නෑ කිය කි යා ඉන්නේ ඇයි?

ගෑස් සමඟ ගෙවත්ත සරුකරන පොහොරත් නිවෙසින්ම
මැයි 30, 2022

 

ගෑස් හිඟය තවමත් අඩුවක් නැහැ. ඒ සඳහා කොයි තරම් විකල්ප බලශක්ති ක්‍රම තිබුණත් ඒ හැම දෙයක්ම ප්‍රායෝගිව සොයා ගැනීම අපහසුයි. දර ළිපක් භාවිතය, රයිස් කුකරයක් භාවිතය ගැන කතා කළත් ගෑස් ළිපක් තරම් ඒ කිසි දෙයක් සාර්ථක නැහැ. ගෑස් හිඟයට විසඳුමක් හෝ විකල්පයක් නොමැති නිසා නාගරික ජනතාව මුහුණ දී සිටින්නේ විශාල අර්බූදයකටයි.

 

මේ අර්බූදයට සාර්ථක විසඳුමක් ලබාදෙන ගෘහස්ථ ජීව වායු ජනකයක් නිර්මාණය කිරීමට නර්ඩ් ආයතනයට හැකි වි තිබීම ඔබට සුබ ආරංචියක්. ශ්‍රී ලංකා ඉංජිනේරු සහ සංවර්ධන පර්යේෂණ ආයතනය (NERD) නිර්මාණය කළ මේ ගෘහස්ථ ජීව වායු ජනකය ගෑස් අර්බූදයට විසඳුමක්. ඒ වගේම කෘෂි කර්මාන්තයට ප්‍රයෝජනවත් කාබනික පොහොර නිපදවාගත හැකි ක්‍රමයකි. එසේම නිවෙසේ කසල කළමනාකරණයටත් සාර්ථක විසඳුමකි. නර්ඩ් ආයතනයේ ඉංජිනේරු සුනිල් කරුණාරත්න මහතා නිර්මාණය කළ මේ ගෘහස්ථ ජීව වායු ජනකය සඳහා නිවෙසේ දිනපතා ඉවතලන කසල යොදා ගනී. එමඟින් ජීව වායුව නිපදවන අතර එයින් ඉවත්වන අපද්‍රව්‍යයන් ද ගෙවතු වගාවට යොදා ගත හැකිවීම විශාල වාසියකි. එසේම මේ ජීව වායු ජනකය සාම්ප්‍රදායික ජීව වායු ජනකයක් නිපදවීමට යන වියදමට වඩා අඩු මුදලකින් පහසුවෙන් නිර්මාණය කර ගැනීමට හැකිවීම ද තවත් වාසියකි. මේ උපකරණයේ ඇති වාසි හා එය නිර්මාණය කළ ආකාරය ගැන අපට වඩාත් හොඳින් පැහැදිලි කිරීමට එක්වූයේ මෙය නිර්මාණය කළ සුනිල් කරුණාරත්න මහතාය. ඔහු මේ ගැන පැහැදිලි කළේ මෙලෙසිනි.

"සාමාන්‍යයෙන් සාමාජිකයන් 4 දෙනෙක් සිටින නිවෙසක දිනකට කසල එකතුවෙන්නේ කිලෝ ග්‍රෑම් එකක් වැනි ප්‍රමාණයක්. ඒ ප්‍රමාණයට ගැළපෙන කුඩා ජීරකයක් තමයි නිර්මාණය කළේ. පොළොවෙන් ඉහළ පිහිටි මේ උපකරණය නිවෙසේ මුළුතැන්ගෙයි පසුපස ප්‍රදේශයේ තබා ගැනීමට හැකියි. මෙයට නිවෙසේ දිනපතා එකතුවන කසල එක් කළ හැකි ආකාරයට තමයි නිර්මාණය වී තිබෙන්නේ. ඒ සඳහා කසල එකතු කිරීමත් ඉතා පහසුයි. ඔබ කළ යුත්තේ එකතුවන කසල ප්‍රමාණය මෙන් දෙගුණයක් මේ උපකරණයට ජලය එකතු කිරීමයි. එවිට මේ උපකරණය තුළ ජීර්ණ ක්‍රියාවලිය හොඳින් සිදු වෙනවා.

මෙහි සාර්ථකත්වය ගැන පර්යේෂණයක් කළා. ඒ සඳහා අප මේ උපකරණයෙන් නිපදවන ගෑස් ප්‍රමාණය ගැන මාසයක දත්ත එකතු කිරීමක් කළා. එහිදී අපට දැකගත හැකි වුණා නිවෙසක එකතුවෙන එක් කසල කිලෝවකින් ගෑස් ලීටර් 156ක් ලබා ගන්නට හැකියි කියලා. එය ඉතා විශාල ප්‍රමාණයක්. මේ සඳහා ගත වෙන්නේ පැය 24ක කාලයක්. මෙහි ජීර්ණය වුණු අපද්‍රව්‍ය පිටතට එන කාලයක් තියෙනවා. ඒ කාලයෙන් දිනපතා ජීර්ණය වුණු අපද්‍රව්‍ය පිටතට එනවා. මෙසේ ඉවතට එන අපද්‍රව්‍ය හොඳ කෘමිනාශකයක් ලෙස යොදා ගන්න පුළුවන්. ඒ වගේම වගාවට යෙදූ විට එය ඉතාම සාර්ථක කාබනික පොහොරක්."

මේ උපකරණයෙන් නිපදවන ගෑස් ප්‍රමාණය දෛනිකව බලා ගැනීමට හැකි පද්ධතියක් මෙහි නල පද්ධතියට සම්බන්ධව ඇත. නල පද්ධතිය මඟින් එම කුඩා ටැංකියට ජීව වායුව රැස් වෙනවිට ස්වයංක්‍රීයව එහි ඇති සිලින්ඩරය ඉහළට යයි. ලීටර් 175ක ප්‍රමාණයක් මේ කුඩා සිලින්ඩරය තුළ ගබඩා වන අතර එයට අමතරව නිපදවන ගෑස් ප්‍රමාණය ඉවත්වන ලෙසයි. මෙය සකස් කර ඇත්තේ ආරක්ෂාව අතින් ද ඉතාම සුරක්ෂිත වූ මේ ජීව වායු ජනකය සාම්ප්‍රදායික ගෑස් නිපදවීමට වඩා සාර්ථක ක්‍රමයක්.

 

මේ ගැන තොරතුරු හා වැඩි විස්තර ලබා ගැනීම සඳහා 011-2429592 අංකයට අමතන්න.

 

ස්තූතිය -

නර්ඩ් ආයතනයේ අලෙවි අංශයේ

සහකාර අධ්‍යක්ෂ

දිල්රුක්ෂි පතිරණ