුයි. ත්‍රෙඩ් ටෙන්ෂන් පෝස්ට් එකෙහි මීටරය දකුණට කරකැවීමෙන් ඉඳකටුවට ලබාදෙන නූල් ප්‍රමාණය අඩුකර ගැනීමටත්, වමට කරකැවීමෙන් ඉඳිකටුවට ලබා දෙන නූල් ප්‍රමාණය වැඩිකර ගැනීමටත් පුළුවන්.

මැස්මේ උඩ පැත්තේ නූල් බුරුල්වී ඇත්නම් එය නිවැරැදි කරගත යුතු වන්නේ බොබිනයේ තිබෙන ස්කෘ එක තද කර ගැනීම මඟිනුයි.

 

 

උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී

එරංග රණසිංහ

ඔයාමා ෆැෂන්ස් සහ ග්‍රැෆික්ස්