මැෂිමේ අධික ශබ්දය මානසික වදයක් වෙලා ද?

මෙන්න ඒ සඳහා පිළියම්
අප්‍රේල් 11, 2022

 

ජීවිත කාලය තුළ කිසි දිනෙක නොවූ ආකාරයේ අර්බූද රැසකට සමස්ත ජන සමාජයම පත්වී තිබෙනවා. මේ තත්ත්වයට යම් පිළිසරණක් ලබාගත හැකි මාර්ග කීපයක් ගැන මෙයට මාස පහකට පමණ ඉහත දී මැහුම් ඉස්කෝලේ විශේෂාංගය තුළින් ම අපි ඔබට කියා දුන්නා. එමඟින් ආර්ථිකයට අත්වැලක් සපයා ගැනීමට ක්‍රියා කළ කිහිප දෙනෙක් හෝ සිටීම සතුටට කාරණයක්.

 

ඒ අය අතරින් මතුවූ ගැටලුවකට ආරම්භයේදීම පිළිතුරු ලබා දෙන්නට අදහස් කළා. මේ විදිහට ප්‍රවේශයක් ගත්තු හැම දෙනාම වැඩ පටන් ගත්තේ, ගෙයි මුල්ලේ තිබුණු මැෂිම පිටතට අරගෙන.

"මහන්න ගිහාම එපා වෙනවා... ගල් රෝලක වගේ සද්දෙ"

ඇයි මෙහෙම වෙන්නෙ කියන කාරණාවට එරංග මෙහෙම පිළිතුරක් දුන්නා.

"ඔය හැම දෙනාම මැෂින් එක එළියට ගත්තෙ කාලයක් තිස්සෙ පැත්තකට කරලා තිබිලනෙ. ඒක වසර කීපයක් වෙන්නත් ඉඩ තියෙනවා. මේ විදිහට කාලයක් තිස්සේ අක්‍රීය මට්ටමේ තිබුණාම එයට යොදා ඇති තෙල් කැටි ගැසීම සිදු වෙනවා. ඒ වගේම මැෂිමේ යට කොටස්වල නූල් කැබැලි, රෙදිවල ඇති පුළුන් ආදිය එක් රැස් වෙලා හිරවී තිබෙන්නටත් ඉඩකඩ තිබෙනවා. නූල් එතීමේදී පහතට තද කළ  විශේෂ කොටස, යළි නියමිත ආකාරයට සැකැසීමට අමතකවීම, මැෂිමේ සමහර කොටස් ගෙවී ගොස් තිබීම, යම් යම් කොටස් නිසි ලෙස සවිකර නොතිබීම වගේම බුරුල් වී තිබීමත් පෙන්වා දෙන්නට පුළුවන්..."

පැහැදිලියි නේද කතන්දරේ? වැඩ පටන් ගන්න කලින් මේ තියන දෝෂ නිවැරැදි කරගන්න 'සර්විස්' එකක් කරගන්නට අමතක කරන්නට එපා. එතකොට කාර්යක්ෂම යන්ත්‍රයක නිරවුල් මනසකින් යුතුව වැඩ කරන්නට පුළුවන්. දැන් ඉතින් යළිත් පාඩම් මාලාවේ පෙළ ගැස්මට යොමු වෙමු...

 

මැසූ රෙදි කොටස ආපසු ගමන් කරවීම පිළිබඳ ඔබ දැනුවත්ද?

මේ සඳහා යන්ත්‍රයේ ඉදිරිපස ලිවර් එකක් ඇත. මෙමඟින් සිදු කෙරෙනුයේ වේගය පාලනය කිරීමයි. මෙය ක්ෂේත්‍රයේ නියුක්ත වූවන් හඳුන්වන්නේ ටැග් ලීවර් යනුවෙනි. මසමින් පවතින රෙදි කොටසක් ආපසු ගමන් කරවීමට අවශ්‍ය වූ විට මේ ටැග් ලීවරය පහත් කොට වේග පාලකය ඉදිරියට පෑගිය යුතුයි. අවශ්‍ය ප්‍රමාණය මැසීමෙන් පසු ලීවරය අත හැරීමෙන් අනතුරුව රෙදි කොටස ඉදිරියට ගමන් කරයි. මැස්මක් පටන් ගැනීමේ දී සහ අවසන් කිරීමේ දී මෙම ටැග් කිරීම කළයුතු අතර, එම ප්‍රමාණය අඟල් කාලක් (1/4) හෝ සිදුරු තුනක් හෝ හතරක් පමණ යෙදිය යුතුයි.

 

මසන යන්ත්‍රයේ පීඩන පාදයේ බර වෙනස් කරන්නේ කෙසේද?

මේ සඳහා මැෂිමේ වම් පස උඩ කෙළවර ප්‍රෙෂර් ස්ප්‍රින් රෙගියුලේටරය නමින් හඳුන්වන කොටසක් ඇත. එය කරකැවීමට නම්, ඊට සම්බන්ධ නට් එක බුරුල් කළයුතු අතර, රෙගියුලේටරය කරකැවීමෙන් පසු නට් එක යළි තද කළ යුතුය. ඝනකම් වැඩි රෙදි කොටසක් මැසීම සඳහා ප්‍රෙෂර් ෆුට් එකෙහි බර වැඩි කළ යුතු අතර, ඒ සඳහා රෙගියුලේටරය වමට කරකැවිය යුතුය. සාමාන්‍ය රෙදි කඩක් මැසීමේ දී ප්‍රෙෂර් ස්ප්‍රින් රෙගියුලේටරය මධ්‍යම ප්‍රමාණයෙන් තබා ගැනීම අවශ්‍ය වේ.

 

 

උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී

එරංග රණසිංහ

ඔයාමා ෆැෂන්ස් සහ ග්‍රැෆික්ස්